වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන් ගෙන් අහන්න

අර්ජුන් ගෙන් අහන්න

ශුද්ධ වූ බයිබලයේ සඳහන් කතාවක් අනුව නිපදවන ලද ‘සැම්සන් ඇන්ඩ් ඩිලයිලා’ චිත්‍රපටය ගැන කෙටි විස්තරයක් කරන්න.

පෝල් පෙරේරා - කුලියාපිටිය

බයිබලයේ සැම්සන් ඇන්ඩ් ඩිලයිලා පාදක කරගෙන චිත්‍රපට රාශියක් නිපද වූවා. ඉන් පළමුවැන්න 1922 තැනුණ නිහඬ චිත්‍රපටයයි. කෙසේ වෙතත් මේ චිත්‍රපට අතර වඩාත්ම ජනප්‍රිය චිත්‍රපටය 1949 දී තැනුණ සිසිල් බී. ඩිමිල් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයයි. බයිබලය පාදක කොට ගෙන ලෝකයේ අති දැවැන්ත චිත්‍රපට තැනූ ඩිමිල්ගේ මෙම චිත්‍රපටයේ වික්ටර් මේචල්, හේඩි ලැමාර්, එහි ප්‍රධාන චරිත දෙක රඟපෑවා. පනහ දශකයේ වැඩිම ආදායම් ලත් චිත්‍රපට අතර මේ චිත්‍රපටය කැපී පෙනුණා.

විදෙස් හාස්‍ය නළුවන් හා සසඳද්දී මෙරට වර්තමාන හාස්‍ය නළුවන් ගැන ඔබට මොකද හිතෙන්නේ?

කමල් වීරසේන – කැලණිය

මට මොකුත් හිතෙන්නේ නැති එක තමයි ප්‍රශ්නය. අනෙක් කරුණ මම චරිතාංග නළුවන් විනා හාස්‍ය නළුවන් යන අය දැකලා නැහැ.

සිනමවේ ආරම්භක චිත්‍රපටය සේ සැලකෙන්නේ කුමන චිත්‍රපටයද?

විනී ප්‍රනාන්දු – මීගමුව

ලුමියර් සහෝදරවරුන් විසින් 1896 දී නිර්මාණය කළ ලුමියර් කර්මාන්ත ශාලාවෙන් සේවකයන් පිටතට පැමිණීම, දුම්රියක්, දුම්රිය ස්ථානයට පැමිණීම ඇතුළු චිත්‍රපට රාශියක් එයට අයිතියි.

හින්දි සිනමාවේ කරන් ජොහාර්, යාෂ් චොප්රා, වගේ අය හදපු චිත්‍රපටවල කතාව හොඳයි.

ඒ වගේම ඒවා බොක්ස් ඔෆීස් වාර්තා පවා බිඳ හෙලුවා. නමුත් දැන් නිර්මාණය වන හින්දි චිත්‍රපටවල ඇතුළත කතාව අර තරම් නිර්මාණාත්මක නැහැ.

ඒත් ඒවා ආදායම් වාර්තා පවා බිඳ හෙලනවා. මෙහෙම වෙන්නේ කොහොමද අර්ජුන්?

ශෂීකලා සෙව්වන්දි - අස්ගිරිය - ගම්පහ

ඒ සිනමාකරුවන් පරණ විදිහට නොහිතන නිසානේ ශෂිකලා.

පාඨකයෝ විවිධ දේ ගැන ප්‍රශ්න ලියා ඔබ වෙත එවනවා. ඔබ ඒවාට උත්තර දෙන්නේ ඔබේ දැනුමෙන් ද?

නැත්නම් පොත් පත්තර බලලා ද? එහෙමත් නැතිනම් අන්තර් ජාලයෙන් ද?

වී. ඒ. එස්. සෙව්වන්දි - ගම්පහ

කෙනෙකුගේ දැනුම විවිධ ආකාරයට වර්ධනය වෙනවා. ඒ විද්වතුන්ගේ ඇසුර, පොත්පත් ඇසුර, ජීවිත ඇත්දැකීම් හා අන්තර් ජාලය වැනි නවීන තාක්ෂණයේ ඇසුර.

ඒ වගේම ඒවා ස්මෘතියේ තබා ගැනීමත් සුවිශේෂී හැකියාවක්. මේ හැම දෙයක්ම එක් වූ තැන දැනුම කියන දේ වර්ධනය වෙනවානේ.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සහ මහා නළු රවීන්ද්‍ර රන්දෙණිය එකම සිනමාපටයක රඟපා තිබේද?

