වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




කීර්ති දොන්ගයි එකතු වෙලා තරු මිහිරම සුවඳවත් කළා

කීර්ති දොන්ගයි එකතු වෙලා තරු මිහිරම සුවඳවත් කළා

හිමිදිරි උදයේම සරසවිය ඡායාරූපාගාරයට ජනප්‍රිය අමුත්තෙක් පැමිණියේය. මේ අමුත්තා පිටුපස තවත් පිරිසක්ද පැමිණියෝය. නිතර දැක හුරු පුරුදු මුහුණක් නිසාම හැමෝම මේ පිරිවර දෙසට ඇදී ආවේ පැණි ගුලට ඇදෙන කුහුඹුවන් ලෙසින්ය.

‘අද සරසවිය තරු මිහිරට පාඨකයන් එන දවසනේ. ඒකයි මම අද උදේම ආවේ. කෝ මගේ සිකුරිටි. හලෝ ගේනවා මගේ බෑග් එක. කෝ ඕයි සන්ග්ලාස්’

අමුත්තාගේ ගෝරනාඩුව ඇසී කර්තෘ මණ්ඩලයේ හැමෝම සරසවිය ඡායාරූපගාරයට එබිකම් කරන්නට වුණෙ මේ කලබැගෑනිය මොකක්දැයි දැක බලා ගැනීමටය.

ගැමුණු, පින්සිරි, චාලි චැප්ලින් ඇතුළු පිරිවර අද සරසවියට ඇවිල්ලා . . . හැමෝම කතා වුණේ එහෙමය.

‘කෝ පාඨකයෝ තවම නෑනේ . . . හරි පාඨක යහළුවෝ එනකම් මම ස්ටුඩියෝ එකේ ඇඳුම් චේන්ජ් කරන රූම් එකට වෙලා ඉන්නම්’ ගැමුණු කීවේ හිනාව මැඬගෙනය.

තවත් මොහොතකින් සරසවිය පාඨක පිරිස උද්යෝගයෙන් සරසවිය ඡායාරූපගාරයට පැමිණියෝය.

සහයනී හෙට්ටිආරච්චි මැල්ලවගෙදර සිටත්, නලින් ගුරුගේ මුලටියන සිටත්, අශෝක ගොඩකන්ද කඩවත සිටත් පැමිණි පිරිස අතර වූවෝය.

රන්ධීර් අමීර් හා හංසනී ඉමාෂා නොපැමිණි පිරිසට අයත් විය. දැන් පිරිස ඡායාරූපගාරයේය.

‘කෝ අනේ අද තරු මිහිරට එනවා කිව්ව තරුව තවම නැහැනේ’ ඒ සහයනීගේ උද්යෝගීමත් හඬයි.

‘අපි ආවා ඔයාලටත් ඉස්සර වෙලා, කෝ මේ මගේ බොඩිගාඩ් ආ . . . කෝ . . .’ කියමින් ගැමුණු සැඟ වී සිට පාඨකයන් වෙතට ආවේ ගෝරනාඩුවක් ද කරමිනි.

‘අපි ආවේ දොන් ගයි බලන්න . . . මේ පින්සිරි කොහෙද මේ’ නෑ නෑ මම ඇමැතිතුමා නෙමේ දොන් ගයි තමයි. එහෙනම් ඔයාලත් රැවටුණා. දොන් ගයිගේ රඟපෑම සාර්ථකයි’ කියමින් ඔහු රසික පිරිස අතරට එක් වුණේ එකිනෙකා හඳුනා ගන්නා ගමන්ය.

හිටි හැටියේම ගැමුණු නොහොත් දොන් ගයි හුනස්නෙන් නැගිට්ටේ සියල්ලන්ගේම අවධානය ලබා ගනිමිනි.

