වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




හදවතට චිත්‍රපට තනා නතරවූ හදවත

හදවතට චිත්‍රපට තනා නතරවූ හදවත

බොලිවුඩ් සිනමාව කඳුළෙන් නැහැවෙයි

යාෂ් චොප්රා 1932 - 2012

භාරත සිනමා වංශ කතාවේ සියවැනි පරිච්ඡේදයේ ද පිටු පෙරැළී අවසානය. ඒ පිටු අතර දශක හයක් පුරා පතිත වුණු යෝධ සෙවණැල්ලකි. අද ඒ සෙවණැල්ල බොලිවුඩයට සදා දැල්වෙන පහන් ටැඹක් පමණි. යාෂ් චොප්රා ඉන්දීය සිනමාවේ ගවේෂකයායි. ප්‍රේමණීය සිනමාවේ අධිරාජ්‍යයායි.බොලිවුඩයේ චමත්කාරය ලොවටම පෙන් වූ මායාකාරයායි.

ඔහු බිහි වුණේ රටේ අඳුරු යුගයකය. 1932 සැප්තැම්බර් 27 වැනි දින යාෂ් ඉපදෙන විට ඉන්දියාව, බ්‍රිතාන්‍යයේ යටත් විජිතයකි. ලාහෝරයේදී (වර්තමාන පකිස්තානයේ) පන්ජාබ් පවුලක අටවැනියා ලෙස ඔහු උපත ලැබුවේය.

වැඩිමල්ම සොයුරා ඔහුට වඩා තිස් වසරකින් වැඩිමල් විය. වයස අවුරුදු පහළොවක කොලු ගැටයකුව සිටියදී යාෂ් මහා දේශයේ දෙකඩ වීම සියැසින්ම දුටුවේය.

1947 දී ඉන්දියාවත්, පාකිස්තානයත් ලෙස භාරතය දෙකඩ වීමෙන් නව යෞවනයාගේ හදවතෙහි බොහෝ වස්තු බීජ රෝපණය විය.

වැඩිමල් සොයුරු බී. ආර්. චොප්රා පවුලේ බඩපිස්සාගේ අනාගතයට පාර කැපුවේය. චොප්රා පරපුරෙන් මුලින්ම සිනමාවට පිවිසියේ බී. ආර්. චොප්රාය. පළමුව ඔහු සිනමා මාධ්‍යවේදියකු විය. දෙවෙනුව ඔහු සිනමා නිෂ්පාදනයට පිවිසියේය.

අයියා නිෂ්පාදනයට පිවිසෙද්දී, මල්ලීී අධ්‍යක්ෂණයට යොමු විය.

බී. ආර්. නිෂ්පාදනයෙන් දායක වෙද්දී යාෂ් අධ්‍යක්ෂවරයකු ලෙස දොරට වැඩියේය. කළු සුදු කතානාද සිනමාවට යාෂ් පිවිසෙන විට ඔහු විසි හත් හැවිරිදි යෞවනයෙකි. යාෂ්ගේ කුලුඳුල් අධ්‍යක්ෂණය ‘දූල් කා පූල්’ (1959) ය. ආර්. බී. ආර්. ෆිල්ම්ස් නිෂ්පාදනයක් වූ එය විචාරක ඇගැයුමට ලක් වූයේ වසරේ වැඩිම ආදායම් වාර්තා පිහිට වූ සිනමාපට අතරින් සිවුවැනි තැන ගනිමිනි.

භාරත දේශය දෙකඩ වීමෙන් ඇති වූ ප්‍රකම්පනය ඔහුගේ ‘දූල් කා පූල්’ සිනමාපටයෙන් ප්‍රේක්ෂකයන් හොඳින්ම වින්දේය. පළමු සිනමා පටය මෙන්ම දෙවැනි සිනමා පටය ‘ධර්ම්පුත්‍ර’ (1961) ටද වර්ගවාදී ගැටලුව වස්තු විෂයය විය.

යාෂ්ගේ යොවුන් හදවතින් මේ ගැටලුව කෙතරම් හොඳින් සිනමා බසින් ලියැවුණා ද කිවහොත්, ‘ධර්ම්පුත්‍ර’ හොඳම විශේෂාංග සිනමාපටය වශයෙන් ජාතික සම්මානයට පාත්‍ර විය.

බී. ආර්., යාෂ් දෙබෑයෝ බොලිවුඩය, නිෂ්පාදනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් සියතට ගනිමින් සිටියහ. කළු සුදු සිනමාවෙන් වෛවර්ණ සිනමාවට ද ඔවුහු පිවිසියහ.

යාෂ් හොඳම සිනමා අධ්‍යක්ෂවරයා ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මානය මුල් වරට දිනා ගත්තේ ‘වක්ත්’ (1965) සිනමා පටයටයි. සොඳුරු ගීතාවලිය තම සිනමාපටයට ආභරණයක් කරගත් යාෂ් වෙනසක් එක් කිරීමට සිතුණු විට ද එය ද නොබියව ඉටු කළේය.