එන්. සිරිපාල – උඩුගම්පොළ

ඔව් සිරී, චිත්‍රපට කිහිපයකම එකට රඟපා තිබෙනවා. යකඩයා, කොටි වලිගය, තවලම ඒ අතරින් කිහිපයක්.

ජනප්‍රිය නිළි ක්ලැරිස් ද සිල්වා මුලින්ම රඟපෑ චිත්‍රපටය ‘පුදුම ලේලි’ බව සඳහන්ව තිබුණා.

නමුත් මගේ හැඟීම එය ‘උමතු විශ්වාසය’ යනුවෙනුයි.

අමරසිංහ – කැලණිය

ඔබ හරි අමරේ.

අළුත් පරපුරේ බොහෝ ගායකයන් තමා හැර ගිය බිරිඳ හෝ පෙම්වතිය ගැන ගීත ගායනා කිරීමේ තේරුම කුමක්ද?

නන්දවීර ගාල්ලගේ – අනුරාධපුරය

ඒක ඒ අයගෙන්ම තමා අහන්න වෙන්නේ.

‘චණ්ඩාලි’ චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන නිළිය කවුද?

නීටා මර්සලින් – කැලණිය

ජෙනී විනිෆ‍්‍රිඩා.

විමල් කුමාර ද කොස්තා ගැන ඔබට දැනෙන විදියට කෙටි හැඳින්වීමක් කරන්න.

වසන්ත සල්ගාදු - මහනුවර

ලංකාවේ 70 දශකයේ බිහි වූ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වූ කොස්තා රඟපෑ හැම චිත්‍රපටයක්ම මතක හිටින රංගනයක් ඉදිරිපත් කළ රංගන ශිල්පියෙක්. ඒ වගේම විවිධ භූමිකාවන් සිනමාවේ වගේම වේදිකාවේදී ඉදිරිපත් කළ විලාසය කදිමයි. ඒ අතරින් ඔහුටම ආවේණික වූ අභිරූපණ රංගනය සුවිශේෂයි.

චිත්‍රපයකට නැඟුණු ‘ප්‍රථම චිත්‍ර කතාව’ කුමක්දැයි පැහැදිලි කර දෙන්නකෝ?

තිලකරත්න විල්වල – කෑගල්ල

සිංහල චිත්‍රපටයකට නැඟුණේ දයා රාජපක්ෂගේ ‘වානරයෝ’යි.

ශ්‍රී ලංකාවේ චිත්‍රපට සංරක්ෂණය කරන්නන් කවුද?

මිනෝලි ධර්මදාස - රත්මලාන

තිස්ස නාගොඩවිතාන, හේමප්‍රිය කණ්ඩම්බි, ගෝඩන් ද සිල්වා වැනි අය ඒ අතර කැපී පෙනෙනවා. ඊට අමතරව අප්‍රසිද්ධියේ චිත්‍රපට රැක ගන්න අයත් සිටිනවා.

දේව්දාස් ඉන්දියානු චිත්‍රපටය ගැන විස්තරයක් පළ කරන්න.

අයිලින් සෝවිස් - රාගම

දේව්දාස් නමින් ඉන්දියාවේ චිත්‍රපට රාශියක් තැනුණා. සරත්චන්ද්‍ර බන්ද්‍රපාධ්‍යගේ මේ නවකතාව ඇසුරින් මුල්ම චිත්‍රපටය තැනුණේ බෙංගාලි සිනමාවේ නිහඬ යුගයේදීයි. පසුව එය බෙංගාලි මෙන්ම හින්දියෙන්ද නිර්මාණය වූවා. බෙංගාලි, හින්දි, තෙලිගු ආදී විවිධ භාෂාවලින් තිරගත වූවා.

එය කෙතරම් ආකර්ෂණීය ද යත් මෑතදී සංජය ලීලා බන්සාලි නිර්මාණය කළ චිත්‍රපටය ‘දෙවි ඩී’ නමිනුත් වූවා.

පසුගිය සතියේ නිවැරැදි කිරීමකි.

ගාමිණී ෆොන්සේකා හා විජය කුමාරතුංග එකට රඟපෑ චිත්‍රපටය ලෙස උතුර දකුණ ලෙස සඳහන් වූයේ ප්‍රමාදයකිනි. එය ශක්ති යනුවෙන් නිවැරැදි විය යුතුයි. උතුර දකුණ චිත්‍රපටයේ ගාමිණී සමඟ රැගූවේ සනත් ගුණතිලක හා ශෂී විජේන්ද්‍රයි.