වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




සුපෙම්වතුන් වෙනුවෙන් ගැයෙන චතුරිකාගේ සුපෙම් ගීතා

සුපෙම්වතුන් වෙනුවෙන් ගැයෙන චතුරිකාගේ ''සුපෙම් ගීතා''

දිනෙන්, දින නවක ගායක, ගායිකාවන් ගීත ක්ෂේත්‍රයට පියමං කිරීම වර්තමානයේ දකින්නට ලැබෙන සුළබ ප්‍රවණතාවකි. එහෙත් ඉන් බහුතරයකගේ අපේක්ෂාව ඉක්මන් ජනප්‍රියත්වයයි. ඒ ඉලක්කය පසුපස හඹායාමේදී සාර්ථක ගී නිර්මාණවලට ඉඩ ඇහිරී බාල, හරසුන් ගීත සමාජ ගතවීම නොවැලැක්විය හැකි කරුණකි.

චතුරිකා ගීතාලි, මේ රැල්ලේ උඩු ගං බලා පිහිනන්නට තැත් කරන නවක, ප්‍රතිභා සම්පන්න ගායිකාවක් සේ හැඳින්වීම යුක්ති යුක්ත යැයි සිතමි. ඇය සිය කුලුඳුල් ගීත එකතුව ‘සුපෙම් ගීතාව’ එළි දක්වන්නේ ගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ නිර්මාණ දායකත්වය ලබා ගනිමිනි.

මේ චතුරිකා අප සමඟ කළ කෙටි පිළිසඳරකි.

ඔබ සංගීතය විෂයක් ලෙස හදාරා ක්ෂේත්‍රයේ ඉදිරි ගමනක් යන්නට උත්සාහ දරන ශිල්පිනියක්. මුලින්ම ඒ පිළිබඳ කතා කරමු?

මගේ ගම රත්නපුරය. පාසල් වියේදී පටන්ම සංගීතයට මගේ ලොකු කැමැත්තක් වගේම යම් දක්ෂතාවයකුත් තිබුණා. මගේ මව සංගීත ගුරුවරියක්. තාත්තා හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක්. ගෙදර සංගීතකාමී පරිසරයක් තිබුණා. මොකද මව සංගීත ගුරුවරියක් නිසා.

රත්නපුර සුමන බාලිකා විදුහලින් සහ පැල්මඩුල්ල ගන්කන්ද විදුහලෙන් සිප් සතර හැදෑරූ චතුරිකා සිය පාසල් වියේදීම සංගීත විෂය සම්බන්ධ ජයග්‍රහණයන් රැසකට උරුමකම් කීවාය. 1992 පාසල් සංගීත හා නාට්‍යය තරගයේ ප්‍රථම ස්ථානය හිමිකර ගත් ඈ 1997 වසරේදී සමස්ත ලංකා පාසල් සංගීත හා නාට්‍යය තරගයේ රාගධාරි ගායනා ප්‍රථම ස්ථානය දිනා ගත්තාය. සමස්ත ලංකා පාසල් සංගීත හා නාට්‍යය තරගයේ සිතාර් වාදනයෙන් දෙවැනි ස්ථානය ඈ හිමිකර ගත්තේ 1999 වසෙර්ය. 2000 වසරේදී ඈ භාත්ඛණ්ඩ සංගීත විද්‍යා පීඨයෙන් විශාරද උපාධිය ලැබීය.

කොහොම හරි කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය හදාරන්න ගියාට පස්සේ මම සංගීත විෂයෙන් ටිකක් විතර ඈත් වුණා. ඒත් විශ්ව විද්‍යාල කලා උළෙල, සාදවලදී මම ගීත ගායනා කළා.

එතකොට කොහොමද මේ අලුත් ගී නිර්මාණත් එක්ක ආයෙත් සංගීතය පැත්තට නැඹුරු වුණේ?

ඇත්තෙන්ම ගායිකාවක් විදිහට යළිත් මගේ ගමන මේ විදිහට ආරම්භ වුණේ මගේ විවාහයෙන් පස්සේ. මම විවාහ වුණේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය නීල් සෙනෙවිරත්න මහතා සමඟයි. ඔහු වෛද්‍ය වෘත්තියේ නියැළුණාට ඇත්තෙන්ම කලාවට, සංගීතයට ප්‍රිය කරන හොඳ රසවතෙක්.

