වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




චැටර්ලි ආර්යාව සමුගනී

චැටර්ලි ආර්යාව සමුගනී

සිල්වියා ක්‍රිස්ටල්

80 දශකයේ මෙරට සිනමාහල් පිරී ඉතිරී ගිය ඉංග්‍රීසි චිත්‍රපටය වූයේ ලේඩි චැටර්ලියස් ලවර්ස්ය. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ සිල්වියා ක්‍රිස්ටල්ය. ඇය පසුගියදා සදහටම සමු ගත්තාය.

චිත්‍රපට අධ්‍යක්ෂ ජස්ට් ජයිකින් අබිියස රැඳී සිටින රූමතියකි. මේ යුවතිය වෙතින් දිස්වන අපූර්වත්වයෙන් යුතු සුන්දරත්වය දෙස ඔහු ඇසිපිය නොහෙලා බලා සිටියේය. අධ්‍යක්ෂ ජයිකින් මේ යුවතිය සොයා ගත්තේ 1973 දී පැවැත් වූ ‘මිස් ටී. වී. යුරෝප්’ තරගයෙනි. ඇය එහි ජයග්‍රාහිකාව වූවාය.

අධ්‍යක්ෂ ජයිකින් මේ වෑයම් කරන්නේ ඔහුගේ තවත් චිත්‍රපටයක ප්‍රධාන චරිතයට ඇයව එක්කර ගැනීමටය. ඇයගේ නම සිල්වියා ක්‍රිස්ටල්. චිත්‍රපටයේ නම ‘එම්මෑනුවල්’. එය වයස්ගත තානාපති නිලධරයකුගේ බිරිඳක කේන්ද්‍ර කරගත් අසම්මත පෙම් බැඳුම් සහිත චිත්‍රපට කතාවකි. අනුරාගික සහ නිරුවත් දර්ශන එහි ඇතුළත්ය. සිල්වියාට සිදු වන්නේත් චිත්‍රපටයේ හැටියට රඟපාන්නටය. එක්තරා දර්ශනයක් රූපගත කරන්නට මත්තෙන් අධ්‍යක්ෂවරයා, සිල්වියාට විධානයක් දුන්නේය. ‘සිල්වියා කරුණාකරලා ඔයාගෙ ඇඳුම ඉවත් කරන්න!’ ඒ විධානයෙන් සිල්වියා තැති නොගත්තාය. දෙඋර මත ගැට ගැසී තිබූ සිහින් පටි කිහිපය බුරුල් කළ ඇය තමන් හැඳ සිටි ගවුම දෙපා මත පතිත වන්නට ඉඩ හැරියාය. කිසිදු අපහසුවක් නොපෙන් වූ ඇය, ‘එම්මෑනුවල්’ට පණ දුන්නාය.

සිල්වියා ක්‍රිස්ටල් නම් වූ අනුරාගයේ සංකේතය බිහි වූයේ එලෙසිනි. ‘එම්මෑනුවල්’ චිත්‍රපටයට ලැබුණේ විස්මිත රසික ප්‍රතිචාරයකි. 1974 දී මුල් වරට තිරගත වූ මේ ප්‍රංශ චිත්‍රපටය එරට තුළ එතෙක් නිෂ්පාදනය වූ චිත්‍රපට අතරින් වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය බවට පත් විය. කෙසේ වුව ද සිනමා විචාරකයන් පවසන්නේ, ප්‍රංශයේ ප්‍රධාන ධාරවේ චිත්‍රපට අතරට මුලින්ම පිවිසුණු කාමුක චිත්‍රපටය ‘එම්මෑනුවල්’ බවය. චිත්‍රපටයත් සමඟම සිල්වියා ක්‍රිස්ටල් නාමය ද ප්‍රචලිත වූයේ විදුලි වේගයෙනි.

සුපිරි තරුවක් බවට පත් වුව ද සිල්වියාගේ ළමා කාලය අතිශය දුක්බර අත්දැකීම්වලින් පිරී තිබුණි. ඇයගේ පියා නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර පිහිටි තානායමක හිමිකරුවෙකි. ඔහු ජීන් නිකලස් ක්‍රිස්ටල්ය. මව පිඑට් නම් වූවාය. 1952 සැප්තැම්බර් 28 දා ඇම්ස්ටර්ඩෑම් හි උට්රෙච්ට් ප්‍රදේශයේ උපන් සිල්වියා, වයස අවුරුදු 9 පිරෙද්දී ශෝචනීය අත්දැකීමකට මුහුණ දුන්නාය. ඇයට හෝටල් කළමනාකරුවෙකුගේ ලිංගික අතවරයකට හසු වන්නට සිදු විය. වයස අවුරුදු 14 වෙද්දී ඇය තවත් පීඩාවකට හසු වූවාය. ඇයගේ පියා තමන් සහ මව අතහැර වෙනත් කාන්තාවක සමඟ ජීවත් වන්නට පටන් ගත්තේය.

