වර්ෂ 2012 ක්වූ අගෝස්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




මේ ගමන අහම්බයක්

මේ ගමන අහම්බයක්

සූරිය සිරසෙන් අපේ නිවෙසට එන රුවිනි හේවගේ

අම්මාගෙයි තාත්තාගෙයි හුරතල් බඩපිස්සී. අයියාගෙයි අක්කාගෙයි දඟමල්ල. ඉස්කෝලේ ටීචර්ස්ලගේ කතා පෙට්ටිය. යෙහෙළියන්ගේ හොඳම යෙහෙළිය. නිවේදක පිටුවෙන් අද ඔබ හමුවට එන්නේ රුවනි හේවගේ. සිරස එෆ්. එම්. ගුවන් විදුලි නාලිකාව ඔස්සේ උදෑසන සූරිය සිරස වගේම ඉරිදා දවල් ලේඩීස් ඔන්ලි අරගෙන එන්නේත් මේ රුවනි තමයි.

ඉතිං රුවනි කොහොමද ජීවිතේ?

සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්නවා.

 ඇයගේ අත ගත්තේ සම්පත් ජයවීර.

මේ තරම් දුරක් ආ මාධ්‍ය ජිවිතයේ ආරම්භය වුණේ?

අහම්බෙන්. රජ එෆ්. එම්. ගුවන් විදුලි නාලිකාව පටන් ගත්ත කාලේ ප්‍රවර්ධන කණ්ඩායමට කට්ටිය ගන්නව කියලා දැනගන්න ලැබුණා. ඒ දවස්වල මම උසස් පෙළ විභාගය ලියල ප්‍රතිඵල එනකල් ගෙදරට වෙලා හිටියේ. මමත් ඒ සඳහා අයදුම්පතක් ඉදිරිපත් කළා. ඇත්තටම එහෙම කළේ ප්‍රවර්ධන කණ්ඩායමට විවිධ ප්‍රදේශවල ඇවිදින්ට ලැබෙන නිසා. මම ඇවිදින්න හරිම ආසයි. පළමු සම්මුඛ පරීක්ෂණයට ගියාම තමයි තේරුණේ නිවේදන හැකියාව බලනව කියල. පාසල් කාලයේදී මුතුහර වැඩසටහන්වලට සහභාගි වෙලා තිබුණ නිසා ඒක මට විශේෂ වුණේ නැහැ. පසුව පස්වැනි සම්මුඛ පරික්ෂණයෙන් අනතුරුව එම කණ්ඩායමෙන් මම විතරයි ඒ සඳහා තෝරා ගත්තේ. අවුරුද්දකට පමණ පසුව මම ෂා එෆ්. එම්. එකට සම්බන්ධ වුණා. එහිදී රසිකයන් මාව හඳුනා ගත්තේ ටීනා කියලා. ඒ අතරෙදි තමයි සිරසට යන්නට අවස්ථාව ලැබෙන්නේ. දැන් සිරස එෆ්. එම්. නාලිකාව එක්ක වැඩ කරන්න පටන් අරගෙන අවුරුදු හතරකට කිට්ටුයි.

රුවනි ඔයාගේ මුල්ම ගුවන් විදුලි වැඩසටහන මොකක්ද? ඒ වෙලාවේදී මොන වගේ හැඟීමක් ද දැනුණේ?

පළමුවැනි වැඩසටහන තමයි හොට් සර්කිට්. සතියේ දිනවල රාත්‍රී 8.00 සිට රාත්‍රී 12.00 වෙනකල් ඒ වැඩසටහන කළා. ඇත්තටම මුල් වැඩසටහන කරන කොට මොකුත්ම දැනගෙන හිටියේ නැහැ. තමන් අතින් සිදුවුණ වැරැදිවලින් තමයි ඉගෙන ගත්තේ. ඒක සාර්ථකයි කියලා දැන් හිතෙනවා.

අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති නේද?

