වර්ෂ 2012 ක්වූ අගෝස්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




මතක සැමරුම්

මතක සැමරුම්

ගයන්න ගීයක් – වයන්න පදයක්

‘මැවිලා පෙනේවි රූපේ හදේ දර්ශනේනි ශෝබා’...

‘ආදරය නිසා හෘදේ බැඳෙනා අපරාදෙ ජීවිත හානී වේ’...

‘කියන්න රංකඳ මොන හිතකින් ඔබ කීවාදැයි මට මේවා’...

අපේ හෙළ සිනමාවේ නිළි රැජන, ගීත කෝකිලාවිය මේ ගයන්නට සැරසෙන්නේ කුමන ගීතය ද? ඇගේ ගීයක් රස විඳින්නට කැමැත්තෙන් මේ තබ්ලාව වයන්නට සැරසෙන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නොවෙයි. ඔහු තමයි ඉන්දීය සිනමාවේ මහා යුග පුරුෂයා රාජ් කපූර්. විශිෂ්ට රංගධරයකු ලෙසත්, අධ්‍යක්‍ෂවරයකු ලෙසත් අග්‍රගණ්‍ය සිනමා නිර්මාණ රැසක් ඉන්දීය සිනමාවට තිළිණ කළ මේ මහා සිනමාවේදියා රුක්මණී දේවියට ආරාධනා කරන්නේ ඇගේ මියුරු ගීයක් ගායනා කිරීමටයි. මේ ශ්‍රේෂ්ඨ ඉන්දීය සිනමාවේදියා ප්‍රිය කරන්නට ඇත්තේ අපේ ගීත කෝකිලාවියගේ කුමන ගීතයට ද කියලා නම් කියන්න අමාරුයි.

මුහුණු ගොඩක් – එක් වූ තැනක්

මේ බත්කට ගොඩක් රස ඇති නේද? ප්‍රවීණ රංගන ශිල්පිනියක් වගේම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂිකා ශ්‍රීයාණි අමරසේන තමයි මේ ගීතා කුමාරසිංහට බත් කටක් කවන්න හදන්නේ.

චිත්‍රපටයක් රූගත කරද්දී තමයි මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ. මේ එහි කෑම කන අවස්ථාවක් රූගත කළ අතරතුරේ දී ගත් එකක් වෙන්න ඇති. ගීතා ළඟම ඉන්නේ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න. ශ්‍රියාණි ළඟ වාඩි වී සිටින වික්‍රම බෝගොඩ තමයි ගොළු හදවතේ සුගත්. එදා සුගත්ගෙ ලොකු නෑනා වුණේ ශ්‍රියණි. මේ බත්කට ගැන මොනවා හරි කියන්න හදන්නේ විමලදාස පෙරේරා. එච්. ආර්. ජෝතිපාල ගයන ‘මා ඉන්නෙ අන්ධකාරෙ දැන්’, රුක්මණී හා සී. ටී. ප්‍රනාන්දු ගයන පුන්සඳ හිනැහෙන්නේ’ වැනි ගීත වගේම ‘සැණකෙළිය, සමනල කුමරියෝ ’ වැනි චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළෙත් ඔහුම තමයි. මෙහි මැදිව සිටින අනිත් පුද්ගලයා තමයි ප්‍රවීණ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ. අර්නස්ට් වඩුගේ මෙරට සිනමාවේ නළු නිළියන් විශාල ප්‍රමාණයක් මධ්‍යයට හඳුන්වා දුන් අයෙක්. බිම වාඩිවී සිටින්නේ ප්‍රවීණ කැමරා ශිල්පි එම්. වී හේමපාල හෙවත් තලේ. ලංකාවේ ප්‍රථම ටෙලි නාට්‍යය වූ ‘දිමුතු මුතු’ හි කැමරා ශිල්පියා ලෙස කටයුතු කරන්නත් තලේට වාසනාව ලැබුණා. තලේ අද වන විට ශෛල්‍ය කර්මයකට මුහුණ දීලා සුවය ලබමින් සිටින්නේ.