වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




රුක්මණී දේවිය වෙනුවෙන් වෙබ් අඩවියක් සහ දිව්‍ය පූජාවක්

රුක්මණී දේවිය වෙනුවෙන් වෙබ් අඩවියක් සහ දිව්‍ය පූජාවක්

රුක්මණි දේවිය අප හැර ගොස් මෙම මස 28 වැනිදාට වසර තිස් හතරක් සපිරෙයි.

එය නිමිති කර ගනිමින් ඇයගේ සියලු දත්තයන් අඩංගු වෙබ් අඩවියක් එදින උදෑසන 10 ට බෞද්ධාලෝක මාවතේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී නිළි රැජන මාලිනි ෆොන්සේකා අතින් අන්තර්ජාලයට මුදා හැරේ. ඒ සඳහා ක්ෂේත්‍රයේ පිරිසගේ සහභාගිත්වය සංවිධායක කමිටුව බලාපොරොත්තු වේ.

එමෙන්ම මෙම මස 30 වැනිදා උදෑසන 10 ට මාළිගාවත්ත සාමයේ රැජන දේවස්ථානයේදී රුක්මනී දේවියගේ ආත්මයට මොක්සුව පතා ක්‍රීස් අබේරත්න පියතුමා මෙහෙයවන දිව්‍ය පූජාවක් ද පැවැත්වේ.

මෙහිදී දේවස්ථානයේ ගීතිකා කණ්ඩායම සමඟ ඒකාබද්ධව රුක්මණී දේවි අනුස්මරණ සංගමයේ ගීතිකා කණ්ඩායම විශේෂ ගීතිකා ගයනු ලබයි.

මම කාර්යන් ද්විත්වය රුක්මණී දේවි අනුස්මරණ සංගමයේ සභාපති හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස් සමඟ අංග රචනා ශිල්පී සෑම් පෙරේරා ඇතුළු එම කමිටුව සංවිධානය කරති.

සිසිර කාලිංග ‘හිරු නැගෙන වසන්තය’ සමඟ හෙට මහරගම . . .

ගායන සහ වාද්‍ය ශිල්පී සිසිර කාලිංග ඒකනායකගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය ‘හිරු නැගෙන වසන්තය’ මෙම මස 28 වැනිදා සවස පහට මහරගම යොවුන් රඟහලේදී වේදිකා ගතවේ. මෙවර පවත්වනු ලබන්නේ මෙහි දහහත්වන ප්‍රසංගයයි. ප්‍රසංගයෙහි මුල් භාගය ශාස්ත්‍රීය සංගීතයෙන් ද, අපර භාගය හෙවත් දෙවන කොටස සරල ගී වලින් යුක්තය.

මෙහි ගීත සංකල්පනා මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන්ත හේරත්, ආචාර්ය අජන්තා රණසිංහ, කුමාරදාස සපුතන්ත්‍රි, වසන්ත කුමාර කොබවක, පියසේන රතුවිතාන, සඳරුවන් කරුණාතිලක, ධර්මසේන සේනාධීර යන අය ලියා ඇති අතර, සත්සර රටා පණ්ඩිත් අමරදේවයන්, සංගීත් නිපුන් සනත් නන්දසිරි, ආචාර්ය වික්ටර් රත්නායක, ආචාර්ය රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ සහ ජයන්ත රත්නායක ඇතුළු පිරිසගෙනි.

විශාරද නන්දා මාලිනී, බී. වික්ටර් පෙරේරා, යෝගානන්ද බාලසූරිය, ආනන්ද දිසානායක ආචාර්යවරුන්ගෙන් සංගීතය හැදැරූ සිසිර වර්තමානයේ නන්දා මාලිනියගේ සංගීත ආශ්‍රමයේ ගුරුවරයකු ලෙස සේවය කරනු ලබයි. ඔහු මීට ප්‍රථම භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයේ ප්‍රවේශිකා විභාගයට සහ අ. පො. ස. සා/පෙළ විභාගයේ විෂය නිර්දේශයට ඇතුළත් රාග දහයකින් තැටියක් නිකුත් කොට තිබේ.