‘අර බලන්න තවත් කවුද ඇවිත් ඉන්නෙ කියලා. ඒ අපේ පින්සිරි . අප ඉතින් ඔයාලට පෙර දැනුම් දීමකින් තොරව එතුමන්ව ගෙන්නුව පොඩි හාස්‍ය රංගනයක් කරන්න’ කියූ දොන් ගයි පින්සිරි ගේ චරිතය මනාවට රඟන කීර්ති රංජිත්වත් කතාබහට එක්කර ගත්තේය.

‘ඔයාලට මතකද මම චාලි චැප්ලින් චරිතය රඟපෑවා. අනේ මේ ගැමුණු නිසා මට ඒ චරිතය රඟපාන්න හරියට වෙලාවක් නැහැ. හැබැයි ඒ නිසා රසිකයන්ට පාඩු වෙන්න නම් ඉඩ තිබ්බෙ නැහැ. මේ තමයි මගේ චාලි චැප්ලින් චරිතය රඟපාන අලුත්ම කෙනා’ කියමින් චාලි චැප්ලින් චරිතය රඟන දිනේෂ් වානගුරුව පිරිසට හඳුන්වා දුන්නේය.

ඇන්ඩ් කොම්පැණි නාට්‍යයේ ගැමුණුගේ චරිතය රඟපෑවට පස්සේ මර්වින් සිල්වා අමාත්‍යතුමා හමු වෙලා තියෙනවද? ඒ පළමු පැනය අශෝකගෙන්ය.

‘ඔව් දවසක් එතුමා හමුවෙන්න මම නිවෙසට ගියා. ආරක්ෂක නිලධාරියකුට කිව්වා මම ඇමැතිතුමා හමුවෙන්න කැමැතියි කියලා. මට පොඩි තිගැස්මකුත් තිබුණා. හැබැයි එතුමා දැකපු මුල් අවස්ථාවේම කිව්වේ ‘ඔයා ගයි නියමෙට ඒ චරිතය කරනවා. මම ඔයාව හරියට අගය කරනවා’ කියලා. මගෙන් මොනා ද කෙරෙන්න ඕනේ කියලත් ඇහුවා. මම කිව්වා මට ඔබතුමාව මතක් වෙන්න ඇඳගෙන ඉන්න ටී ෂර්ට් එක දෙනවද කියලා. එතුමා කිසි පැකිලීමකින් තොරව මට ටී ෂර්ට් එක එවලේම ගලවලා දුන්නා. එතුමා හරිම නිහතමානී, මනුස්සකම් වගේම කලාවත් දන්න කෙනෙක්.

අයියේ ඔයාගේ ඇත්ත නම ‘දොන් ගයි ද නැත්නම් මුල් නම වෙනස් එකක්ද? නිහඬව සිටි නලින් විමසුවේ කුතුහලයක් ද ඇතිවය.

නැහැ මගේ නම තමයි කාරියකරවන පටබැඳී සමරසිංහ සකලසූරිය මහවිදානේලාගේ දොන් අර්ඩ්ලි නිහාල් ප්‍රදිනාන්දු. ඔය නම දිග වැඩියි නේ . . .

තාලයට කීර්තිගෙන් වාදනය

එතකොට ගයි වුණේ . . . ඒ සහයනිගේ පැනයයි.

‘මම පොඩි කලේ අවුරුදු දෙකේ විතර ඉඳන් වැඩිය කතා බහ නැති ළමයෙක්. හැබැයි මම හැමෝටම කතා කරන්නේ ‘ගයි’ කියලා. ඒ මගේ කටෙන් කියැවුණු පළමුවැනි වචනය. ඉතින් එදා ඉඳන් හැමෝම මට කියන්නේ ‘ගයි’ කියලා.දොන් ගයි වුණේ අපේ චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් ඇතුළු පිරිස නිසා. ඔහු තමයි කිව්වේ ඔයාගේ නම දිග වැඩියි. ඒ නිසා අපි ‘දොන් ගයි’ කියලා දාමු කියලා. අද රටම මාව දන්නේ දොන් ගයි කියලා.

