වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ අභිමානය වෙනුවෙන් ඇය කැප කළේ ස්වකීය ආත්මයයි

අපේ අභිමානය වෙනුවෙන් ඇය කැප කළේ ස්වකීය ආත්මයයි

රුක්මණී දේවිය, යනු අපේ සිනමාවේ බිහි වූ තවත් එක් නිළියක පමණක්ම නොවේ. සැබැවින්ම ඈ හෙළ සිනමා නිළි පරම්පරාවේ උප්පත්තිය යැයි කීම නිවැරදිය. 1947 වසරේ තිරගත වූ ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයේ ‘රංජනී’ ගේ චරිතයට පණ පොවමින් පුරෝගාමී නිළිය සේ සිනමාවට එක් වූ ඇය මෙරට ප්‍රථම සුපිරි තාරකාව ද වූවාය. අපේ සිනමාවේ මුල්ම නිළි රැජන ලෙස හඳුන්වනුයේ ද ඇයයි.

රංගනයට මෙන්ම ගායනයට ද එක සේ දස්කම් පෑ රුක්මණී තමා වෙනුවෙන් පසුබිම් ගී ගැයූ මුල්ම නිළිය ලෙස ද මෙරට සිනමා ඉතිහාසයට එක්වේ. කිසිවකු නොසිතූ, නොපැතූ අයුරින් රුක්මණී දේවිය අපෙන් සමුගෙන ගොස් මෙම 28 වැනි දිනට වසර තිස් හතරක් සපිරේ. ඈ අපෙන් වියෝ වූයේ 1978 ඔක්තෝබර් 28 වැනිදාවකය.

‘මැවිලා පෙනේවි, රූපේ හදේ
දර්ශනේනි ශෝභා
ස්වප්නේකි රූප ඡායා. . .’

එදා ඈ එලෙස ගැයූ පරිද්දෙන්ම රුක්මණියගේ රුවත්, හඬත් රසික මනසින් තවමත් බැහැර වී නැත. ඒ ඈ පොදුජන ආකර්ෂණයත්, ආශිර්වාදයත් ලද ජනකාන්ත කලාකාරිනියක බැවිනි.

රුක්මණී දේවිය පිළිබඳ බොහෝ දෙනා බොහෝ දෑ පවසනු අප අසා ඇත්තෙමු. එහෙත් රුක්මණිය පිළිබඳ නිළි රැජන මාලිනී ෆොන්සේකාට කීමට ඇත්තේ ඒ සියල්ලට වඩා වෙනස් කතාවකි. ඇගේ හද පත්ලෙන් නැගෙන ඒ සංවේදී ආත්ම කථනය මෙතැන් සිට ඔබ වෙනුවෙන් විවර වේ.

* * *

රුක්මණී දේවිය හෙවත් ආදරණීය ඩේසි අක්කා පිළිබඳ එදා මෙන්ම අදත් මසිතෙහි ඇත්තේ ගෞරවනීය හැඟීමකි. එය හෙට මෙන්ම මතුවට ද වෙනස් නොවනා සිතිවිල්ලක් බව මට විශ්වාසය.

ඩේසි අක්කා පිළිබඳ කතාබහ කරන විට අපට කිසි විටෙක අමතක කළ නොහැකි කරුණක් වේ. ඒ රංගන ශිල්පිනියක ලෙසින් අපේ සිනමාවට එක් වූ ඇගේ විප්ලවකාරී ප්‍රවිශ්ටයයි. එකල අප සමාජයේ මුල් බැස ගෙන තිබූ සංස්කෘතික, ආගමික පසුබිම තුළ ඈ නිළියක වීමට ගත් තීරණය මා අදටත් දකින්නේ වීර ක්‍රියාවක් ලෙසිනි. එකල තරුණියක් නිළියක වීම ඒ ආගම්වාදීන් හැඳීන්වූයේ ‘යකාට ගියා’ යනුවෙන් බව මම අසා ඇත්තෙමි. නිළියක වන්නට රුක්මණී දේවිය එදා ගත් ඒ එඩිතර තීරණය පිළිබඳ මසිතෙහි ඇත්තේ ගෞරවනීය හැඟීමකි.