බයිලා සංගමයේ 45 වැනි සංවත්සරයට

ගුරුවරුන් අනුස්මරණය කර සම්මාන ප්‍රදානය27 දා ජෝන් ද සිල්වා රඟහලේ

සමස්ත ලංකා සරල බයිලා සංගමයේ 45 වැනි සංවත්සරය සහ බයිලා කලාවේ දියුණුවට සහ පැවැත්මට දායක වූ ගුරුවරුන් අනුස්මරණය කර අගයමින් පැවැත්වෙන සම්මාන ප්‍රදානය ලබන27 වැනිදා පස්වරු 4.30 ට කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්වේ.

මෙහිදී සරල බයිලා සංගීත කලායතනයේ නවතම විශේෂාංග සහිතව නොමිලයේ සංදර්ශනයක් ද පැවැත්වීමට සමස්ත ලංකා සරල බයිලා සංගමය කටයුතු යොදා ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 0724459537 දුරකථන අංකය අමතා ලබා ගන්නා ලෙස එම සංගමය දන්වා සිටියි.

ලෝකල් ගාමිණී ඩී. වී. ඩී පටය නිකුත්වේ

ටවර් හෝල් රඟහල පදනම මඟින් මෙහෙය වූ රුක්මණී දේවි උපහාර නාට්‍ය උළෙලේ (2006) හොඳම නාට්‍ය ඇතුළු සම්මාන පහකින් පිදුම් ලැබූ බිබීශන කුරේරාගේ ‘ලෝකල් ගාමිණී’ නාට්‍යය හි ඩී. වී. ඩී. පටය දැන් නිකුත් වී තිබේ.

මෙහි වින්සන් කාරියවසම්, රොමියෝ ප්‍රනාන්දු, ප්‍රේමචන්ද්‍ර හෙට්ටිආරච්චි, කුමාර ජයවීර රංගනයෙන් දායක වෙති. පිටපත් රචනය සහ නිෂ්පාදන සැලසුම් බිබීශන කුරේරාගෙනි.

මෙය ලාසරස් ස්ටුඩියෝ වෙනුවෙන් ඩී. සුරංග ශ්‍රීනිත් ජයසූරිය නිෂ්පාදනය කරයි.

ලහිරු ලක්ෂාන්ගේ ඒක පුද්ගල ගී දැක්ම

‘අම්මාවරුනේ’ හෙට මහනුවරදී

ලහිරු ලක්ෂාන්ට තවමත් අවුරුදු දහයයි. ඉගෙන ගන්නේ පේරාදෙණිය ජේ. එම්. සී. ජාත්‍යන්තර පාසලේ.

මේ 28 වැනිදා පුංචි ලහිරු ලොකු හපන්කමක් කරනවා. ඒ ඔහු උපතින් ගෙනා ගායන හැකියාව කල එළි දක්වන ඒක පුද්ගල ගී ප්‍රසංගයක්. ‘අම්මාවරුනේ’ යනුවෙන් නම තබා ඇති එය එදින සවස නුවර නිමල් සේනානායක කලා ආයතනයේදියි පැවැත්වෙන්නේ. ප්‍රසංගය ගීත විස්සකින් සමන්විතයි. ඉන් හතරක් ලහිරුගේම නිර්මාණ. අම්මාවරුනේ සඳහා ජානක ලක්ෂ්මන් සහ සුගතදාස යන සංගීත ගුරු මහත්වරු බෙහෙවින් උදවු කරන බව ලහිරු පවසනවා. ඒ වගේම පාසලේ සෑම අයකුගෙන්ම හොඳ සහයක් ලහිරුට ලැබෙනවාලු.

ලහිරු පුතා වැඩිපුරම ගෙදරදී කියන්නේ මව් ගුණ ගීත. ඒකයි ප්‍රසංගයට ‘අම්මාවරුනේ’ කියලා නම තිබ්බේ.

එහෙම කියන්නේ ලහිරුගේ පියා සමන්ත විතානගේ. ඔහු යුද හමුදාවේ තූර්ය වාදක කණ්ඩායමේ විශ්‍රාම ලත් නිලධාරියෙක්. සමන්ත දැනට පිළිමතලාවේ සංගීත පංතියක් පවත්වාගෙන යනවා. ලහිරු අවසානයේ පියාට සහ මවට බෙහෙවින්ම ස්තුති කළා. ඒ වගේම අම්මාවරුනේ නරඹන්න එන්න කියලත් විවෘත ආරාධනාවක් කරන්න ලහිරු අමතක කළේ නැහැ. සේයා -ටෙනී

