වර්ෂ 2012 ක්වූ අගෝස්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




ලයිලා නම් එළිච්චියගේ ස්වයංවරය ගැන කියන

ලයිලා නම් එළිච්චියගේ ස්වයංවරය ගැන කියන

කල්ය්‍යාන් සිං එළිමහනේ තබා ඇති අබලන් වේවැල් පුටුවක වාඩි වී චායි බොමින් එළුවෙකු සුරතල් කරයි. කළු පැහැති එළු සුරතලියගේ ගෙල වටා රතු පැහැති රෙදි කඩකි.

අසල ඇති ගසක ගැට ගසා ඇති එළිච්චිය කල්ය්‍යාන් සිං ඇසුරේ සිටීමට වැඩි කැමැත්තක් දක්වනු පෙනෙයි. දිගු වූත් අබලන් වූත් ආලින්දයේ තරුණයෙකු රබර් බෝලයකින් බිත්තියට දමා ගසයි.තවත් පැහැදිලිව පරිසරය නිරීක්ෂණය කළ විට පෙනී යන්නේ මේ අතිශය ශුෂ්ක පෙදෙසක් බවය.

කල්ය්‍යාන් සිං ගේ තරබාරු බිරිය එළිමහනේ ඉදි කළ මැටි ලිපක දවල් ආහාර පිළියෙල කරනු පෙනෙයි.පුත්‍රයා බිත්තියට බෝලයෙන් තඩි බෑම අතහැර රූපවාහිනියේ ක්‍රිකට් තරඟයක් නරඹමින් ඔල්වරසන් දෙනු පෙනෙයි.

එය නොරුස්සන කල්්‍යාන් සිං තම බිරියට පුත්‍රයාගේ හැසිරීම ගැන ගතු කියයි.ඈ පුත්‍රයා අත වරදක් ඇති බව නොපිළිගනියි.යුහුව තම රාජකාරියේ යෙදී සිටියි. නුදුරින් ජංගම දුරකතනයක් නාද වෙනු ඇසෙයි.එය නොතකමින් කල්්‍යාන් සිං එළිච්චිය සමඟ සුරතල් වෙයි.ඔහුට අඩි දෙකක දුරකින් ගසක එල්ලා ඇති ජංගම දුරකතනය දකින විට සිනා උපදවයි.

අතිශය ග්‍රාම්‍ය පෙදෙසක් හෙයින් ජංගම දුරකතන සඳහා සංඥා නොමැතිකම ගසක ජංගම දුරකතනයක් එල්ලා තැබීමට හේතුවයි.දැන් ඔබ කැමති නම් සිනාසිය හැකිය.එහෙත් සිනාසීමට පෙර දෙවරක් සිතා බැලිය යුතුය.අප දැන් සිනාසෙන්න යන්නේ කාටදැයි පළමුව තීරණයකට එළැඹිය යුතුය.

කල්්‍යාන් සිං සිං ස්වකීය එළිච්චියට කොළ කවමින් සුරතල් වන අතර ඔහුගේ තරබාරු බිරිය විත් දුරකතනයට පිළිතුරු බදියි.ඈ නොරිස්සුමිනි.කතා කරන්නේ 'මීනා' ය.ඇයට කල්්‍යාන් සිං ට කතා කිරීමට අවශ්‍ය බව පවසයි.කල්්‍යාන් සිං කුඩා වේවැල් බංකුවක් අතින් ගෙන දුරකතනයට උත්තර දීමට යනු පෙනෙයි.

ඔහු වේවැල් බංකුවට නැඟ ගසේ එල්ලා ඇති දුරකතනයට පිළිතුරු සපයයි. මේ 'වර්ජින් ගෝට්' නම් හින්දි සිනමාපටයේ ආරම්භක ර්ශනයකි.

තම දියණියගේ විවාහ මංගල්‍යයට වියදම් කරනු පිණිස තම ඉඩකඩම් විකුණූ ගේ කතාවක් වටා කේන්ද්‍ර වී ඇති සිනමාපටය දුප්පත් ගොවි ජීවිතයක අභාග්‍යසම්පන්න ඉරණමක් පෙන්වා දෙයි.

කල්්‍යාන් සිං තම සේසත ම විකුණා අවසන එළිච්චියක් පමණක් ඉතිරි කර ගන්නේ ඇගෙන් පැටව් ලබා ඉතිරි ජීවිත කාලය යහතින් දිවි ගෙවන්නය.එළිච්චිය 'බෑ...' කියන්නේ එළු පැටවුන් ලැබීමටදැයි කල්්‍යාන් සිං නොදනියි.

එළිච්චිය දිගින් දිගටම 'බෑ...' කීමේ නිරත වූ මුත් කල්ය්‍යාන් සිං ස්වල්ප 'බෑ.' කීමකින් පසු නොබසියි. ඉන්දියාවේ දුප්පත් මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය කෙතරම් අල්පේච්ඡදැයි ප්‍රේක්ෂකයාට සිතවමින් අතිශය ග්‍රාම්‍ය ලෝකයක දිවි ගෙවන මේ මිනිසුන් අපේ මුහුණට අතුල් පහර දෙනු පෙනෙයි.