අද අප නිදහසේ ඇවිද යන්නේ එදා ඈ හෙළි, පෙහෙළි කළ ඒ මඟ ඔස්සේය. අද ඒ මඟ වඩාත් සුපසන්ය. අද නොඑසේ නම් හෙට බිහි වන නිළියක පවා ඒ බව සිහි තබා ගත යුතුය. ඇගේ ආත්මය කැප කොට අපට ලබා දුන් අභිමානය පිළිබඳ මුළුමහත් නිළි සංහතියම ඇයට ගෞරවය පුද කළ යුතු යැයි මට සිතේ.

නළුවකු, නිළියක යනු අද ප්‍රේක්ෂකයාට අරුමයක් නොවේ. එහෙත් එදා රසිකයන් රුක්මණිය දුටුවේ දෙව්ලොවින් බට දෙවඟනක් විලසය. කිසිවකුටත් අත පොවන්නට බැරි මානයේ සිහින ලෝකයක සැරිසැරූ සුරංගනාවිය ද ඇයම වූවාය.

මුල් වරට රුක්මණී දේවිය පිළිබඳ ඇල්මක් ආදරයක් මසිත හට ගත්තේ ‘කැලෑ හඳ’ චිත්‍රපටය නිසා බව මගේ අතීත මතකයේ කොහේ හෝ සැඟව තිබේ. සැබැවින්ම එදවස මා පුංචිම, පුංචි දැරියකි. අපේ ගමේ ඉඩකඩ තිබූ වත්තක ප්‍රොජෙක්ටරයක් සවිකර එකමත් එක දිනෙක ‘කැලෑ හඳ’ පෙන්නූ බව මට මතකය. රුක්මණියගේ රංගනයට මෙන්ම ඇගේ රුවට ද මුල් වරට මම වශීකෘත වුයේ එදා විය යුතුය. ඈ එම චිත්‍රපටයේ පාලම මත මිය ගොස් සිටිනා විට පසුබිමින් ඇසුණ ‘මායා. . . මායා . . .’ ගීතය මගේ පුංචි සිතට කිසියම් සංතාප සිතිවිල්ලක් ඇති කළා නේදැයි අද මට සිහිපත් වේ. එහෙත් ඒ සියල්ල අතරේ මා

වඩාත් උනන්දු වූයේ පාලම මත වැතිර සිටි ඇගේ දිගුªවරලස පහලට එල්ලී තිබුණ රූප රාමුව නැරඹීමටය. ඒසා දිගු වරලසක ආශ්චර්ය පුංචි වුණත් මගේ ගැහැනු සිතට නොදැනුණා යැයි මට කිව නොහැකිය.

රුක්මණී දේවිය ‘කැලෑ හඳ’ චිත්‍රපටයේ නිරූපණය කළේ ‘මාලිනී’ නමැති තරුණියගේ චරිතයයි. රුක්මණීගේ ප්‍රියතම චරිතය වූ එනමින් සිංහල සිනමාවේ ඈ වඩාත් ඇළුම් කළ ‘මාලිනී ෆොන්සේකා’ කෙනෙකු පසුකාලීනව ඇයට හමුවෙතැයි රුක්මණිය එදා නොසිතන්නට ඇත. රුක්මණියගේ ප්‍රියතම මෙන්ම ඈ වටා වැඩි ප්‍රේක්ෂක මනාපයක් රැඳ වූ චරිතයේ නමින් හෙළ සිනමාවේ ‘නිළි රැජන’ වෙන්නට වරම් ලැබීම පිළිබඳ මසිතේ ඇත්තේ සියුම් ආඩම්බරයකි. මගේ මවගේ මෙන්ම

පුංචි අම්මාගේ ද ප්‍රියතම නිළිය හා ගායිකාව වී සිටියේ රුක්මණිය බැව් මම අසා ඇත්තෙමි. ඊට ප්‍රමුඛතම සාධකය වූයේ කැලෑ හඳ’ චිත්‍රපටයයි. එකල ‘කැලෑ හඳ’ සාරි ‘කැලෑ හඳ’ වළලු තරුණියන් හා කාන්තාවන් අතර ඉතා ජනප්‍රිය විලාසිතාවන් වූ බව මගේ මව පසු කලෙක මට පවසා තිබුණි.