‘එතකොට චාලි චැප්ලින් වුණේ’ නලින්ගෙන් නැවතත් පැනයකි.

මම පොඩි කාලේ ඉඳන්ම චාලි චැප්ලින් රඟපානවා. ඒක මගේ විනෝදාංශයක් වුණා. ඒ පුරුද්ද දිගටම කරන් ආවා. අදටත් මම ඒ පුරුද්දට කැමැතියි. චාලි චැප්ලින්ගේ දියණිය ලංකාවට ආව වෙලාවෙත් මම ඇයව හමුවුණා. ඇය මාව ගොඩාක් අගය කළා. ඒ මදර් තෙර්සා චිත්‍රපටය ලංකාවේ රූගත කිරීමක් අතරතුරදී. ඒක මම ජීවිතයේ ලද භාග්‍යයක්.

ඔයාට සිංදු කියන්න පුළුවන්ද? සහයනීගෙන් ආයාචනයකි.

අපේ පින්සිරි (කීර්ති රංජිත්) තාලයට තබ්ලා ගහනවානේ. එහෙනම් තාලෙට කියමු බලන්න සින්දුවක්.

මම උනොතින් ඇමැති

කවුරුද එයට අකමැති

මම කරළා වැඩ ඇති

ඔයාලා දන්නවා ඇති

මම ඔබට හිත ඇති

එය පිළිගන්න ඇත්තකි

මගේ නමට ඡන්දෙ දෙන්න

අනේ ඒක මට ඇති . . .

යනුවෙන් ගයි තාලයට ගයද්දී කීර්ති තාල තරංග මනාවට වැයුණේය. ඒ අතරට සහයනි, අශෝක හා නලින් රංගනයෙන් ද එකතු වුණෝය.

සමාවෙන්න මට පොඩි අවශ්‍යතාවක් තියෙනවා. ඒ නිසා මම පොඩ්ඩක් එළියට යනවා විනාඩි පහෙන් මම එනවා. එතකන් අපේ පින්සිරි එක්ක පොඩි චැට් එකක් දාන්නකෝ . . . කියූ ගයි විගහයින් එළියට ගියේය.

‘කීර්ති අයියේ මොනවද මේ දවස්වල වැඩ?’ අශෝක සුපුරුදු පරිදි පැනයක් විමසුවේය.

නලින්ගෙන් ගයිට තෑගි

මේ දවස්වල හාමුදුරු චරිතයක් කරනවා. අවිස්සාවේල්ල පැත්තේ ෂූටිං තියෙන්නේ. ඊට අමතරව රාජකාරී වැඩ තමයි.

මොකක්ද රාජකාරිය? ඒ සහයනීයි.

‘මම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන්නේ, ග්‍රැන්ඩ්පාස් පොලීසියේ.

ඒක තමයි ඊයේ පෙරේදා හිරු ටී වී එකේ මෙගා බයිට් එකට අහු වුණේ නේද? නලින් පැවසුවේය.

ඔව් මල්ලි, ඒගොල්ලෝ මට නියම ලණුවක් දුන්නා.

අර කවුද චාලි චැප්ලින් නේද? එතකොට මෙතන චාලි චැප්ලින්ල දෙන්නයි.

ඔය දොන් ගයි එළියට ගියේ ගැමුණුගේ කිට් එක ගලවලා චාලි චැප්ලින් වෙන්න.

ගයිගේ චාලි චැප්ලින් රංගනයට දිනේෂ් ද එකතු වූයේය. පැමිණි පිරිස සිනා සයුරේ ගිල්වමින් ගයි ඇතුළු පිරිස ගීත කිහිපයක් ගයමින් රංගනයේ ද යෙදුණෝය.

අශෝක රැගෙන ආ කේක් ගෙඩිය කපා හැම දෙනාටම දොන් ගයිගේ අතින් කේක් කවමින් විනෝද වුණේ සියල්ලන්ම සිනා සයුරක ගිල්වමිණි.

