වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




සායිෆ් කරීනා විවාහයේ සිරි අසිරිය

සායිෆ් කරීනා විවාහයේ සිරි අසිරිය

* මංගල මාලයේ මිල ලක්ෂ හතළිහයි

* මනාලියට ඉස්ලාමීය විරෝධයක්

පුරා පස් වසරක්ම කරීනා පෙම්වතියක වූවාය. සායිෆ් පෙම්වතකු විය. මනාලියක හා මනාලයකු නැති මඟුල් ගෙයක් මෙන් පැවැති ඔවුන්ගේ ආදරයේ හිස් තැන දැන් පිර වී අවසානය.

බාලගිරි දෝෂය දුරු වී ‘සායිෆීනා’ විවාහය ඔක්තෝබර් 16 වැනි දින නිම විය. දෙදෙනා අතිනත ගත්තේ බොලිවුඩයේ වසරේ මහා මංගල්‍යයේ අසිරිය ලොවට කියාපාමිනි.

කොළ සල්වාර් කුර්තාවකින් සැරැසී මේ සැමියා හා බිරිය වශයෙන් පෙනී සිටි පළමු සේයාරුවයි

කරීනා කපූර්ගේ සහ සායිෆ් අලි ඛාන්ගේ විවාහය පූර්ණ චාරිත්‍රානුකූලව ඔක්තෝබර් 13 – 18 දක්වා පැවැත්වුණි. සංගීත්, මෙහෙන්දි විවාහය සහ උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් ඔවුන්ගේ ආදරයේ මිහිර වැඩි කළේය.

දැන් කරීනා (බෙබෝ) බෝපාල් රජ බිසවකි. (බෙගම්) ඇයගේ විවාහයට හොලිවුඩයේ බ්‍රෑඩ් පිට්ගෙන් පවා සුබපැතුම් ලැබුණි. ‘බොලිවුඩයේ සරාගීම යුවළට සාර්ථක යුග දිවියකට සුබ පැතුම්’ ඔහු ඔවුන්ට සුබ පැතුවේ එසේය.

පියා පුංචි අම්මා කෙනකු ගෙන එද්දී සායිෆ්ගේ කලින් විවාහයේ පුතු ඊබ්‍රාහිම් (දස හැවිරිදියි) සහ දියණිය සාරා (සොළොස් හැවිරිදියි) ද සතුටු වූහ. ඒ කරීනා ඔවුන්ට ප්‍රියමනාප චරිතයක් වූ නිසයි. සායිෆ්ගේ පළමු බිරිය, නිළි අම්රිතා සිං සායිෆ්ට වඩා දොළොස් වසරකින් වැඩිමල්ය. කරීනා කුඩා වියේ සිටම අම්රිතාගේ රංගනය අගය කළ තැනැත්තියක වීම එක් අතකින් දෛවෝපගත සිදුවීමකි.

අම්රිතාගෙන් වෙන් වූ පසු සායිෆ් පෙම් බැඳි පළමු තරුණිය කරීනා නොවෙයි. ඉතාලි ජාතික, ප්‍රංශ මෝස්තර නිරූපණ ශිල්පිනී රෝසා කැටෙයිනෝ සමඟ ඔහු පෙමින් බැඳුණේය. මේ කරීනාගේ ද කුලුඳුල් ආදරය නොවෙයි. ඇය වසර තුනක්ම ආදරය කළේ ෂහීඩ් කපූර්ටයි. ඔහු නිසා ඇය මස්මාංස කෑම ද නතර කළාය. එහෙත් 2007 වසරේදී එය නිම විය. සායිෆීනා මංල්‍යයට නොපැමිණිය ද ෂහීඩ්ගේ නෙත් එදින කඳුළින් තෙත් වූයේ තුන් වසරක ප්‍රේමයේ යටගියාව සිහිවීම නිසා බව බොහෝ දෙනා පවසති. කරීනාට වඩා මාස පහක් පමණ බාල ෂහීඩ් තවමත් තනිකඩය. ඔහු මාධ්‍යයට කියා සිටියේ කරීනාට හදවතින්ම සුබ පතන බවයි.
1991 දී සායිෆ්, අම්රිතා විවාහයදා කරීනා එයට සහභාගි වෙන විට ඇගේ වයස අවුරුදු දහයකි. යුවළට සුබ පැතූ විට සායිෆ් ‘දූට ස්තුතියි’ කියා පවසා තිබේ. 1991 දී සායිෆ්, අම්රිතා එදා කරීනා

මංගල දිනයේ කරීනා ග්‍රෑම්ස් හාරසියයක් පමණ බරැති ගෙලේ සිට උකුළ දක්වා දිගු මාලයක් පැ,ැඳ සිටියාය. එය වටිනා මැණික් ගල් එබ්බ වූ මාලයකි. මාලයේ මිල ලක්ෂ හතළිහකට වඩා වැඩිය. ඇයගේ මංගල ඇඳුම නිර්මාණය කළේ කවදත් කරීනාගේ ඇඳුම් නිර්මාණය කරන මනිෂ් මල්හෝත්‍රාය. මංගල්‍යය මුලුමනින්ම සැලසුම් කළේ, මනාලයාගේ මව ජනප්‍රිය නිළි ෂර්මිලා තාගෝර්ය. මංගල උළෙලේ නිල ආරාධනා පත්‍රයේ අවසානයේ ෂර්මිලා ඇයගේ සුරතල් නාමය ‘රින්කු’ යොදා අත්සන්කර තිබුණි. පෙර පැවැසූ පරිදිම මනාලිය සැරැසී සිටියේ 1969 ෂර්මිලා සැරැසුණු ඇඳුමින්මය. ඇයගේ සාම්ප්‍රදායික මංගල ඇඳුම කුර්තා, ෆර්ෂි පිජාමා සහ ඩුපාතා සංකලනයක් විය.