මා රුක්මණි දේවිය සමඟ මුල් වරට රඟපෑවේ ‘අබුද්දස්ස කාලේ’ චිත්‍රපටයේය. මා රුක්මණිය පණපිටින් දුටු පළමු දිනයත් එදිනය. එම මුල්ම දැක්මේදී ඈ ලුංගියකින් සැරසී සිටියා මට තවමත් මතකය. දොම්පේ ප්‍රදේශයේ ගැමි පරිසරයක රූගත කළ එම චිත්‍රපටයේදී ඇගේ රුව සජීවීව දැක ගන්නට වරම් ලැබුණ ද ඈ හා කතාබස් කිරීමට අවකාශයක් ලැබුණේ නැත. ඉනික්බිතිව මට රුක්මණී දේවිය හා රඟපාන්නට අවස්ථාව උදා වූයේ ‘පාරා වළලු’ චිත්‍රපටයේය. එහි මා නිවසක මෙහෙකාර තරුණියකි. නිවසේ හිමිකාරිය ලෙස රඟපෑවේ රුක්මණියයි. ‘පරා වළලු’ රූ ගත කළේ ප්‍රකට වෛද්‍යවරයකු වූ දොස්තර ඇන්තනීස්ගේ ඇස් වාට්ටුවේ පිහිටි නිවෙසේය. එහි රූගත කිරීමකට සැරසී මා වේෂ නිරූපණය කරමින් සිටියෙමි. වේෂ නිරූපණ ශිල්පියා වූයේ රෙජී සිල්වාය. එවෙලේ එතැනට පැමිණි රුක්මණී දේවියගේ රුව මා දුටුවේ මා ඉදිරියේ තිබූ කැඩපතෙනි. ‘ආ . . . මෙයාද අලුත් ඇක්ට්‍රස්’ සුහදශීලී හඬකින් ඈ විමසුවා මට මතකය. ඉන් පසු මා අසලට පැමිණි ඇය මගේ නිකට ඔසවා මොහොතක් බලා හිඳ ‘ලස්සන ලිප්ස් දෙකක් තියෙනවා

නේද රෙජී මෙයාට’ යනුවෙන් විමසා සිටියේ මා කිසියම් ලජ්ජාශීලී බවකට හා මවිතයට පත් කරවමිනි. දෙවියනේ මෙය විය හැක්කක් ද . . .? මේ මිහිබට සුරඟන අපේ සිනමාවේ සුරූපී දෙවඟන මට කිසියම් සරදමක් කළේ ද . . .? සැනකින් මසිත තිබූ ඒ වික්ෂිප්තභාවය පහව ගියේ ඒ වදන් ඈ පැවසූයේ හද පත්ලෙන් නැඟුණ කුළුණුබර හැඟීමෙන් බව මට ප්‍රත්‍යක්ෂ වූ නිසාය. අගය කළ යුතු දෑ අගය කිරීම හා ප්‍රශංසා කළ යුතුª දෑ ප්‍රශංසා කිරීමේ මහා ගුණාංග මුල් වරට ඇගෙන් මා හඳුනා ගත්තේ ඒ සිදුවීම පසුබිම් කොට ගනිමිනි.