භාරත සිනමාවේ එක් ගීතයක් හෝ විරාමයක් (ඉන්ටර්වල්) හෝ නැතිව පෙන් වූ ප්‍රථම සිනමාපටය ‘ඉතෙෆක්’ ඔහුගෙන් බිහි වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

ගීතයත්, සිනමාවත් ඒකාත්මික වූ බොලිවුඩයේ ‘ඉතෙෆක්’ අදටත් ආශ්චර්යයකි. දැවැන්ත අභියෝගයකි. එහෙත් යාෂ් නම් වීර සිනමාවේදියා එය ජය ගත්තේ හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මාන ලබමින් හා මධ්‍යම ප්‍රමාණයේ ආදායමක් ලබමිනි.

එතෙක් තරු යායක අසිරිය එකවර රසිකයන්ට දකින්නට ලැබුණේ සිනමා සම්මාන උළෙලකදී පමණයි. එහෙත් කර්ණ රසායන ගීත මාධූර්යයක් සහ වෙනස්ම කතා පුවතක් ගෙන එමින් ඔහු අධ්‍යක්ෂණය කළ ‘වක්ත්’ සිනමාපටයෙන් ප්‍රථම වරට එවකට සිනමාවේ රජ කළ සුනිල් දත්, රාජ් කුමාර්, ශෂී කපූර්, සද්නා, බාල්රාජ් සහිනි යන තරු රැස නැරැඹීමේ දුලබ අවස්ථාව උදාකර දුන්නේය. අධ්‍යක්ෂවරුන්ගේ එවන් අත්හදා බැලීම් අදට ද විරලය.

යාෂ්, බී. ආර්. සුසංයෝගය බොලිවුඩයේ ජය කොඩි නංවද්දී 1971 දී යාෂ් රාජ් ෆිල්ම්ස් අධිරාජ්‍යය ද බිහි විය. වෝල්ට් ඩිස්නි සමාගම සමඟ සජීවීකරණ සිනමා සම නිෂ්පාදන අයිතිය ද අද යාෂ් රාජ් සමාගමට තිබේ.

2004 වන විට යාෂ් රාජ් ෆිල්ම්ස් ලොව විශාලතම සිනමාපට බෙදා හැරීමේ සමාගම් අතර විසි හත්වැනි තැන දිනා ගත්තේ ඉන්දියාවේ විශාලතම නිෂ්පාදන සමාගම වෙමිනි.

‘දාග්’ ගීතමය සිනමාපටය යාෂ් සමාගමේ කුලුඳුල් නිෂ්පාදනය විය. ඔහුට තිබුණේ මෙගා තරු, සුපිරි තරු හඳුනා ගැනීමේ පුදුම ඉවකි.

හැත්තෑව, අසූව දශකයන්හී අමිතාබ් බච්චන් බොලිවුඩයේ ඉක්මන් කේන්තිකාර යෞවනයා ලෙස ගොඩ නැඟුණේ යාෂ්ගේ සිනමා චරිත මඟිනි. ‘දීවාර්’, ‘ත්‍රිශූල්’ සිනමාපටවලින් අමිතාබ් බච්චන් චරිතය ගොඩ නැගුණේ ක්‍රියාදාම වීරයකු ලෙසය.

ඔහුම ‘කභී කභී’ (1976), ‘සිල්සිලා’ (1981) ප්‍රේමණීය සිනමා අන්දරයන්හී ළෙන්ගතු ආදරවන්තයා කළේය. ෂාරුක්ට සුපිරි තරුවක් වීමට මඟ පෑදුවේ යාෂ්ගේ ‘ඩර්’ය.

දිනෙන් දින වියපත් වන මේ මිනිසා බොලිවුඩයේ ඉන්ද්‍රඛීලයක් බවට පත්කළ රහස වෙනස්වීමයි. පුරුෂාධිපත්‍යය රජයන සමාජයක යාෂ් තාරකාවන් තිරයේ රැජනන් කරවූවේය. ශ්‍රීී දේවිය රැඟූ ‘චාන්ද්නී’ ඊට හොඳම උදාහරණයයි.

ගලා හැළෙන දිය ඇල්ලක් සේ යාෂ්ගේ සිනමා අධ්‍යක්ෂණය විචිත්‍රවත් වෙමින් ගලා ගියේය. සමකාලීන අධ්‍යක්ෂවරුන් අතරින් උඩුගං බලා ගිය යෝධ යුග පුරුෂයා වූයේ ඔහුමය. ක්‍රියාදාම සිනමා රැල්ලට යාෂ් ගීතාත්මක සිනමාපට මඟින් පිළිතුරු ලබා දුන්නේය.

