වර්ෂ 2012 ක්වූ අගෝස්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




ලංකා ‍ෆේසස් ස්පෙෂල් නයිට් පෙර පුහුණුවීම්වල රසවත් අත්දැකීම්

ලංකා ‍ෆේසස් ස්පෙෂල් නයිට් පෙර පුහුණුවීම්වල රසවත් අත්දැකීම්

* කවියෙන් බැනගන්නා යාලුවෝ

* පිං පොං හොඳටම නිදි

අනිද්දා සැප්තැම්බරයේ පළමුවැනිදාය. එදින නිශාන්තය උදාවෙත්ම නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාවේදී අති ආනන්දනීය නර්ථන ප්‍රසංගයක් දිග හැරීමට නියමිතය. ලංකා ෆේසස් ස්පෙෂල් නයිට්. එය නම් කොට ඇත්තේ එලෙසින්ය.

පසුගිය සරසවිය කලාප කිය වූ ඔබට මෙම රාත්‍රිය ගැන දැනුවත්ය. ඒ මොහොත උදාවනතුරු බොහෝ දෙනකු නොඉවසිල්ලෙන් පසු වන්නේ මෙම විචිත්‍රවත් ප්‍රසංගයේ අත්දැකීම සියැසින් දැක ගැනීමේ රිසියෙන්ය.

ලාංකේය කලා නිම්නය ස්වකීය රශ්මියෙන් එකලු කළ තරු රාශියකින් මේ සුපිරි රැය සමන්විතය. මේ වන විටත් ඔවුන් ලහි ලහියේ එය සඳහා පෙර පුහුණුවීම්වල නියැලෙන බව මට ආරංචි විය. ඒ නෙළුම් පොකුණේම ඇති විශේෂ පුහුණුවීම් කුටියකය. තරු එක් වූ තැන රස ගුලාවක්ය. මා හට එසේ මතක් වූයේ මා මීට ප්‍රථම විඳි එවන් වූ අත්දැකීම්වලින්ය. මෙතැන ද ඒ අන්දමින් යැයි සිතීම වරදක් නැත.

කට්ටිය අද නෙළුම් පොකුණේ ප්‍රැක්ටිස්. පුළුවන් නම් ඇවිත් යන්න.

අර්ජුන කමලනාත්ගෙන් ඇරැයුමකි.

හරි මං එන්නම්. හැබැයි මං එනවා කියලා කාටවත් කියන්න එපා.

මා එලෙස දැන් වූයේ සැබෑවටම ඔවුන්ගේ ක්‍රියා කලාපයන් රසවත්ව දැක ගැනිමට හැකියාව ඇත්තේ නොකියාම ගියොතින් බැවිනි.

නෙළුම් පොකුණට පා තැබූ මට පළමුව දැකගන්නට ලැබුණේ වෙනස්ම දසුනකි. දෙදෙනකු කවියෙන් බැන ගනිති. කුමාර තිරිමාදුර එක් අයෙකි. කලක් ඇන්ඩ් කම්පැනිහි හෙළ රුවන් ලෙස රැඟූ සමන් ඒකනායක අනෙක් කෙනා.

සමන්ට පහර දෙන්නට මෙන් තැත් කොට කුමාරගේ මුවින් කවි පේළියක් ගිලිහුණේ මෙපරිද්දෙනි.

කට රත්මලානේ දත් ටික අගුලානේ

උඹ පිටකොටුවෙ යන කොට බඩ මරදානේ

සමන්ද ඔහුට දෙවැනි නැත. බොහෝ සෙයින් කෝප වූ බවක් ඔහුගේ මුහුණින් පෙනේනට තිබිණි. ඔහු කුමාරට පිළිතුරු බැන්දේය.

කරාටේ ජුඩෝ රෙස්ලින් බොක්සින් ද මට පුළුවන්ය හිටියට වගෙ තේ හැන්ද

මොකද මේ දෙන්නට වෙලා තියෙන්නේ?

කවි වාදය උත්සන්න වූ තැන මා එතැන සිටි මිහිර සිරිතිලකගෙන් විමසීය.

ඔයා අදත් අපිට නොකියාම අපේ වැඩ කිඩ ගැන ලියන්නට ආවා නේද? මේක තමා මේ ෂෝ එකේ අපේ අලුත්ම අයිටම් එක. පුංචි ඩ්‍රාමා එකක්.

ආ . . . ඇත්තද මං නම් හිතුවෙ දෙන්නා ඇත්තටම බැන ගන්නවා කියලා. අනිත් කට්ටිය උඩ ඇති නේද? මං ඒ අය මොනවද කරන්නේ කියලා බලලා එන්නම්.

අප්පට සිරි අන්න ඇමතිතුමා එනවා.

මිහිරගේ කෑ ගැසීම මගේ ගමන සුළු මොහොතකට නතර කෙරිණ.

සර් මොකද අද තනිවම.

නෙළුම් පොකුණෙහි ආරක්ෂක නිල දරුවෙකුගෙන් ඇමතිවරයාට ගරු සරු ඇතිව පැනයකි.

සර් නෙවෙයි අයිසේ මේ මම දොන් ගයි.

ඔවුන්ට එතැන ඉන්න ඉඩදී මම තරප්පු පේළි තුනක් නැග පුහුණුවීම් කෙරෙන තැනට ගියෙමි. දොරටුව අසල තබා ඇති බංකුවකට බර දී ප්‍රේමදාස විතානගේ හති අරියි.

අපි ඉතින් ටිකක් තරුණ උදවියනේ. ටිකක් ගිමං ඇරලා එන්නම්.

