වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




මහ පාරේ තැඹිලි වික්කත්  මම ජීවිතය පටන් ගන්නේ  ව්‍යාපාරිකයකු විදිහට  

මහ පාරේ තැඹිලි වික්කත්  මම ජීවිතය පටන් ගන්නේ  ව්‍යාපාරිකයකු විදිහට  

තරු පිරි අහසේ භාරත වූ චමින්ද සමඟ කතාබහක් . . .

ඔහු පළමුව පදික වේදිකාව් තැඹිලි විකුණුවේය. දෙවනුව රෙදිය. එතැනින් තවත් පියවරක් ඉදිරියට තැබූ මේ උත්සාහවන්ත තරුණයා පදික වේදිකාවෙන් නික්ම තම වෙළඳාම පුංචි කඩයකට අනුගත කර ගත්තේය. ඔහු නමින් භාරතය. ක්‍රම ක්‍රමයෙන් දියුණුවට පත් වූ භාරතගේ පිටුපස ඔහුට ශක්තියක් වෙමින් යෞවනියක් ද විය. ඇය මධුය. නොබෝ දිනකින් භාරත මධු හා විවාහ විය. එතැන් පටන් ඔවුන්ගේ ජීවිතය නොකිලිටි දිය දහරක් පරිද්දෙන් ඉදිරියට ගලා ගියේය.

දිරියෙන් නැගී සිටි ඒ භාරතව ඔබට දැන් නුහුරු නුපුරුදු නැත. ඔහු ජීවත් වූයේ තරු පිරි අහස ටෙලි සිතුවමේය. භාරතට පණ පෙවූ ඔහු චමින්ද වික්‍රමසිංහය.

චමින්ද තරු පිරි අහස නිසා ඔබේ ජීවිතය ගොඩක් ආලෝකවත් වුණා නේද?

මගේ විතරක් නෙවෙයි. ඒ ටෙලි සිතුවමට රංගනයෙන් දැයක වූ බහුතරයකගේ රංගන ජීවිතය ආලෝකවත් වුණා මේ ටෙලි නාට්‍යය හින්දා. මමත් මේ වන තෙක් භාරත තරම් දිගට ගලා යන සංකීර්ණ චරිතයක් කරලා තිබුණේ නැහැ. මාව විශ්වාස කරලා භාරතව මට භාර දුන්නට එහි අධ්‍යක්ෂ ජෝසප් ජෙරම් පෙරේරාට සහ රචක ලක්ෂ්මන් පුෂ්පකුමාරට තුති පුදනවා. මට නොසිතූ ජනප්‍රියත්වයක් ලැබුණා. ගොඩක් අය භාරත නිසා මාව හඳුනා ගත්තා. දැන් මට ඒ නම රෙජිස්ටර්.

පදික වේදිකාවේ වෙළඳාම් කළ අයුරු ගැන මතක් කළොත්?

ඒක නම් සිතට දැනුණ අත්දැකීමක්. පළමුව භාරත විකුණුවේ තැඹිලි. එම දර්ශන ටික තිබුණේ මහරගම ජනාකීර්ණ තැනක. කැමරාව ටික දුරකින් රැඳවූවා.

තැඹිලි, තැඹිලි, තැඹිලි කියලා මං හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. වට වුණේ නැතෑ ඇත්තටම මිනිස්සු. මාත් කිසිම වෙනසක් පෙන් වූයේ නැහැ. මුදල් ගෙන තැඹිලි කප කප දුන්නා කිහිප දෙනෙකුට.

රෙදි විකුණන කොටත් එහෙමයි. ‘පොඩි දුවට, පොඩි පුතාට හවස හෝදලා අන්දන්න’ යන වාක්‍ය කියව කියවයි රෙදි විකුණුවේ. කොහොම හරි ජෙරම් කට් කියන කොට සෑහෙන්න රෙදි ප්‍රමාණයක් විකුණලා.

ඔබ බොහොම පළපුරුදු අයකු වගෙයි පදික වේදිකාවේ වෙළඳාම් කටයුතු කළේ?

ඒක වුණේ මෙහෙමයි. මං කලින් කිව්වා වාගේ මට මීට ප්‍රථම ලැබුණු චරිතවලට වඩා භාරත හරිම වෙනස්. ඒක නිසා මං භාරත වැනි පුද්ගලයන් කිහිප දෙනෙකුව අධ්‍යයනය කළා. තැඹිලි වලු දෙක තුනක් මිල දී ගෙන එක අතක තැඹිලි ගෙඩිය තියාගෙන අනික් අතින් පිහිය ගෙන කපන්න පුරුදු වුණා. ඒක නිසයි ඒ චරිතය එතරම්ම නැගලා ගියේ. අනික මං ජීවිතය පටන් ගත්තේ ව්‍යාපාරිකයෙක් විදිහට. හැබැයි පදික වේදිකාවේ නම් නෙවෙයි. එම තත්ත්වයත් අඩු වැඩි වශයෙන් භාරතට බලපාන්න ඇති.