‘ . . . ඒ සිද්ධිය මගේ ජීවිතයේ ඉතාම කනගාටුදායක අත්දැකීමක් . . .’ සිල්වියා, තමන් ලියූ ‘අන්ඩ්‍රෙසින් එම්මෑනුවල්’ නම් වූ ස්වයං චරිතාපදානයෙහි එලෙස සටහන් කළාය.

වයස අවුරුදු 17 දී නිරූපණ කලාවට යොමු වූ සිල්වියා ඉන් පසුව රූ රැජන තරගයෙන් ජය ගත් නිසා සිනමා ලොව දොර කවුළු ඇය වෙත විවිර විණි. ‘එම්මෑනුවල්’ හි රඟපෑම නිසා එක රැයින් ජනප්‍රිය වූ සිල්වියාට චිත්‍රපට එක දිගට ලැබෙන්නට පටන් ගත්තේ ඇයගේ උන්මාදනීය රංගනයන් නිසාය. මේ රැඟුම් ඉන් පසුව නිර්මාණය වූ ‘එම්මෑනුවල්’ චිත්‍රපට මාලාවේ කොටස් කිහිපයකටම අවශ්‍ය විය. ඒ අනුව 1975 දී තිරගත වූ ‘එම්මෑනුවල්II’, 1977 දී තිරගත වූ ‘එම්මෑනුවල් III’, 1984 දී තිරගත වූ ‘එම්මෑනුවල්IV’, සහ 1993 දී ‘එම්මෑනුවල් V’, යන චිත්‍රපටවලට ද සිල්වියාගේ රංගනයන් එකතුª විය. ඉන් පසුව රූපවාහිනී මාධ්‍යය වෙනුවෙන් නිෂ්්පාදනය වූ ‘එම්මෑනුවල් රිවෙන්ජ්’, ‘එම්මෑනුවල් මැජික්’, ‘එම්මෑනුවල් පර්ෆියුම්’, ‘එම්මෑනුවල් ලව්’ ඇතුලු තවත් රූපවාහිනී චිත්‍රපට රැසකටම නැතිවම බැරි නිළිය වූයේ සිල්වියාය. 1974 සිට 2006 දක්වා නිර්මාණය වූ එම්මෑනුවල් චිත්‍රපට සංඛ්‍යාව 40 ක් පමණ වේ. එයින් චිත්‍රපට 5 ක සහ රූපවාහිනී චිත්‍රපට 7 ක ප්‍රධාන නිළිය වූයේ සිල්වියාය.

ඇය රඟපෑ සෑම චිත්‍රපටයක්ම පෙරදිග රටවල පමණක් නොව අපරදිග රටවල පවා මහත් ආන්දෝලනයන් ඇති කරන්නට සමත් විය. ‘මාතාහාරි’, ලේඩි චැටර්ලිස් ලවර්’, ‘ප්‍රයිවට් ලෙසන්ස්’ එවැනි චිත්‍රපට කිහිපයකි. ‘මාතාහාරි’ චිත්‍රපටයේ සිල්වියා නිරූපණය කළේ නර්තන ශිල්පිණියකගේ චරිතයකි. පළමුවැනි ලෝක සංග්‍රාම අවධියේදී ජර්මනිය සහ ප්‍රංශය වෙනුවෙන් චර පුරුෂ සේවයෙහි යෙදෙන්නියක ලෙස ද ඇය නිරූපණය කළ එම රංගනය කාගේත් කතාබහට ලක් විය.

ඩී. එච්. ලෝරන්ස් විසින් රචනා කරන ලද ‘ලේඩි චැටර්ලිස් ලවර්’ නවකතාව ඇසුරින් එනමින්ම නිර්මාණය වූ චිත්‍රපටය බොහෝ දෙනා විස්මයට පත් කළ චිත්‍රපටයකි. මෙහි එන චැටර්ලි ආර්යාව ලෙස රඟපෑවේ සිල්වියාය. චැටර්ලි ආර්යාවගේ සැමියාට සිදුවන හදිසි අනතුරකින් පසුව ඔහු බෙලහීනයකු බවට පත්වේ. මේ නිසා චැටර්ලි ආර්යාව තහනම් පෙමක පැටලෙයි. නිරුවත් දර්ශන බහුල වූ මේ චිත්‍රපටය මුල් වරට තිරගත වූයේ 1981 දීය. ‘ප්‍රයිිවට් ලෙසන්ස්’ ද බොහෝ දෙනාගේ විරීධයට ලක් වූ චිත්‍රපටයකි. 1981 දී මුල් වරට තිරගත වූ මෙම චිත්‍රපටයට පාදක වූයේ පහළොස් වියැති කොලු ගැටයකු සහ ඔහුට වඩා වැඩිමහලු වූ තුරුණු මෙහෙකාරියකගේ සිදුවීම් ඇතුළත් හාස්‍යොත්පාදක කතාවකි.