‘මෙයාව දෙන්නකෝ අපට දරුකමට හදා ගන්න’ මේ රුක්මණී දේවිය වරක් මගේ මවගෙන් කර තිබූ ඉල්ලීමකි. එතරම් සෙනෙහසක් ඇල්මක් ඈ තුළ මා කෙරෙහි හටගන්නට ඇත්තේ පෙර සසරේ බැඳීමක් නිසාවෙනැයි ඇතැම් වෙලාවක මට සිතේ. මා කුසෙන් බිහි කළ මාතාව නොවුණත් ඈ මවක මෙන් මට සෙනෙහස පෑවාය. විටෙක වැඩිමහල් සොයුරියක සේද, විටෙක හෘදයාංගම යෙහෙළියක සේ ද මගේ කලා ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේ ද රුක්මණිය මා හා එකට බැඳී හුන් අයුරු මේ මොහොතේ මා මතකයට නැෙඟන්නේ නෙතඟ කඳුළු බිඳුවක් මෝදු කරමිනි. රුක්මණිය මට පෑ දයාව, කරුණාව, ආදරය, සෙනෙහස නිසාවෙන්ම ඈ මට ඩේසි අක්කා විය. ඇය ද මා ඇමතූවේ ‘මාලිනී නංගී’ යනුවෙනි. සැබැවින්ම මා පමණක් ;නාව ඇගේ ජ්‍යෙෂ්ටත්වයට ගරු කළ බොහෝ සිනමා ශිල්පීන්, ශිල්පිනියන් ඇය ආමන්ත්‍රණය කළේ ‘ඩේසි අක්කා’ කියාය. අපේ නිළි පරපුරේ ඈ හා සමවන්නට එදා මෙදාතුර කිසිවකු සමත්ව නැතැයි මා පවසන්නේ අතිශයෝක්තියෙන් නොව ඇය වෙත කෙරෙන ගෞරව ප්‍රණාමයක් ලෙසිනි. ඈ අපේ සනුහරේ ආදරණීය ලොකුª අක්කායි.

රුක්මණීගේ මුල්කාලීන රංගනයන් අතිශය නාට්‍යාතිශය හා භාවාතීශය ස්වරූපයෙන් යුක්ත යැයි ඇතැම් විචාරකයන් එදා විවිධ මත පළ කළත් එය ඇගේ පෞද්ගලික දොසක් සේ මම නොදකිමි. ඊට හේතුª පාදක වූයේ එවකට අපේ සිනමාවේ මුල් බැස ගෙන තිබූ දකුණු ඉන්දීය සිනමාවේ රංගන ශෛලියයි. එවකට සිටි අධ්‍යක්ෂවරුන් ඇගෙන් බලාපොරොත්තු වූවේ එවන් රංගන ශෛලියකි. ඔව්හු ඇය මෙහෙයවූයේ ද එකී රංග සම්ප්‍රදායේ ලාංකේය ස්ත්‍රී අනුරුවක් ලෙස පමණි. එහෙත් ඉඩ ලද සෑම අවස්ථාවකම ඈ මිටින් මුදා හළ කිරිල්ලියක සේ ඇයටම ආවේණික නිදහස් රංගන ශෛලියකින් සිනමා අඹරේ ඔබ මොබ සැරිසැරුවාය. මුල් කාලයේ ඇගේ රංගනයන්හි කිසියම් අධි රංගනයක් දක්නට ලැබුණේ ඈ වසර ගණනාවක සිට වේදිකාවේ රඟපාමින් සිනමාවට අවතීර්ණ වීම නිසා යැයි මම විශ්වාස කරමි.

ගායිකාවක ලෙස රුක්මණී දේවිය පෑ ප්‍රතිභාව විශ්මිතය. වේදිකාවේ අන්තිම කෙලවරට ඇසෙන සේ අති උච්ච ස්වරයෙන් ගායනා කළ හැකි ගීතවත් හඬක් ඈ හට උපතින්ම හිමිව තිබිණ. ඒ හඬෙහි ප්‍රබලත්වය බටහිර සංගීතයේ සුප්‍රානෝ හා ඔපෙරා ගායන ශෛලීන්ට පවා උචිත විශ්මය දනවන එකකි. කිසියම් චිත්‍රපටයකට ‘ආලේ කළා නම් සැපතා සොයලා’ යන ගීතයේ අවසන් කොටස කෙතරම් උච්ච ස්වරයෙන් ගායනා කළා ද කිවහොත් එය ගයා අවසන් වනවාත් සමඟ රුක්මණී දේවිය සිහිසුන්ව ඇද වැටුණු වග මම අසා ඇත්තෙමි.

