වර්ෂ 2013 ක්වූ ජනවාරි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රවීණ සංගීතවේදී ස්ටැන්ලි ලියනගේ මහතා අභාවප්‍රාප්ත

ප්‍රවීණ සංගීතවේදී ස්ටැන්ලි ලියනගේ මහතා අභාවප්‍රාප්ත වී වසරක් පිරීම නිමිත්තෙන් ආදර බිරිය රංගන ශිල්පිනී කංචනමාලා මහවිතාන සරසවියට ලියා එවූ කවි පෙළකි

වසරක්ම ගත කළෙමි ඔබේ උණුහුම නැතුව
දරු පැටවු මා සමඟ ගුලි ගැසෙයි ඔබ නැතුව
හිමි සඳුනි අසන්නෙමි යළි යළිත් ඔබ වෙතින
කෙලෙස පියමං කළේ අපෙන් තොර ලොවක් වෙත

මුරුගසං වරුසාව ඇදහැළුනි නිම නොවී
කුණාටුව චණ්ඩ වුණි ගස්වැල් ද මොර දිදී
පෙර එවන් මොහොතේදී ඔබ දෙඅතෙ ගුලි වෙවී
දරුවන් ද මා සිටියෙ පෙනෙයි මට මැවි මැවී

කෙලෙස අප බිය වන්නෙ දැන් එවන් මොහොතෙදී
කවුරු අප සනසන්නෙ බිය නොවන ලෙස සැලී
බලා ඉමි දෑස් ඇර වෙන දෙයක් වන ලෙසේ
කොහොමදෝ ඔය ඉන්නෙ අසරණ වූ අප පෙනී

කියන්නට වචන නැත අපේ අසරණකමේ
ආදරය විඳීන්නේ කොහොම ඒ උණුහුමේ
දරුවන් ද මා ද ලැබූ ඒ සොඳුරු සෙනෙහේ
පුදන්නට එන භවෙත් එන්න මාගේ ප්‍රියේ