ඔබ කැමති නම් ඊට කම්මුල පෑමට හැකිය.නැත්නම් එය මඟ හැර යා හැකිය. කල්්‍යාන් සිං ලෙස රඟන රගුවීර් යාදෙව්,ඔහුගේ බිරියගේ චරිතයට පණ පොවන ෂීලා නායිදු 'වර්ජින් ගෝට්' සිනමාපටයේ සාර්ථකත්වයට ලබා දී ඇති දායකත්වය පැසසුම් ලැබිය යුතුය.විශේෂයෙන්ම රගුවීර් යාදෙව් මුලු සිනමාපටය පුරාම උස් පහත් වෙමින් තම රංගනයේ බුහුටි බව පෙන්වීම මතු කර පෙන්විය යුතුමය.ඉතාමත් කුඩා තේමාවක් වටා ගෙතුණු මුත් ඉතා විසාල වපසරියක විසිරී පැතිරෙන මේ සිනමාපටය එක් පැත්තකින් ඉන්දියාවේ කුල සිරිත් ගැන සාකච්ඡා කරයි.

තවත් පැත්තකින් දරිද්‍රතාවය ගැන පවසයි.ප්‍රධාන වශයෙන් දියණියන් සිටින ඉන්දියානු ග්‍රාමීය පවුලකට විවාහයක් වෙනුවෙන් ගෙවන්නට සිදුවන වන්දියේ තරම පෙන්වයි. මුරලි නායර් ගේ අධ්‍යක්ෂණයක් වූ වර්ජින් ගෝට් හි තිර රචනය ජොනතන් පේජ් ගේ සහ මුරලි නායර් ගේ ය.

නිෂ්පාදනය පිලිප් අවුරිල් ගේ ය.2009 වසරේදී තිරගත වී ඇති මේ සිනමාපටය එතරම් විසාල අවධානයක් දිනා ගැනීමට සමත් වූ එකක් නොවේ.එහෙත් මේ කතාබහට ලක් විය යුතු වර්ගයේ සිනමාපටයකි.හාස්‍ය උත්පාදනය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වා ඇති වර්ජින් ගෝට් වට්ටෝරු හින්දි සිනමාපටවල අන්තර්ගත සමහර ලක්ෂණ ඉදහිට ප්‍රකට කරයි.

කල්්‍යාන් සිං ගේ එකම ප්‍රාර්ථනය තම ආදර එළිච්චිය 'ලයිලා' ට සුදුසු එළුවෙකු සොයා දී ඈ ගැබ්බර කිරීමයි.ඔහු ඒ සඳහා නගරයේ පශු වෛද්‍යවරයාගේ සහය පතයි.ඉන් පසුව තම එළිච්චියට ගැලපෙන එළිවෙකු සොයා තවත් නගරයකට පයින් ම ගමන් කරයි.එහෙත් ප්‍රධාන මාර්ගයේ ඔහුට තම ගමන යාමට නොහැකි වෙයි.නගරයට ප්‍රසිද්ධ පුද්ගලයෙකු පැමිණෙතැයි කියමින් ආරක්ෂාව තර කර ඇති බව කල්්‍යාන් සිං හට දැන ගැනීමට ලැබෙයි.සෑම තැනම මාර්ග බාධක ඉදි කර ඇති අතර ආරක්ෂක හේතු මත සැවොම පරික්ෂාවට ලක් කෙරයි.මේ සියලු තැන්වලදී සුරූපී ලයිලාව සැකයට පාත්‍ර වෙයි.ලයිලාවගේ අයිතිකරු දෙවැනුව සැකයට පාත්‍ර වෙයි.

කල්්‍යාන් සිං ලෙස රඟන රගුවීර් යාදෙව් තම චරිතය තුළින්ම හාස්‍යයත්,සෝකයත්,ශාන්ත බවත්,කලහකාරී බවත්,සන්සුන්කමත්,උන්මන්තක බවත් එක් එක් වර මැජික්කරුවෙකු මෙන් ප්‍රේක්ෂකයාට පෙන්වයි.ඔහු රංගනයේ බුහුටිකම් ඇත්තෙකු ලෙස පෙරත් මා නම් කළේ එහෙයිනි.

එක් චරිතයක් තුළ සිටිමින් ඔහු විසින්ම තවත් නොයෙකුත් චරිතවලින් නරඹන්නාට දමා ගසනු පෙනෙයි.මේ නම් ධනාත්මක ලක්ෂණයකි.සිනමාපටයේ මන්දගාමී ගලා යාම කෙරෙහි ප්‍රේක්ෂක අවධානය යොමු නොවන ලොකුම හේතු සාධකය රගුවීර් යාදෙව්ය.