‘අහසින් පොළවට’ චිත්‍රපටයට ඈ ගැයූ ‘කට කොනකින් හිනා වුණා’ රුක්මණී ගේ ගීත අතරින් මගේ ප්‍රියතම ගීයකි. ඒ ඇය චිත්‍රපටයටක් වෙනුවෙන් අවසන් වරට ගැයූ ගීයයි. ඇගේ හඬෙහි ගැබ්ව තිබූ ශෝකී රාවය රුක්මණී දේවියගේ ආත්මය වසා පැතිර තිබූ දුක්ඛ සංතාපයේ පිළිබිඹුවකැයි මට සිතුණු වාර අනන්තය.

ලෝකයාට නොපෙන්නුව ද රුක්මණිය හදවතින් හඬා වැටුණ චරිතයක් බැව් මම ඉඳුරා දනිමි. ඈ වරෙක සහෝදරියක, වරෙක මිතුරියක ලෙස ඒ සංතාප වේදනාවෙන් නොයෙක් වර මා හට පවසා තිබේ. කෙතරම් දුක් ගැහැට, ප්‍රශ්න, බාධක තිබුණ ද ඈ ඒවා විඳ දරා ගත්තේ සිනහවකිනි. ඇය ඒවා ලොවට වසන් කරගෙන තනිවම හඬ වැළපුණාය.

ඩේසි අක්කා කිසි දිනෙක කිසිවකු සමඟ කේන්තියෙන්, වෛරයෙන් පසුවනු මම දැක නැත්තෙමි. ඈ මිනිසුන්ට ආදරය කළ, මෛත්‍රී කළ තැනැත්තියකි. අනුන්ගේ දුක තමන්ගේ කර ගත්, අනුන්ගේ කඳුළට හඬා වැටුණු එහෙත් තමන්ගේ දුක සඟවාගෙන ලෝකයා රසවත් කළ ඩේසි අක්කා බඳු චරිතයක් මිහිපිට තවත් ඇතිදැයි මම නොදනිමි.

වරෙක ඩේසි අක්කාගේ මව තදබල ලෙස රොගාතුර විය. ඇයට ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වන බවත් එය දරා ගැනීමට ඩේසි අක්කාට හෝ එඩී අයියාට ඒ වන විට යම් අපහසුවක් තිබූ බව එකල සිනමාවේ රැඳී හුන් අයට රහසක් වූයේ නැත. ඇයට ආර්ථික වශයෙන් උදවු කිරීමේ අරමුණ පෙරදැරිව අරමුදලක් ස්ථාපිත කිරීමට මම මුල් වී කටයුතුªª කළෙමි. ඒ සදහා ශාන්ති ලේඛාත්, සනත් ගුණතිලකත් මා සමඟ අත්වැල් බැඳගත් අයුරු මේ මොහොතේ ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි. පසුව රවීන්ද්‍ර රන්දෙණිය හටද මේ සද් කාර්ය සඳහා සම්බන්ධ වන්නට අප ඇරියුම් කළෙමු. ඔහු නොපැකිලව ඒ මහා පුණ්‍යකර්මය උදෙසා කොන්දේසි විරහිතව අප හා එක් වූ අයුරු මේ මොහොතේ මා මතකයට නැෙඟ්. ‘ශ්‍රීී ලංකා නළු - නිළි සංගමය’ බිහි වූයේ ඩේසි අක්කා මුල් කොට ගෙන අප එදා දියත් කළ ඒ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් විලසිනි.

රුක්මණී දේවිය අමුතුම තාලයේ කාන්තාවකැයි මට සිතේ. ඇය මෙන් මාද ආදරය වෙනුවෙන් කැප වූ, පවුල වෙනුවෙන්, සහෝදරයන් වෙනුවෙන් කැප වූ අයකු බවට පසු කලෙක පත් වුණෙමි. අද ද එහි වෙනසක් නොමැත. ‘ඔයා කවදා හරි ගෙයක් හැදුවොත් ඩේසි අක්කා එහෙ ගිහින් තියාගන්න’ යැයි වරෙක මා පියාණන් එසේ පැවසූවේ ඩේසි අක්කා පිළිබඳ මා තුළ තිබූ අපිරිමිත සෙනෙහස හා දයාව පිළිබඳ එතුමන් හොඳින්ම දැන සිටි නිසාවෙනි.