රජ එෆ්. එම්. නාලිකාවේදී චතුරංග තේනුවරට තමයි මාව පුහුණු කරන්න නියමිත වුණේ. ඉතිං පුහුණු වෙන කාලයේදී නිශ්ශබ්දව මැදිරිය තුළ ඉඳගෙන කොහොමද වැඩසටහනක් කරන්නේ කියල බලාගෙන ඉන්න ඕනෑ. මාස දෙකක් විතර මේ විදියට පුහුණු වෙන්න වුණා. චතුරංග අයියා දවසක් කිව්වා මෙහෙම හරියන්නේ නැහැ බං. ඔන් එයාර් යන්න කිය ලා. ඊට පස්සේ මට ටයිම් චෙක් එකක් කරන්න කිව්වා. මට මතක විදියට හවස 6.00 වගේ වෙලාවක්. මම ඉතිං කිව්වා. පස්සෙ දෙන්නම හොඳට බැණුම් අහගත්තා. ඇත්තටම පුහුණු වෙන කෙනකුට එහෙම කරන්න තහනම්. ඊට සති දෙකකට විතර පස්සේ මට සජීවීව නිවේදන කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඒ එදා මම හරියට වෙලාව කියපු නිසා වෙන්න ඇති.

මේ දිනවල සිරස ගුවන් විදුලියේ ඉදිරිපත් කරන ලේඩිස් ඔන්ලි වැඩසටහනට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැබැයි ඒක කාන්තාවන්ට විශේෂ වැඩසටහනක් වුණාට ප්‍රතිචාර ලැබෙන්නේ ගොඩක් පිරිමි අයගෙන් තමයි. ඇත්තටම මමත් මගේ ජීවිතයට ඒ තුළින් බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ වගේමයි ඒක නිවේදිකාවක් විදියට මා ලබපු වාසනාවක්. ඒ වැඩසටහන ආරම්භ කළෙත් මමමයි. දැන් අවුරුදු තුන හමාරක් විතර කාලයක් තිස්සේ එය කරගෙන යනවා.

පුංචි කාලේ ඉඳලම හීන දැක්කේ නිවේදිකාවක් වෙන්නද?

එහෙම හීනයක් තිබුණෙ නැහැ. ඉංජිනේරුවරියක් වෙන්න තමයි බලාපොරොත්තු වුණේ. ඒ වුණාට උසස් පෙළ ප්‍රතිඵල එන්නත් කලින් මට ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස රැකියාවක් ලැබුණා. මම ඒක සාර්ථකව ඉදිරියට කරගෙන යනවා.

ඒ පාසල් කාලය ගැනත් කියමුද?

මුලින්ම ගියේ ඇරැව්වල ධර්මපාල විද්‍යාලයට. පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා නුගේගොඩ සමුද්‍රදේවි බාලිකාවට ඇතුළත් වුණා. ඒක තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය. පාසලේදී නිවේදන කටයුතු හැර අනෙක් බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගි වුණා. ඒ වගේමයි ඒ කාලේ ඉඳලම මගේ විනෝදාංශය වුණේ ලිවීම.

නිවේදනයට අමතර වේදිකා නාට්‍යයකුත් කළා කියලා ආරංචියි?

පොතක් ලියන්න ඕන කියල හැමදාම මගේ හිතේ තිබුණා. එහෙම ඉන්න අතරේදි තමයි යොවුන් නාට්‍ය උළෙලට නාට්‍ය පිටපත් භාර ගන්නවා කියල දැනගන්නට ලැබුණේ. ලියන්න තිබූ ආසාව නිසා හොඳම යාළුවෝ දෙන්නත් එක්ක එකතු වෙලා පිටපතක් ලිව්වා. එයට නම දැම්මේ ‘මං දැන් පර්මනන්ට්’ කියල. රැකියාවක ස්ථාවර තත්ත්වයට පැමිණෙන්නට කරන කැප කිරීම තමයි මේ මඟින් නිරූපණය කරන්නේ. ඇත්තටම අපි හැමෝටම වගේ මෙවැනි අත්දැකීම් තියෙනවානේ. මේ වන විට එය පළමු වටයෙන් දෙවැනි වටයට සුදුසුකම් ලබල තියෙනවා. තෙවැනි වටයටත් සුදුසුකම් ලබන්නට හැකි වේවි කියල බලාපොරොත්තු වෙනවා.