ෂර්මිලා, මංගල්‍යයට ඉන්දීය අගමැති මන්මෝහන් සිංට සහ ජනපති ප්‍රනාබ් මුකර්ජිට ආරාධනා කළ ද ඔවුහු සහභාගි වූයේ නැත. එහෙත් ඉහළ පෙළේ මැති ඇමැතිවරු ගණනාවක්ම සහභාගි වී තිබේ.

සායිෆීනා මංගල්‍යය නිසා පවුල් පවුල් අතර තිබුණු බොහෝ සීමා මායිම් බිඳ වැටුණු අතර එය ආගමික සීමා පැනැවුණු මංගල්‍යයක් ද වෙයි. දියෝබන්ද්හි ඉස්ලාමීය ආයතනය මේ විවාහය ප්‍රතික්ෂේප කරන්නේ කරීනා කපූර් විවාහයට පෙර ඉස්ලාම් ආගමට නොහැරවුණු නිසයි. විවාහය තමන් අදහන ආගම වෙනස් කිරීමට හේතුවක් කරගත යුතු නැති බව සායිෆ් තදින්ම විශ්වාස කරයි. එහෙත් ඉස්ලාමීය ආයතනය මෙය දකින්නේ මුස්ලිම් විරෝධී විවාහයක් ලෙසයි.

කරීනාගේ විවාහ උත්සව මාලාවේ විශේෂ උත්සවයක් වන ‘සංගීත්’ සඳහා ඥාති සොයුරු රන්බීර් කපූර් සහභාගි වූයේ නැත. ඒ වෙනුවට ඔහු අධ්‍යක්ෂිකා සෝයා අක්තාර්ගේ උපන් දින සාදයට සහභාගි වී තිබේ. පුතු නැති අඩුව සම්පූර්ණ කර ඇත්තේ මව, නීතුය. එහෙත් මංගල දිනයේ නම් සොයුරිය වෙනුවෙන් ඔහු පැමිණියේය.

* ‘සංගීත්’ උත්සවයේදී සාම්ප්‍රදායික ඇඳුමින් සැරැසුණු කරීනා

රන්බීර්ගේ මව නීතු සහ කරීනාගේ මව බබිතා අතර කලක සිට සීතල යුද්ධයක් පැවැතුණි. දෙදෙනා වසර විසි පහක්ම එකිනෙකා සමඟ වචනයක්වත් කතාකර නැත. එහෙත් බබිතා, දියණියගේ විවාහයට නීතුට ආරාධනා කිරීම ඒ සීතල යුද්ධය අවසාන කළ බවට ලැබුණු ඉඟියක් වැනිය. කරිෂ්මා සහ අභිෂේක් අතර පැවැති සබඳතාව බිද වැටුණු පසු බච්චන් පවුල සහ කපූර් පවුල අතර තිබූ හොඳ හිත පළුදු විය. යළි හිත හොඳ වූ බවට ශ්වේතාගේ (අම්තාබ් බච්චන් දියණිය) පැමිණීම සාක්ෂියකි. ඇය පැමිණ සිටියේ රාජ් කපූර්ගේ දියණිය රිතූ කපූර් නන්දා සමඟයි. ශ්වේතා විවාහ වී සිටින්නේ රිතූගේ පුතු හා කරීනාගේ ඥාති සොයුරා නිඛිල් නන්දා සමඟයි.

ෂාරුක් ඛාන් යුවළ, අනිල් කපූර් පවුල, කරන් ජොහාර්, රාණි මුඛර්ජි, ප්‍රීති සින්තා, තුෂාර් කපූර්, අම්රිතා අරෝරා ඇතුළු තාරකා රැසකින් සායිෆීනා මංගල දිනය ඒකාලෝක විය.

හින්දු බැතිමතියක වුවත් කරීනා නත්තල් ප්‍රීතිය සමරන්නියකි. එහෙත් මෙවර ඇයට නත්තල සමරන්නට වන්නේ සායිෆ් සමඟ දෙසිය පනස් එක් වැනි මධුසමය ගත කරමිනි.

සියල්ලෝම දෙදෙනාට ‘සුබ මංගලම්’ කීව ද ‘සායිෆීනා’ මංගල්‍යයට හිටපු බිරිය අම්රිතා සිංටත් වඩා වෛර කරන තාරකාවක සිටින්නීය. ඇය රාඛී සාවන්ත්ය. කරීනා හොඳ තරුණියක වුවත් මේ විවාහය වැඩිකල් නොපවතින බව ඇය පවසන්නීය. ‘සායිෆ්ට තරුණියන් කියන්නේ දහදිය පිසදා වීසි කරන කොළ කෑලි විතරයි’ රාඛී එසේ පැවැසුව ද එය එසේ නොවේවායි යන්න සැමගේ පැතුමයි

 කරිෂ්මා අක්කණ්ඩිය සමඟ

නැන්දණිය ෂර්මිලා රාජකීය ඝරා රාවෙන් සැරැසී

 පියා රන්ධීර් කපූර්

රන්බීර් කපූර් පැමිණෙමින්. . .