මුල් කාලයේ මම වේෂ නිරූපණය සඳහා දැක්වූයේ අවප්‍රමාණ සැලකිල්ලකි. නොඑසේ නම් අඩු උනන්දුවකි. ‘මේ විදිහට මේකප් කරන්න . . . මේ විදියට අඳින්න’ කියා ඒ හැම විටම මා ‘තරු ගුණයෙන්’ බබලවන්නට උත්සුක වෙමින් උපදෙස් දුන්නේ ඇයයි.

1968 වසරේ තිරගත වූ ‘අබුද්දස්ස කාලේ’ චිත්‍රපටයෙන් පසු ඩේසි අක්කා සමඟ චිත්‍රපට රැසක රඟපෑවේ වරම මට උදාවූයේ දෛවයේ ආශිර්වාදයක් ලෙසිනි. ‘කුණ්ඩලකේශී’ චිත්‍රපටයේ මගේ මව වූයේ ඇයයි. ‘හිතුවොත් හිතුවාමයි’, ‘උන්නත් දාහයි මළත් දාහයි’, ‘කවුද රජා’, ‘සරදියෙල්ගේ පුතා’, ‘සමනළ කුමරියෝ’, ‘අපි කවදත් සූරයෝ’, ‘සුහද පැතුම’, ‘හොඳට හොඳයි’, ‘කොහොම කියන්නද’, ‘ඔන්න මාමේ කෙල්ල පැනපි’, ‘සධානා’, ‘නයනා’, ‘දෙවියනි ඔබ කොහිද’, ‘රාං කුරුල්ලෝ’, ‘මොණරතැන්න’, ‘නුවන් රේණු’, ‘සිල්වා’, ‘බඹා කෙටූ හැටි’ වැනි චිත්‍රපටවල ඈ මා සමඟින් විවිධ චරිත නිරූපණය කළාය. ඇතැම් විටෙක රූප රාමුවල එකට හමු නොවුණත් තිරයෙන් පිටුුපස තිබූ අපගේ සබඳතාවය අති මහත්ය.

1978 වසරේ ඔක්තෝබර් 28 වැනි දින ඩේසි අක්කා හා මා අතර තිබූ ඇසුර, සදහටම වැළළී යනු ඇතැයි කියා මට නිකමටවත් සිතුණේ නැත.

ඒ මගේ ජීවිතය අතිශයින් වේදනාවට, කම්පාවට හා භීතියට පත්කළ දිනයකි. ඊට පෙර දින මාතර උයන්වත්ත ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක ගී ගයා නිවෙස බලා එමින් සිටියදී ජාඇල, තුඩැල්ල දේවස්ථානය අසල සිදු වූ මාරක රිය අනතුරෙන් රුක්මණී දේවිය මිය ගිය පුවත සැලවීමත් සමඟ මට සිදු වූයේ කුමක්දැයි මම නොදනිමි.

ඇගේ නිසල දේහය තැන්පත්කර තිබූ මෘත ශරීරාගාරය වෙත මා ගියේ කෙසේදැයි තවමත් මට සිතාගත නොහැකිය. ඒ මොහොතේ ඇති වූ කම්පනයෙන් මං ක්ලාන්තව ඇද වැටෙන්නට ගියා මට මතකය. මා සමඟ ගිය පද්මිණී නම් මිතුරියගේ සිරුරට වාරු වී ඒ දුක්බර මොහොත මම ගෙවා දැමුවේ පපුතුරේ කැටිවුණු වේදනාව සිහින් ඉකිබිඳුමක් වන්නට ඉඩ හැරීමෙනි.

අතුපතර විහිදා සිටි අපේ නිළි පරම්පරාවේ මහා නුග රුක ඉදිරී වැටුණේ යළි නොනැගිටින්නට වග මම එදා පසක් කර ගතිමි. එහෙත් ඒ සෙවණ යට මා ලද අපිරිමිත සෙනෙහස, සුවය සදාතනික යැයි මට සිතේ. ආදරණීය ඩේසි අක්කේ ඒ පිනම ඇති ඔබට . . .