රුවිනි මේ ලබාගත් අත්දැකීමත් එක්ක නාට්‍ය නිර්මාණය තුළිනුත් ඉදිරියට යන්න අදහසක් නැද්ද?

එහෙම වෙන්නේ දැනට කළ නිර්මාණයේ සාර්ථකත්වය බලල තමයි. ඇත්තටම මම ආධුනිකයි කියලමත් කියන්න බෑ. මං දැනට කළේ මේ නිර්මාණය විතරමනේ. හැමදේම ගැන අත්දැකීම් ලබන්න ආසයි. මේ නාට්‍යය සාර්ථක වුණොත් ඉදිරියේදී ඒ ගැන හිතල බලනවා.

රංගනයට යොමු වෙන්න අදහසක් නැද්ද?

රඟපෑම නම් බිංදුවයි. ඒත් සිංදු කියන්න නම් ආසයි. නමුත් ඒ ගැන හදාරල නම් නැහැ. නමුත් ගල් වදින්නේ නැති විදියට සිංදුවක් කියන්න පුළුවන්.

ජීවිතයේ අලුත්ම වෙනසක් සිදු වුනා නේද? ඒ ගැනත් කියමු?

ඔව්. පසුගිය සතියේ මම විවාහ දිවියට එළඹුණා. ඔහු රංගන ශිල්පියකු වන සම්පත් ජයවීර. අපි දෙන්නා බොහොම සාමයෙන් සතුටින් ජීවිතය ගත කරනවා.

අනාගත බලාපොරොත්තු ගොඩක් ඇති නේද?

ගොඩක් ලොකුවට බලාපොරොත්තු නම් නැහැ. ළඟදීම ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. රැකියාවේදී උපරිම කැපවීමෙන් කටයුතු කරන්න තමයි බලාපොරොත්තුව. ඒ හැර අර තනතුර දක්වා යනවා කියල විශේෂයක් නැහැ. මගේ දක්ෂතාවය, කැපවීම, උනන්දුව අනුව ආයතනයෙන් ලැබෙන දේ භාර ගන්නවා. ඒ වගේමයි පොතක් ලියන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

විශේෂයෙන් මතක් කළ යුතු අයත් ඉන්නවාද?

වසන්ත කරුණාරත්න මහතා නිසා තමයි මට ගුවන් විදුලි නාලිකාවක කතා කරන්න හඬක් තියෙනවා කියලා දැනගත්තේ. සිරස එෆ්. එම්. නාලිකා ප්‍රධානී එස්. එම්. මරික්කාර් මහතාගේ උපදෙස් තවදුරටත් ක්ෂේත්‍රයේ රැඳී ඉන්න ඕන කියන ස්ථාවරයේ රැෙඳන්න ගොඩක් බලපෑවා. මගේ අම්මා, තාත්තා, අක්කා, අයියා වගේම සැමියාගෙනුත් ලැබෙන සහාය විශේෂයෙන් මතක් කරන්න ඕන.

ඉදිරියේදී ක්ෂේත්‍රයට එන්න ඉන්න අයට රුවිනි දෙන උපදේශය මොකක්ද?

තරුවක් හෝ ප්‍රසිද්ධ වෙන්න හිතාගෙන නම් නිවේදන ක්ෂේත්‍රයට එන්න එපා. පටු අරමුණුවලින් තොරව ගුවන් විදුලි නාලිකාවක පෙරළියක් කරන්න කාවවත් අනුකරණය කරන්න එපා කියල කියන්න කැමැතියි. ඒ සඳහා තමන් විසින් අලුත් දෙයක් කරන්න ඕනෑ. හැමදේම ලෙහෙසියට ලැබෙන්නේ නැහැ. දුක් විඳල තමයි තමන්ගේ පාර හදාගෙන ඉදිරියට යන්න වෙන්නේ. ඒ සඳහා කැපවීමෙන් උත්සාහයෙන් කටයුතු කරන්න. කවදාවත් වරදින්නේ නැහැ.