සිනමාපටය පුරා උත්ප්‍රාසය දනවන දර්ශන බොහෝය.වයස්ගත මිනිසෙකු හා ඔහුගේ බිරියන් හතර දෙනා හමුවන කල්්‍යාන් සිං සහ ඔහුගේ ආදර එළිච්චිය,අනාගතය කියන සුදු හරකා කැටුව යන සර්කස්කාර මිනිසා,කල්්‍යාන් සිං ගේ පුත්‍රයා සහ ඔහුගේ පෙම්වතිය මෝටර් සයිකලයකින් ඉගිලෙන විට කල්්‍යාන් සිං ඊට හැප්පී කකුල තුවාල කර ගැනීම,එළිච්චිය පසු පස හඹා එන මහලු ඉන්දියානුවා,එළිච්චිය පොලීසිය භාරයට රැගෙන ගොස් එළිච්චිය වෙනුවට නැවත බැටලුවෙකු ලබා දෙන පොලිස් නිළධාරීන් වර්ජින් ගෝට් සිනමාපටයට අවශ්‍ය මසාලා දවටන්නන්ය.

ඉන් අතුල් පහර රැසක් මේ සියලු දර්ශන මඟින් එල්ල කිරීමට සමත් වන අධ්‍යක්ෂවරයා ඉන් නොනැවතී කල්්‍යාන් සිං උන්මන්තකයෙකු බවට පත් කරයි.

තමන්ගේ ආදර එළිච්චිය වෙනුවට බැටලුවෙකු මාරු කර ලබා දීම ගැන උරණ වූ කල්්‍යාන් සිං බැටලුවාව මස් කඩයට ලබා දී මුදල් ලබා ගනී.ඒ මුදලින් මත්පැන් පානය කරන ඔහු අර්ධ උන්මන්තකභාවයට පත් වෙයි.තම එළිච්චිය කෙරෙහි ඇති ආදරය හා සමානව අලුත ලැබුණු බැටලුවා කෙරෙහි කෝප වන ඔහු මසට විකුණා ලැබෙන මුදල පරිහරණය කරන්නේ කිසිදු පසුතැවීමකින් තොරවය.

අවසන කල්්‍යාන් සිං ගේ ආදර ලයිලාව හමු වන අතර ඔහු අප්‍රමාණ ප්‍රීතියට පත් වෙයි.එහෙත් ඒ වන විට විවාහ කරදුන් දියණිය ස්වාමියා හැර දා එන්නේ දෑවැද්දට දුන් මුදල මදි යැයි පවසමින් කරන අඬ දබර ඉවසිය නොහැකිවය.මේ සියල්ල විසදාලීමට නම් ලයිලා ගැබ්බර විය යුතුය.ඈ පැටව් ලැබිය යුතුය.එහෙත් නොවන්නේම එයයි.ලයිලා තව දුරටත් නොඉඳුල්ව වෙසෙන අතර පැටවුන් ලැබීමට දිගටම ඈ 'බෑ...' කියනු පෙනෙයි.

කල්්‍යාන් සිං ගේ ලෝකය කඩා වැටෙන්නේ ඉන් පසුවය.තම දියණිය විවාහය හැර දා පැමිණි දා සිට ඒ ගැන ලතැවෙනෙ හෙතෙම අවසන සම්පූර්ණයෙන්ම උන්මන්තකබවක් අත් කර ගනී. එළිච්චිය සිටින කූඩුවේ නිදා ගැනීම ආරම්භ කරන ඔහු ගෙතුළට පැමිණීම හෝ ස්නානය ප්‍රතික්ෂේප කරයි.පුත්‍රයා විසින් ලයිලා ව මරා දමයි.සියල්ල දරුණු අතට හැරී කල්්‍යාන් සිං වැරහැලි ඇදගෙන ලයිලා ගේ හිස් කබල පමණක් ලණුවකින් ගැට ගසාගෙන ගම් පසුකරමින් ඇවිදියි.කල්්‍යාන් සිං මහත් ශෝකාන්තයක්ව 'වර්ජින් ගෝට්' සිනමාපටයේ අවසාන දර්ශනයේ එලෙස පෙනී සිටියි. මෙහි කම්පන තරංග බොහොමයක් ඇති අතරම සිනා තරංගද බොහෝය. යථාර්ථය තවත් යමක දවටා ඇති අතර අවැසි නම් පමණක් එය සැක හැර දැන ගත හැකිය. සිනමාපටය ඔබට හිතන්නට බොහෝ දේ ඉතිරි කර දමයි.ඒ ලක්ෂණය වඩාත් හපත්ය.ප්‍රේක්ෂකයා සිතන්නට පෙළඹවිය යුතුය. කල්්‍යාන් සිං ලාගේ අභාග්‍යසම්පන්න කතාන්දර වර්තමාන ඉන්දියාවේත් සුලභය.

මේ ඉන්දියාවේ ස්වභාවයයි.විටෙක සුරලොවක් ඔබට පෙන්වන ඔවුන් සැනෙකින් අපායේ දර්ශනද පෙන්වති.මේ සැබෑ ඉන්දියාවේ දුප්පත් පෙත්තකි.එය රස බැලීම,නොබැලීම ඔබ සතුය.