ලෝක ළමා දිනය දා

ලෝක ළමා දිනය වෙනුවෙන් මිනුවන්ගොඩ නාලන්දා බාලිකා මධ්‍ය මහා විද්‍යාලයේදී විශේෂ උත්සවයක් පසුගිය දා පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජනප්‍රිය සිනමා නිළි වීණා ජයකොඩි සමඟ 9 වසර ‘ඒ ’ පන්තියේ ශිෂ්‍යාවන් රංගනයක යෙදෙන අයුරු. - ඡායාරූපය : සමන්ත වීරසිරි

හසන්ත ගී අමානන්දය අද බොරැල්ලවයි. එම්. බී. ඒ. හිදී

ගායන ශිල්පි හසන්ත ඇල්ගිරියේ විතානගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය ‘හසන්ත ගී අමන්දානන්දය’ මෙම මස 27 වැනිදා බොරැල්ල වයි. එම්. බී. ඒ. ආයතනයේ රංග ශාලාවේදී පැවැත්වේ.

සංගීතය පියල් ප්‍රනාන්දු ප්‍රමුඛ සුසර වාද්‍ය වෘන්දයෙනි.

ශාරදා කලා නිකේතනයෙන් සංගීතය හැදෑරූ හසන්ත වෘත්තියෙන් ආදායම් පරීක්ෂක නිලධාරියකි.

සුහානි රාත් යාෂ් චොප්රා වෙනුවෙන්

විනීතා කරුණාරත්නගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන ‘සුහානිරාත්’ හින්දි ගීත වැඩසටහන අද දින (25 වැනිදා) රාත්‍රී 10.20 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වේ.

මෙවර ‘සුහානි රාත්’ හින්දි ගීත වැඩසටහන වෙන් වනුයේ පසුගියදා අප අතරින් වියෝ වූ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ යාෂ් චොප්රා වෙනුවෙනි. යාෂ් චොප්රා වීර්සාර්, දිල් තු පාගල් හේ, කබී කබී, සිල්සිලා ආදී ඉන්දියාවේ මෙන්ම ලාංකේය හින්දි රසිකයන් අතර ජනප්‍රිය චිත්‍රපට රාශියක අධ්‍යක්ෂවරයා ද වෙයි. මේ වැඩසටහන මෙහෙය වන්නේ රංගන ශිල්පිනී යශෝධා විමලධර්මයි.

‘සිව් සඳ රෑ ගී සරණිය’ හෙට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ රැස් කිරීම් හා සේවායෝජන සේවා කොට්ඨාශයේ සුභසාධක සංගමයේ අරමුදල වෙනුවෙන් ‘සිව් සඳ රෑ ගී සරණිය’ හෙට (26) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

සුනිල් එදිරිසිංහ, දීපිකා ප්‍රියදර්ශනී, වික්ටර් රත්නායක සහ නිරෝෂා විරාජිනීගේ ගායනයෙන් සංගීතවත් වන මෙම ගී සරණියේ සංගීතය මෙහෙයවීම සුනිල් අමරසිංහ, නර්තන අධ්‍යක්ෂණය චන්න විජේවර්ධන සහ කථනය වසන්ත රෝහණ විසිනි.

ආර්. ආර්. සමරකෝන් ලියූ ‘ගේ කුරුල්ලෝ’ නව මුද්‍රණය 30 දා දොරට වඩී

අභාවප්‍රාප්ත ප්‍රවීණ ලේඛක ආර්. ආර්. සමරකෝන් මහතා ලියූ 1971 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ ‘ගේ කුරුල්ලෝ’ නවකතාවේ නවතම මුද්‍රණය 2012 ඔක්තෝබර් 30 වැනිදා කොළඹ, මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.

අපේක්ෂා භංගත්වයට පත් මධ්‍යම පාන්තික පියෙකුගේ ජීවන අත්දැකීම් කලාකරුවෙකු ලෙස ගවේෂණය කිරීමෙහිලා ආර්. ආර්. සමරකෝන් දක්වන ප්‍රතිභාව අනල්පය. නාට්‍යකරණයේදී ලත් පරිචය ඔහුගේ නිර්මාණාත්මක භාෂා භාවිතයට අනුබලයක් වී ඇති බව ‘ගේ කුරුල්ලෝ’ නවකතාවේ භාෂා ව්‍යවහාරයෙන් පෙනේ.