වර්ෂ 2012 ක්වූ අගෝස්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




මාධ්‍යවේදී නිදහස් ප්‍රවේශ පත්‍රයට ඇතැම් සිනමා ශාලාවලින් අරියාදු

මාධ්‍යවේදී නිදහස් ප්‍රවේශ පත්‍රයට ඇතැම් සිනමා ශාලාවලින් අරියාදු

එය රජය හා සංස්ථාව අපහසුතාවයට පත් කිරීමක්

ජාතික චිත්‍රපට සංස්ථා සභාපති පවසයි ජාතික චිත්‍රපට සංස්ථාව මගින් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් වාර්ෂිකව නිකුත්කරන නිදහස් මාධ්‍ය සිනමා ප්‍රවේශ පත්‍රය පසුගිය මාස කිහිපයක සිට ඇතැම් සිනමා ශාලාවන් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ චිත්‍රපට සංස්ථා සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතාගේ අවධානය යොමු වී තිබේ.

මෙම අකටයුත්ත සිදු වනුයේ රජය අපසුතාවයට පත් කරමින් චිත්‍රපට සංස්ථාව ද අපකීර්තියට පත් කෙරෙමින් බව සඳහන් කරන ඒ මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රදර්ශක මණ්ඩල හෝ සිනමා ශාලා අත්තනෝමතිකව එවැනි තීරණයක් ගනු ලැබුවේ නම් ඒ බැව් සංස්ථාව දැනුවත් කිරීමේ සදාචාරාත්මක යුතුකමක් තිබූ බව ද පවසා සිටියි.

එබැවින් 2012 වසර සඳහා නිකුත් කර ඇති ප්‍රවේශ පත්‍රවලට අනුකුලතාවය දක්වන ලෙසත් 2013 වසරේදී මේ සම්බන්ධ සියලු පාර්ශව එක් වී පොදු ප්‍රතිපත්ති හා තීන්දු තීරණ ගැනීම කළ හැකි බවත් දැනුම් දෙයි.

මෙබඳු ක්‍රියා නිසා ජාතික මෙහෙවරක යෙදෙන මාධ්‍යවේදීන් බලවත් අපහසුතාවයට පත්වන බැවින් ඒ සම්බන්ධව සියලුම අංශ නිසිි පරිදි දැනුවත් කිරීමට පියවරක් ගන්නා ලෙස නිතිඥ අශෝක සේරසිංහ මහතා ලිපියක් මගින් චිත්‍රපට ප්‍රදර්ශකයන් වෙත දන්වා යවා ඇත.


ඕ. සී. අයි. සී උළෙල බී. එම්. අයි. සී. එච්. හිදී

ඕ. සී. අයි. සී. උළෙල පිළිබඳ අදහස් දැක් වූ ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ගරු බෙනඩික් ජෝසප් පියතුමා

දේශීය නිර්මාණකරුවන් අගයමින් තිස් පස් වසරක් අඛණ්ඩව පැවැත් වූ ඕ. සී. අයි. සී. සිග්නීස් උත්තමාචාර උළෙලෙහි තිස් පස් වැනි අදියර අනිද්දා (01 වැනිදා) සවස 6.00 ටබණ්ඩාරනායක අනුස්මරණ රංග පීඨයේදී පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කොට තිබේ.

මෙවර එහි ප්‍රධාන ආරාධිතයාණන් ලෙස අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් සහභාගිවේ. සම්මානයන් පණස් දෙකකින් උළෙල සමන්විත වන අතර මෙමගින් සම්මාන ලබාදීම ඇරැඹූ ඒකාංගික ටෙලි නාට්‍ය, කෙටි චිත්‍රපට, ශ්‍රව්‍ය දෘශ්‍ය වියමන, රූපවාහිනී වෙළෙඳ දැන්වීම්, පූර්ව ප්‍රචාරක පට, විත්ති කතා, ශ්‍රව්‍ය දෘෂ්‍ය වියමන, සජීවිකරණ නිර්මාණ, නිෂ්පාදන කළමනාකරු සහ සහාය අධ්‍යක්ෂ යන අංශ සඳහා මෙවර ද සම්මාන පිරිනැමේ.

ඊට අමතරව සෙසු සම්මානයන් හැරුණු කොට ඕ. සී.අයි. සී අන්තර් ජාතික ප්‍රණාමය, ජයවිලාල් විලේගොඩ අනුස්මරණ සම්මානය සහ සිරිල් බී. පෙරේරා අනුස්මරණ සම්මානය සුපුරුදු පරිදි ලබා දෙනු ඇත.

ප්‍රථම වරට ඕ. සි. අයි. සී සිග්නීස් උත්තමාචාර උළෙලක් ඇරැඹෙන්නේ 1972 දෙසැම්බර් 21 වැනිදාය. එදින කොළඹ අගරදගුරු මැදුරේ පැවැති ඒ සඳහා සිනමා ක්ෂේත්‍රය නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වූ අතර නමුදු එහිදී සම්මාන ප්‍රදානයක් සිදු වූයේ නැත.

විඳීමත් අයුරින් උළෙල ඇරැඹෙන්නේ 1973 වසරේදීය. එතැන් පටන් මේ දක්වා සාර්ථකව සංවිධානය වන මෙම උළෙල මෙරට මෙන්ම සෙසු රටවලත් අවධානය සහ පිළිගැනීමට ලක් වූ එකක් යැයි පැවසිය හැකිය.