‘මගෙනුත් වැලි තලප’ කියමින් සහයනී ගෙනා වැලි තලප ද හැමෝටම ලබා දුන්නාය.

රෝමා රෝෂී පැමිණි නොසිටියත් ‘ලක්සළු සල’ තෑගි වවුචර් මෙවර ද හැමෝටම ගයිගේ හා කීර්ති ගේ සුරතින් බෙදා දුන්නෝය.

අයියේ ඔයා මේ දවස්වල රඟපාන චිත්‍රපටි මොනවද? සහයනීගෙන් නැවතත් පැනයකි.

පාරාදීසයේ ගොඩක් ඉස්සර රඟපෑවා. රන්කෙවිට 2 චිත්‍රපටයෙත් රඟපෑවා. එහි මා සමඟ එකට රඟපෑ අසේල ජයකොඩි හදිසි අනතුරකින් මිය යාම නම් මට දරා ගන්න බැරි වුණා. කියමින් ගයි ඇතුළු පිරිස මොහොතකට හැඟීම්බර වූයේ අතීත මතක අතර ගිලෙමින්ය.

අපිට මේ යාළුවා හඳුන්වා දුන්නේ නැහැනේ.

මෙයා ලක්ෂාන්ග සුරේන් ගැමුණුගේ බොඩි ගාඩ්.

ගැමුණු චරිතය රඟන කොට රසවත් සිදුවීම් වෙලා තියෙනවත් ඇති? අශෝක විමසුවේය.

දවසක් මම සංගීත ප්‍රසංගයකට ආරාධනා ලැබිලා ගියා. එහි සිටි පොලිස් නිලධාරීන් දිගට හරහට සැලියුට් ගහනවා. ඒ මම ඇත්ත ඇමැතිතුමා කියලා හිතලා. ඔය වගේ වැඩ ඕනේ තරම් වෙලා තියනවා. දවසක් මීගමුව පැත්තේ සංගීත සංදර්ශනයකදී ලංකාවේ ප්‍රකට ගායකයෙක් මට බැනගෙන බැනගෙන ගියා. මම කිව්වා අනේ මචං මම දොන් ගයි කියලා. එතකොට එතන හිටපු හැමෝටම හිනා.

කෝ අපිට ඔයාගේ සමරු අත්සන දෙනවද? ඒ සහයනිය.

මේ මම පුංචි කාලේ චාලි චැප්ලින්ට ඇඳපු ෆොටෝ එකක්. ඒක මම අත්සන් කරලා දෙන්නම්.

මගෙනුත් ඔයාලට මතක හිටින්න ෆොටෝ එකක්. කියු කිර්ති ද හැමටම තමන්ගේ සමරු ලබා දුන්නේය.

මිහිරෙන් හා හාස්‍යයෙන් පිනා ගිය තරු මිහිරක මතක රැගෙන දොන් ගයි, කිර්ති හා පිරිස සතුටින් සරසවිය ඡායාරූපගාරයෙන් විසිර ගියේ සරසවිය අපට ද නැවුම් ආශ්වාදයක් ලබා දෙමිනි.

සහයනීට සළුසල තෑගි

සහයනී වැලි තලප කවද්දී - දොන්ගේ ආඩම්බරය
අශෝකට පින්සිරි (කීර්ති) ගෙන් තෑගි ගයිගෙන් සහයනීගේ සැමියාටත් තෑගි
නලින්ටත් තෑගි මම උණොතින් ඇමැතී – ගීයට හැමෝම නටයි
හානේ මම වැටුණා - ගයි චාලි චැප්ලින් ලෙස අපි සන්තෝෂෙන් ඉන්නේ
මම මෙහෙමයි රට කරන්නේ ගයිගෙන් සිනා කතා මම තමයි අලුත් චාලි - ගයි සහ දිනේෂ් රංගනයක්