භාරත නිසා ඔබට දෙවනි වතාවටත් විවාහ වන්නට ලැබුණා?

ඒ පැනයට චමින්ද හොඳටම හිනා වුණා.

ඒක ඇත්ත විවාහයක් නෙවෙයිනේ. හැබැයි එම අවස්ථාවෙහි ඡායාරූප දැකපු බොහෝ දෙනෙක් රැවටුණා මං ඇත්තටම විවාහ වෙලා කියලා. මොකද මගේ පුද්ගලික ජීවිතේ තොරතුරු සමහරෙක් දන්නේ නැහැනේ.

චමින්දගේ බිරිය මොන වගේ ප්‍රතිචාරයක් ද දැක් වූයේ භාරතගෙයි මධූගෙයි විවාහ දර්ශන පෙළට?

මගේ බිරිය අනුෂ්කා අත්තනායක. මාව සෑහෙන්න තේරුම් ගත් තැනැත්තියක්. ඒක නිසා නරක ප්‍රතිචාරයක් දැක් වූයේ නැහැ. සිනාසුනා විතරයි. මගේ දුවත් එහෙමයි. මධු ලෙස රඟපෑ නුවන්ගි ලියනගේත් ඇගේ මිතුරියක්.

චමින්ද වික්‍රමසිංහ නම් ව්‍යාපාරිකයා අද කෝ?

ඔහු ආගිය අතක් නැහැ. දැන් මගේ වෘත්තීය කලාව. එයින් යැපෙනවා මං ඇතුළු මගේ පවුල. මේ ක්ෂේත්‍රය හරිම සුන්දරයි. ඒක හින්දා ජීවිත කාලයම ගෙවන්නේ ඒ සුන්දර ලොව මත.

ඔබේ රංගන කටයුතු ඇරැඹෙන්නේ කොතැනදිද?

අජිත් ලොකුගේ, ගාමිණී චමින්ද, සරත් දික්කුඹුර, සනත් අබේසේකර වැනි නිහතමානී පුද්ගලයින්ගේ හමුවත් සමඟිනුයි මං කලාවට එන්නේ. මොහාන් නියාස් මහත්මා මගේ ගුරුවරයා. ලක්ෂ්මන් පුෂ්පකුමාර සහෘදයා මට ගොඩක් උදවු කළා. ඔවුන් පෙන්වා දුන් මග ඔස්සේ ගමන් කළ මට විහඟ ගීතය, මිලා, ලොක්කයියා, හිරු දහසක් යට වැනි ටෙලි නාට්‍යවලට එකතුවන්න ලැබුණා. ඊට පසුව ‘ජීවිතයම ක්‍රිකට් වගේ’ ටෙලි නාට්‍ය නිෂ්පාදනය කළා. ඔන්න ඔහොමයි මං කලාවට පිවිසුණේ.

චමින්දට වැඩිපුරම රඟපාන්නට ලැබුණේ චණ්ඩි චරිත යැයි මා කිව්වොත්?

ඒක හරි. මගේ පෙනුම වඩාත් සුදුසු චණ්ඩියකුට වෙන්න ඇති. පුංචි ළමයි එහෙම මට ළං වෙන්නත් බයයි. කොහොම වුණත් ආයේ ආයේ චණ්ඩි එහෙමත් නැත්නම් විලන්ගෙ චරිතය මට ලැබුණත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. පුංචි තිරයේ චණ්ඩියකු වෙන්න පුළුවන් නිසා මට සඳට අහස ආදරෙයි ටෙලි නාට්‍යයේ ධනංජයව මැරුවා.

මේ කතාබහේදී තොප්පි ලාල් ගැන සඳහන් නොකළොත් මහත් අඩුවක් වේවි?

තොප්පි ලාල් ඉන්නේ වාසිත සමරනායකගේ සිහින තාරකා ටෙලි නාට්‍යයේ. එය මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වනවා. ඔහුට යන යන තැන මොකක් හරි තොප්පියක්. ඒ කියන්නේ මොකක් හරි කරදරයක් පැටලෙනවා.හරිම මෝඩ, ඒත් චණ්ඩි චරිතයක් ඒක.

ඉදිරියේදී විකාශය වීමට නියමිත ඔබ දායක වූ නිර්මාණ මොනවාද තියෙන්නේ?

තුලාධාර, සැරද බඹර ගුරු.

ආයෙත් නිර්මාණයක නිෂ්පාදකයා ලෙස නම සඳහන් කර ගන්න හිතක් දැන් නැහැ වගෙයි.

ඔබ ඔහොම ඇහැව්වේ දිගු කාලයක් රඟපාපු නිසා වෙන්න ඇති. රංගනයට ඇරැයුම් ලැබුණා වැඩිපුර. ඒ වුණත් දෙසැම්බරය වන විට මගේ අලුත්ම නිෂ්පාදනයෙහි වැඩ කටයුතු පටන් ගන්නවා. ඒ ගැන පසුවට වැඩි විස්තර කියන්නම්.