මම පුහුණුවීම් කුටියට එබුණෙමි. ඇතැමෙක් මා ආ බව දැන විස්මය පළ කළහ. පුහුණුවීම් කොට හොඳටම හෙම්බත් වී සිටි මංජුලා කුමාරි හෙවත් ඕලු එක හුස්මට ලීටරයක පමණ වතුර ජෝගුවක් හිස් කළාය. මේනකා පීරිස් අවට ඇති බඩු භාණ්ඩ එහාට මෙහාට කොට මොනවදෝ හොයන ආකාරයක් පෙනේ.

මොනවද හොයන්නේ? අපිට කිව්වා නම් සපෝට් එකක් දෙනවානේ.

නුවන් ගුණසේකර ඈ ළඟට විත් කීය.

මගේ සංග්ලාස් දෙක අනේ හොයන්නේ?

අයියෝ කියන්න එපායැ, ඔයා සංග්ලාස් දෙක නළලෙ තියාගෙනෙනේ හොයලා තියෙන්නේ.

මම එතැනින් මෑත් වුණෙමි. ශලනි තාරකා ටේප් පටියක් ඇඟ පුරා පටලගෙන කැරකි කැරකි සිටියි. මා සිතුවේ ඒ ඇගේ නර්ථන අංගයක් කියාය. නමුත් සිදුව ඇත්තේ ශලනි තම නර්ථනය සඳහා වුවමනා ඇඳුම මැසීමට මිම්ම ගැනීමකි.

මේ අතරතුර කිසිවකුගේ ගෙරවුම් හඬක් මට ඇසිණ. ඒ කවුරුන්දැයි මම විපරම් කළෙමි.

රජිත හිරාන් චාමිකර හෙවත් පිංපොං අයිනක් අල්ලාගෙන හොඳට නිදිය.

ඔහුට බාධා නොකොට මා ඔහු නිදාහුන් ඡායාරූප කිහිපයක් ලබා ගතිමි.

ආශාවේ ආශාවේ පායා

රෑ සිහිනේ මායාවේ සේයා

ප්‍රේමේ නුරා රස වෑහෙන මීවිත

මේ දෙතොලේ ඇත මට ළං වෙලා

මේ යාමේ . . . . හෝ හෝ හෝ හෝ හෝ . . .

ජෝතිපාලයන් සහ ග්‍රේෂන් ආනන්දයන් ගැයූ චිත්‍රපට ගීයක හඬ ඇසේ. ඊට නර්ථනයෙන් දායක වනුයේ අර්ජුන සහ අමීෂා සමඟ මංජුල මොරගහය.

මෙවැනි අපූරු ගීත රැසකින් සහ එහි රසාස්වාදය දෙගුණ තෙගුණ වන අන්දමේ මනහර රංගනයන්ගෙන් ලංකා ෆේසස් ස්පෙෂල් නයිට් සමන්විත බව මා මෙතැන ගත කළ හෝරා කිහිපයදී මට දැනිණ. ඒ වගේම තවත් වෙනස්ම අන්දමේ නාට්‍යමය කොටස් අතලොසස්සක්ද මෙයට ඇතුළත්ය.

මීළගට මිහිර සහ පිංපොංගේ අංගය ලැහැස්ති වෙයි. ඔවුනට මෙවර ලැබී ඇත්තේ විකට ගීතයක් නොව වේග රිද්මේ එකකි. මෙම පුහුණුවීම් කටයුතු සියල්ල කෙරෙනුයේ සංඛ ප්‍රසාද්ගේ උපදෙස් මතය.

මිහිර ක්‍රියාශීලීව නටන්නට පටන් ගත්තත් පිංපොං හිටියේ තවමත් නිදිමත ගතියෙනි. ඔහු මිහිරට යමක් කොඳුරනු පෙනිණ. එය කියා අවසන් වෙත්ම මිහිර දඩස් ගා බිම ඇද වැටින. අපි හැමෝම එතැනට ළඟා වූයේ ක්ෂණිකවය.

මිහිරයෝ මොකෝ උඹ වැටුණේ, කෑවා

බිව්වා මදිද?

පිංපොං සුපුරුදු වචන රටාවෙන් විමසීමක් කළහ.

ඇයි බං උඹමනේ කිව්වේ වැටෙන්න ඕනේ කියලා.

අයියෝ මං කිව්වේ වැටෙන්න ඕනෙ කියලා නෙවෙයි. වැදෙන්න ඕනෙ කියලා. අපි දෙන්නා පොඩ්ඩක් ඇඟේ හැපුණා මදිනේ ඒකයි කිව්වේ. පිංපොංගේ වචන ඇසී මිහිර යළිත් බිම ඇද වැටිණ.

කාලය ක්‍රමයෙන් ගත වී යයි. නමුත් මෙතැනින් නික්මී යන්නට මට ප්‍රියක් නොමැත. ඇත්තටම මෙතැනෙහි සිදුවන සිදුවීම් අනන්තය, අප්‍රමාණය. කෙසේ නමුත් සැඳෑ අඳුර ගලා හැලෙද්දී මං සියල්ලන්ට සමුදී නෙළුම් පොකුණෙන් පිටත්ව ආවෙමි.

ඉහත සඳහන් කළ පිරිසට අමතරව ශේෂද්‍රි, හේමාල්, නිලන්ති ඩයස්, අනර්කලී, මංජුලා කුමාරි, චිලී, ලුඩ්මිලා, ගයේෂා, අජිත් වීරසිංහ, විශාකා සිරිවර්ධන යන අයත් සිටින වග අවසන මා සඳහන් කරමි.