වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට හා ටෙලිනට්‍යය රැසක විවිධ චරිත මවන

චිත්‍රපට හා ටෙලිනට්‍යය රැසක විවිධ චරිත මවන

ජයරත්න ගලගෙදර

ඔහු ජයරත්න ගලගෙදර. ඊ. ඒ. පී. චිත්‍රපට සමාගමේ වගකිව යුතු රැකියාවක නිරත වෙමින් ඔහු මේ වන විට රංගනයට ද පිවිස තිබේ. චිත්‍රපට මෙන්ම ටෙලි නාට්‍ය රැසක විවිධ චරිත නිරූපණය කළ ජයරත්න ගලගෙදර සමඟ කළ කතාබහයි මේ.

මුලින්ම කියමුද ඔබ රංගනයට ප්‍රවිෂ්ටවීමේ ආරම්භය ගැන?

කුඩා කාලයේ සිටම රංගනය ගැන මගේ හිතේ ලොකු උනන්දුවක් තිබුණා. පාසල් කාලයේදී ගමේ අවුරුදු උත්සව ආදියට වේදිකා නාට්‍ය නිර්මාණය කළා. ගමේ අයගෙන් ඒවාට හොඳ ප්‍රතිචාර ලැබුණා.

ඒ අත්දැකීම් තමයි රංගනයට යොමු වෙන්න හේතු වුණේ. මරදානේ කාර්මික විද්‍යාලයේ ජාතික ව්‍යාපාර ඩිප්ලෝමා පාඨමාලාව හදාරණ කාලයේදී වේදිකා නාට්‍ය නිර්මාණ තරඟයක් තිබුණා. ඒ සඳහා මම ‘පියෙක් සහ පුතෙක්’ නමින් නාට්‍යයක් නිර්මාණය කළා. එහිදී එම නාට්‍යයට දෙවන ස්ථානය හිමි වුණා. සුගතපාල ද සිල්වා මහතාත් එදින විනිශ්චය සඳහා හිටියා. මේ හැම දෙයක්ම මගේ කලා ජීවිතයට ශක්තියක් වුණා.

මේ වන විට ඔබ දායක වූ නිර්මාණ ගැනත් සඳහන් කරමු?

මේ දිනවල තිරගත වන උදයකාන්ත වර්ණසූරියගේ සෙනසුරු මාරුව, නාලක විතානගේ ගේ රූපාන්තරණ, ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධ්වනිය, සිවගුරුනාදන්ගේ කෝ මාක් නෝ මාක් සහ සමන් වීරමන්ගේ සිද්ධාර්ථ ී චිත්‍රපටවලට වගේම නාලන් මෙන්ඩිස්ගේ දූවරු, රන්ජන් ප්‍රසන්නගේ සිහින පුරය වගේම ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ගිහාන් රෝහණගේ දම්සාරි ටෙලි සිත්තමටත් දායක වෙන්නට අවස්ථාව උදා වුණා. ඊට අමතරව කාටුන් වැඩසටහන්වල සහ ගුවන් විදුලි වැඩසටහන්වලටත් හඬ කැවීමෙන් ද දායක වෙනවා.

රාජකාරි ජීවිතය ගැනත් කියමුද?

ජයවර්ධනපුර සරසවියෙන් බාහිරව වාණිජ්‍යවේදී විශේෂ උපාධිය ලබා ගත්තා. මම වසර හතරක් විගණනන සමාගමක සේවය කිරීමෙන් අනතුරුව ඊ. ඒ. පී. චිත්‍රපට සමාගම සමඟ සම්බන්ධ වුණා. එයට දැන් වසර 18 ක් පමණ වෙනවා. දැනට එහි මෙහෙයුම් විධායක ලෙස කටයුතු කරනවා. චිත්‍රපට අංශයේ ප්‍රවර්ධන වගේම නිෂ්පාදන කටයුතු ගැනත් වගකීම දරනවා.

කාර්ය බහුල රැකියාව රංගනයට බාධාවක් වෙලා නැද්ද?

මම රැකියාවට රංගනය බාධාවක් නොවන ආකාරයටයි කටයුතු කරන්නේ. හැම විටම කිසිම බාධාවක් නොවෙන්නට මම වග බලා ගන්නවා. බොහෝ වෙලාවට සති අන්තයේ තමයි මම රූගත කිරීම් සඳහා සහභාගි වෙන්නේ. මොන දේ වුණත් රැකියාව තමයි අංක එක.

රිදී තිරයේ වගේම පුංචි තිරයේත් ඔබ දායක වූ නිර්මාණ අතර ඔබට සුවිශේෂ වූ චරිත එහෙමත් ඇති නේද?

ඔව්. විවිධ චරිත ලබන්නට මම වාසනාවන්ත වුණා. ඒ අතර සිද්ධාර්ථ චිත්‍රපටයේ මහල්ලාගේ චරිතය තමයි මගේ ජීවිතයේ ලබපු ලොකුම වාසනාව.

පවුලේ විස්තරත් කියමු ද?

බිරිඳ නෙරංජනා. පුතා පසිඳු. දුව මල්කි. දුවයි පුතායි රංගන කටයුතුවලට දායක වෙනවා.

ඉදිරියටත් රංගනයට ඇරැයුම් ලැබිලා ඇති නේද?

රේණුකා බාලසූරිය මහත්මියගේ වගේම උදයකාන්ත වර්ණසූරිය, ධම්මික සිරිවර්ධන සහ සනත් ගුණතිලක මහත්වරුන්ගේ නවතම සිනමා නිර්මාණ සඳහා මට ආරාධනා ලැබිලා තියෙනවා.

අනාගත බලාපොරොත්තුව නළුවෙක් විදියට ඉදිරියට යන්නද?

රංගන කටයුතුවල දිගටම නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා. අනාගතයේදී ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නත් බලාපොරොත්තු වෙනවා.

අවසාන වශයෙන් ඔබ කියන්නේ?

මට මේ තත්ත්වයට එන්න උදව් කළේ ඊ. ඒ. පී. චිත්‍රපට සමාගමේ කලමනාකාර අධ්‍යක්ෂ අසංක එදිරිසිංහ මහතා. එතුමා ඇතුළු හැම අයුරින්ම මට සහාය දක්වන හැම දෙනාටම මා මගේ ගෞරවය පිරි ස්තුතිය පිරිනමනවා.