වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




නාලන්ගේ ‘ඉසුරු සංග්‍රාමය’ දැන් ස්වාධීන රූපවාහිනියේ

නාලන්ගේ ‘ඉසුරු සංග්‍රාමය’ දැන් ස්වාධීන රූපවාහිනියේ

පුංචි තිරයේ පවුලේ කතන්දර නිර්මාණකරු නාලන් මෙන්ඩිස්ගේ තවත් එවැනිම වූ සොඳුරු කතා පුවතක් රැගත් ඉසුරු සංග්‍රාමය ටෙලි සිතුවම පසුගිය 23 දා සිට සෑම සතියේ දිනකම රාත්‍රී 9 ට ස්වාධීන රූපවාහිනියෙන් විකාශය ඇරැඹිණ.

අර්වින් ගනේපුර සහ ඩන්කන් මැදගෙදර යන ධනවතුන් දෙදෙනෙකුගේ පවුල් අතර ඇතිවන සිද්ධි දාමයක් ඔස්සේ දිග හැරෙන මෙය ජයන්ත පීරිස්ගේ නිෂ්පාදනයකි. ජයන්ත, රංගන ශිල්පිණී චතුරිකා පීරිස්ගේ පියා වේ.

ගාමිණී හෙට්ටිආරච්චි, දමයන්ති ෆොන්සේකා, කමල් දේශප්‍රිය, චන්දික නානායක්කාර, යශෝධා විමලධර්ම, චතුරිකා පීරිස්, කංචන කොඩිතුවක්කු, රොෂාන් පිලපිටිය, පූර්ණිකා පීරිස්, සම්පත් කුමාරතුංග, සඳනි සුලක්නා, අරුණි මෙන්ඩිස්, වසන්ත ගීතාච්චි, සුසිලා කෝට්ටගේ, ප්‍රේමදාස විතානගේ, රහල් බුලත්සිංහල, මොරීන් චාරුනී, කුමාර තිරිමාදුර, ගාමිණී ජයලත්, ප්‍රේමා පතිරාජ, ඉසුරු සංග්‍රාමය රංගනයෙන් හැඩ ගන්වති.

සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහගෙනි. ප්‍රියන්ත ප්‍රදීප් සමඟ ගාමිණී චමින්ද කැමරාව මෙහෙයවා ඇත.

සුනන්ද සිල්වාගේ තිර රචනයකි. අමල් පෙරේරා සහ නෙලූ අධිකාරිගේ මියුරු හඩින් ඉසුරු සංග්‍රාමය රසවත් වේ.

‘මීදුම වගේ ඇවිදින්’ මුහුරත් උළෙලදා

මහින්දාගමනය සහ සිරි දළඳාගමනය වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සනත් අබේසේකර ‘මීදුම වගේ ඇවිදින්’ ටෙලි සිතුවම සමඟින් නැවතත් පුංචි තිරයේ ප්‍රේක්ෂකයන්ට ආමන්ත්‍රණය කිරීමට සූදානම් වෙයි. කැලණිය කිත්සිරිමෙවන් විහාර මළුවේදී සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ එහි මුහුරත් උළෙල පවත්වන ලදී.

ප්‍රකට මාධ්‍යවේදියකු වන සුදර්මන් රදළියගොඩ ටෙලි නාට්‍ය රංගනයට එනුයේ මෙම ටෙලි නාට්‍ය තුළින් වීම විශේෂත්වයකි.

රංජිත් කේ. පෙරේරාගේ මූල්‍යමය දායකත්වයෙන් රූගත වන මීදුම වගේ ඇවිදින්, ජීවන් කුමාරණතුංග, පබෝධා සංදීපනී, විජේරත්න වරකාගොඩ , රුවන්ති මංගලා, සුජානි මේනකා, මහේෂි මධුසංඛා, සංකේත් වික්‍රමගේ, නලීන් ප්‍රදීප් උඩවෙල, නුවන් ගුණසේකර, කමල් දේශප්‍රිය, අනුර ජයසේකර, විශ්ව ලංකා, වසන්ත ජයසිංහ ආරච්චි, සඳරු රදළියගොඩ, ඥානාංග ගුණවර්ධන, ඩී. බී. ගංගොඩතැන්න, සිසිර කුමාරතුංග, තිරාෂා සෙව්වන්දි යන පිරිස රංගනයෙන් හැඩ ගන්වති.