එක්තරා කපටි පුද්ගලයකු මේ මෙහෙකාරිය මෙහෙය වන්නේ කොලු ගැටයාව ඇය වෙත ආකර්ශනය කරවා ගැනීමටය. කපටි පුද්ගලයා උත්සාහ ගන්නේ මේ දෙදෙනා අතර අසම්මත සබඳකමක් ඇති කර ගැටවරයාට උරුමව පවතින දේපළ කොල්ල කා ගැනීමටය. මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වීමට නියමිතව තිබුණ ද, එය තහනම් කෙරුණි. චිත්‍රපටය බ්‍රිතාන්‍ය තුළ තිරගත වුයේ එහි ඇතුළත් වූ දර්ශන රැසක්ම සංස්කරණය කිරීමෙන් පසුවය. ඉන් පසුව එය වැඩිහිටියන්ට පමණක් වෙන් වූ චිත්‍රපටයක් ලෙස තිරගත කෙරුණි. සංස්කරණය නොවූ පිටපත බ්‍රිතාන්‍යයේ තිරගත වූයේ 2007 දීය.

සිල්වියා සිනමා සම්මානයකින් ද පිදුම් ලබා ඇත. 2006 දී නිව්යෝක්හි පැවති ට්‍රිබෙකා සිනමා උළෙලේදී ඇයට සම්මානයක් හිමි වූයේ ඇය අධ්‍යක්ෂණය කළ ‘ටෝපෝ ඇන්ඩ් මී’ නම් වූ කෙටි චිත්‍රපටයටය.

සිල්වියා ජීවත් වූයේ බෙල්ජියම් ගත් කතුවරයකු වූ හියුගෝ ක්ලවුස් සමඟය. ඔහුට දාව ඇය පුතකු ලැබුවාය. ආතර් නම් වූ සිල්වියාගේ එකම පුතු අද 37 වැනි වියෙහි පසු වෙයි. සිල්වියා සහ චිත්‍රපට නළුවකු වන ඉයන් මැක්ශේන් අතර ද පෙම් සබඳකමක් පැවතුණි. ඇයට ඔහු හමු වූයේ ලොස් ඇන්ජලීස් නුවර දී ‘ද ෆිෆ්ත් මස්කටියර්’ චිත්‍රපටයේ රූපගත කිරීම් අතරතුරදීය. ඒ සබඳකම පැවතුණේ වසර හතරකි.

මීට වසර 5 කට පමණ කලින් උගුරෙහි හටගත් පිළිකාවකට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත් සිල්වියාට ශල්‍ය කර්මයක් ද සිදු කෙරුණි. එහෙත් එම පිළිකාව ඇයගේ පෙනහලු දක්වා පැතිරී ගොස් තිබුණි. ඇම්ස්ටර්ඩෑම් හි පිහිටි තම නිවසේදී සිහිසුන්ව ඇද වැටුණු සිල්වියා වහාම රෝහල් ගත කෙරුණි. එයින් දින කිහිපයකට පසුව ඔක්තෝබර් 17 දා නින්දේදීම සදහටම දෙනෙත් පියා ගත් මේ සුපිරි නිළිය ඒ වන විට 60 වැනි වියෙහි පසු වූවාය. ඇයගේ අවසන් මොහොතේදී ඇය අසල රැඳී සිටියේ පුතු ආතර් සහ ඇයගේ සහකරු පීටර් බෲල්ය.

1974 දී සිල්වියා සිනමාවට හඳුන්වා දුන් අධ්‍යක්ෂ ජස්ට් ජයිනික් පැවසුවේ මෙවැන්නකි ‘. . .එදා ඉඳල මෑතක් වනතුරුම මම කොහේ හිටියත් මාස 4 කට වතාවක්වත් මම සිල්වියාට කතා කරනවා. එයා මගේ බාල සොහොයුරියක් වගෙයි. මම අන්තිමට කතා කළේ පහුගිය පෙබරවාරි මාසයේදීයි. ඉන් පස්සෙ මට කතා කරන්න බැරි වුණා. එයාගෙ අභාවය ගැන මට ලොකු දුකක් දැනෙනවා . . .’

ශ්‍රී ලාංකික සිනමා ලෝලීන් අතර ද ජනප්‍රිය වූ, ලොවක් සසල කළ මේ සිකුරු තරුව තවත් කලක් යනතුරු බොහෝ දෙනකුගේ මතකයෙන් ඈත් නොවනු ඇත.