මේ නිසාම ඔහුත් සමඟ අධ්‍යක්ෂණයට පිවිසියවුන් අසාර්ථක වෙද්දී ඔහු යොවුන් අධ්‍යක්ෂවරන් සමඟ සටන්කර ඉදිරියෙන්ම සිටියේය.

බාලිවුඩයේ බොහෝ නීති රීති, සීමා මායිම් බිඳ දැමුවේ ඔහුය.

එතෙක් රූගත කිරීම්වලට පමණක් විදේශයට ගිය බොලිවුඩයට සිය ආධිපත්‍ය ඉන්දියානු සයුරෙන් එතෙරට ද රැගෙන යාමට හැකි වූයේ යාෂ් චොප්රා නිසාය.

යාෂ්ගේ, අනිල් කපූර් සහ ශ්‍රීී දේවි රැඟූ ‘ලම්හේ’ සිනමාපටයට හොඳ විදෙස් වෙළෙඳ පොළක් තිබුණි. අද බොලිවුඩ සිනමා සිත්තම්වලට හොලිවුඩයේ ද ඇත්තේ හොඳම ඉල්ලුමකි.

වෙනස් කළ සිනමා සීමා මායිම් අතර ජර්මනියේ රූගත කිරීම් ද සුවිශේෂීය. ජර්මනියේ රූගත කළ පළමු ඉන්දීය සිනමාපටය ‘දිල් තූ පාගල් හේ’ (1997) ය. එය ද යාෂ්ගේය.

විසි එක් වැනි සියවස ද එළැඹුණි. ‘වීර් සාරා’ (2004) සිනමා කාව්‍යය යාෂ්ගෙන් තිරයේ ලියැවුණි. හත් වසරකට පසු කළ මේ අධ්‍යක්ෂණය තම සිනමා ගමනේ අවසානය විය හැකි යැයි කියා ඔහු පැවසුව ද, සිනමවේ වාසනාවට එය එසේ නොවුණි.

වසර 2012 දී යාෂ් ‘ජබ් තක් හේ ජාන්’ (මා ජීවත්ව සිටින තාක් කල්) නිර්මාණය කළේ ෂාරුක් සමඟ කත්‍රිනා කායිෆ් මුල්වරට තිරයට ගෙන එමිනි.

සැප්තැම්බර් 27 දා සිය අසූ වැනි උපන් දිනය සමරමින් ඔහු ෂාරුක්ට කියා සිටියේ මෙය තම අවසන් සිනමාපටය කියායි.

‘හැම වෙලාවෙම මං හදවත කියන දේ කළා. දැන් හදවත ඇතියි කියල කියනවා’. සැබැවින්ම හදවත ඔහුට නතර වන්න යැයි කියා ඇත. ෂාරුක් හා කත්‍රිනා සමඟ ගීතමය රූගත කිරීමකට ස්විස්ටර්ලන්තයට යාමට නියමිතව තිබියදී ඔක්තෝබර් 21 වැනි දින සැඳෑවේ ඔහු අවසන් හුස්ම හෙළුවේය.

ඊට පෙර ද ඔහු තමන්ගේ ඉක්මන් නික්ම යාම ගැන පෙරනිමිති පළකර තිබේ. ඒ අමිතාබ්ගේ හැත්තෑවෙනි උපන් දින සාදයේදීයි. මේ තමන් සහභාගි වන අවසන් උත්සවය යයි කියා ඔහු එදින පැවසුවේය.

සිනමාවට ආදරයේ තාරුණ්‍යය, සංගීතයේ මිහිරියාවෙන් එක්කළ අසූ වියැති යෞවනයා කිසි දින අධ්‍යක්ෂණයෙන් පරාජය වූයේ නැත. එහෙත් ඩෙංගි මදුරු මාරයා ඔහු පැරැද්දුවේ ආදරවන්තයන්ගේ හදවත් සදහටම විරහ වේදනාවෙන් මුසපත් කරමිනි.

ඔහු සිනමාපට නිර්මාණය කළ හැටපස් වසරකට ආසන්න කාලය ඇතුළත ඉන්දියාවේ සමාජ, ආර්ථික හා ආකල්ප විශාල වශයෙන් වෙනස් විය. මේ වෙනස්වීම් සමඟ කාලයෙන් වියපත්ව, බොහෝ සිනමාකරුවන් අතුරුදන් වුවත්, යාෂ් සිනමාවේ කාලත්‍රය හඳුනා ගත්තේය.

එබැවින්ම ඔහු දිනෙන් දින තරුණ වූයේය. ඒ සියල්ල මැද ඔහු අවංකවම සිනමා නිර්මාණය කළේ හදවතටය. ඒ ලෝකයේ කවර ආකාරයෙන් වෙනස් වුවද හදවත එකක් යැයි ඔහු විශ්වාස කළ බැවිනි.

චම්පිකා දීපානි රණසිංහ