එඩ්වින් පීරිස්ගේ රූපවාහිනී රචනයකි. කපිල පුගලආරච්චි සංගීත රටා මවයි. ප්‍රියන්ත ඊශ්වර අංග රචනයෙන් එක්වන මෙහි කලා අධ්‍යක්ෂණය සිරිනාථ වික්‍රමසිංහගෙනි.

මීදුම වගේ ඇවිදින් හි සහාය අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකි. ඒ ලකී ආතාවුද සහ ගයාන් බුද්ධිකයි.

පී. කේ. ලෙනාඩ් කැමරාව මෙහෙය වන අතර රොෂාන් ජයසුන්දරගේ නිෂ්පාදන කළමනාකරණයකි.

‘සිතක නිවන’ රූගත කිරීම ඇරැඹෙයි

එස්. ඒ. බෙනට් අධ්‍යක්ෂණය කරන ‘සිතක නිවන’ පොහොය කතා මාලාවෙහි සමාරම්භක රූගත කිරීම පසුගියදා බොරැල්ල සුදර්ශී ශාලාවේ පැවැත්විණ.

නිමල් ඇන්තනී, රමණී සිරිවර්ධන, තිස්ස ඩයස්, වෛද්‍ය ප්‍රසාද්, අමිල ප්‍රසංග ගමගේ, සමර ශ්‍රී දඩල්ලගේ, ශාමා සප්නා, එස්. ඒ. සාගර සම්පත්, ඩික්ෂන් ජෙරාඩ්, අනුලා දේදුණු, පියුමි හංසමාලා, අජිත සමරජීව මේ සඳහා රංගන දායකත්වය සපයන ලදී.

සිතක නිවන අමිල ප්‍රසංග ගමගේ ගේ නිෂ්පාදනයකි. තිස්ස ඩයස් කතාව දෙබස් තිර රචනය සකසයි. දනේෂ් ගමගේ ගේ කැමරාකරණයකි. රිෂිකා නිල්මිණි අංග රචනා ශිල්පිණියයි. ඩික්ෂන් ජෙරාඩ් කලා අධ්‍යක්ෂණයෙන් ද, ලසන්ත විතානගේ නිෂ්චල ඡායාරූපකරණයෙන්ද, ඉඳුනිල් ප්‍රසාද් ගායනයෙන් ද මෙයට දායක වෙති.

සේයාරුවෙන් දැක්වනුයේ සිතක නිවන හී නිමල් ඇන්තනී සමඟ රමණී සිරිවර්ධන රඟන ජවනිකාවකි.

කැදැල්ල නෑ උණුසුම් ඩී. වී. ඩී වෙයි

කලකට ඉහතදී ස්වර්ණවාහිනී නාලිකාවෙන් විකාශය වූ ටයිටස් රණසිංහගේ කැදැල්ල නෑ උණුසුම් ටෙලි සිතුවමහි ඩී. වී. ඩී. තැටිය ටොරානා ලේබලය යටතේ දැන් නිකුත් වී තිබේ.

කොටස් විසි හතරකින් යුතු මෙම මාලා නටකය ප්‍රදීප් සේනානායක, නිසංසලා ජයතුංග, බුද්ධික ජයරත්න, ඉන්ද්‍රජිත් නාවින්න, ශ්‍රියාණි මහවත්ත, රෙබේකා නිර්මලී, දයාසිරි හෙට්ටිආරච්චි, චන්දන මලියරත්න, නවීනා ශිවන්ජි ඇතුළු පිරිසගේ රංගනයෙන් හැඩගැන් වී ඇත. මෙය ගීතා ශිරන්තිගේ නිෂ්පාදනයකි.

 

 

 

මල්වර සිරිත් රූ ගැන්වෙයි

ආරියරත්න විතානගේ අධ්‍යක්ෂණය කළ ශ්‍රී ලංකාවේ මල්වර සිරිත් පිළිබඳ වාර්තා චිත්‍රපටය චයිල්ඩ් හුඩ් ටු වුමන් හුඩ් හි රූගත කිරීම් පසුගිය දා සිදුවිණ.