නමුත් විවාහ වූ අලුත ඔහු මගේ ගායන හැකියාව දැනගෙන සිටියේ නෑ. දවසක් අපේ නිවසේ තිබුණ සාදයකදී මම ගීත කිහිපයක් ගායනා කළා. ඔහු ගොඩක් කැමැති වුණා ඒ ගීතවලට. පස්සේ ඔහු කළ ඉල්ලීමකට අනුව තමයි මේ ගීත පටිගත කිරීම් සිදු කළේ.

ප්‍රවීන ශිල්පීන් රැසක්ම ඔබේ ගී නිර්මාණ එකතුවට දායක වුණා?

ඔව්. ඇත්තෙන්ම ඒක මම ලැබූ ලොකු භාග්‍යයක්. සංගීත රචනයෙන් ආචාර්ය වික්ටර් රත්නායක, ආචාර්ය රෝහණ වීරසිංහ, විශාරද නන්දසේන කටුවාවල, එච්. එම්. ජයවර්ධන, නවරත්න ගමගේ, නදීක ගුරුගේ, කසුන් කල්හාර, මහින්ද බණ්ඩාර, විශාරද උපුල් පෙරේරා, දර්ශන රුවන් දිසානායක ‘සුපෙම් ගීතාව’ට දායක වුණා. මෙහි ගීත රචනා කළේ කුමාරදාස සපුතන්ත්‍රි, රත්න ශ්‍රීී විජේසිංහ, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, නිලාර් එම්. කාසිම්, කැළුම් ශ්‍රීමාල්, ලූෂන් බුලත්සිංහල, රංජිත් රූපසිංහ, චාමින්ද රත්නසූරිය, අසංක රුවන් සාගර සේන ලියනගේ වැනි ගේය පද රචකයන්. ගීත ගායනයෙන් ආචාර්ය වික්ටර් රත්නායක, ටී. එම්. ජයරත්න, කසුන් කල්හාර, නදීක ගුරුගේ, දයාසිරි ජයසේකර, ඉන්දිකා උපමාලි මට සහාය වුණා.

අද බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ ජනප්‍රිය රැල්ලට නතු වී ගීත ගයන්න. නමුත් ඔබ එතනින් වෙනස්?

අද වෙන කොට සංගීතය කර්මාන්තයක් බවට පත් වෙලානේ ලංකාවේ. එක සිංදුවක් කරලා ඒකෙන් ලොකු මුදලක් උපය ගන්න තමයි ගොඩක් අය බලන්නේ. නමුත් නාළිකාවල යන සිංදු අහන කොට, දකින කොට ඒවායේ ලොකු වෙනසක් මම දකින්නේ නෑ. ඒවා මතක හිටින්නෙත් නෑ. නමුත් බොහෝ රසිකයන් අදටත් කැමැති 70 දසකයේ නිර්මාණය වූ ගීවලට. අපි වුණත් රස විඳින්නේ තාමත් ඒ ගීත. මම කරන දේට මිනිස්සු කැමැති වුණොත් මම ජනප්‍රිය වෙයි. එහෙම නැතිව රැල්ලට ගිහින් බලෙන් ගීත ජනප්‍රිය කරවා ගන්න මට වුවමනාවක් නෑ.

ඔබේ ගීතවලට රසිකයන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියා සිතනවාද?

දැනට මේ ගීත ශ්‍රවණය කළ අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගීත කිහිපයකුත් රූප රචනය කළා. මේ 27 වැනි සෙනසුරාදා සවස 6.30 ට ඒ C. D. සහ D. V. D දොරට වඩිනවා. එදිනම ‘සුපෙම් ගීතාව’ ගීත ප්‍රසංගයත් පැවැත්වෙනවා. මම හිතන්නේ එදාට මා වටා යම් රසික පිරිසක් එකතු වේවි. ඒක මගේ ඉදිරි ගමනට ශක්තියක්, ධෛර්යයක්. ඒ වගේම ඕනෑම කෙනෙකුට මේ ගී ප්‍රසංගය නරඹන්නට විවෘතව ආරාධනා කරනවා.

ඇගේ ගී මග ආලෝකමත් වේවායි අපිදු පතමු!