වර්ෂ 2012 ක්වූ අගෝස්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




දිගු ගමනකට සැරසෙන නිර්මලා

දිගු ගමනකට සැරසෙන නිර්මලා

ඇගේ හීනය වුණේ කවදා හරි නිළියක් වීම. පුංචි කාලේදිත් සිංදුවක් ඇහෙන වෙලාවට ඇය තාලයට පාද තැබුවේ පුරුද්දට වගේ. ඒ නිසාමදෝ කොහෙද පාසලේදීත් ඇය තෝරා ගත්තේ නර්තනය. මේ දිනවල ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන තරු පිරි අහස ටෙලි වෘත්තාන්තයේ හෙදියකගේ චරිතය ඔස්සේ ඔබ හමුවට එන ඇය මේණි නිර්මලා.

රංගනයට පිවිසෙන්නට පෙරුම් පුරමින් සිටි නිර්මලාට මුලින්ම රංගන වරම ලැබුණේ පබා ටෙලි නාට්‍යයෙන්. හැමදාම සරසවිය පත්තරය නොවරදවාම බලන ඇය රඟපාන්න ආසයි වෙනුවෙන් ඡායාරූපයක් යොමු කළේ දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන. එය මල්ඵල ගන්වමින් තමයි නිර්මලාට තරු පිරි අහසට එන්න ලැබෙන්නේ.

ලැබුණ චරිතයට උපරිමයෙන් සාධාරණයක් ඉටු කිරීම තමයි ඇගේ එකම බලාපොරොත්තුව. මීට අමතරව නිර්මලා සිරස ටී වී නාලිකාවෙන් විකාශය වූ ගැහැනු ළමයි ටෙලි නාට්‍යයටත් දායක වෙලා තියෙනවා. වේදිකා නාට්‍යවලටත් ඇල්මක් දක්වන නිර්මලා මේ වන විටත් වේදිකා නාට්‍ය කිහිපයකට ද සම්බන්ධ වෙලා.

පාසල් කාලයේදී දක්ෂ ක්‍රීඩිකාවක් වූ නිර්මලා පියානෝ වාදනයටත් දස්කම් දක්වනවා. පාසල් අධ්‍යාපනය හමාරවීමත් සමඟම කලා ක්ෂේත්‍රයට පා තබන්නට ඇය වාසනාවන්ත වුණා. ඒ වගේම නිර්මලා මේ වන විට නර්තන කණ්ඩායමකත් සාමාජිකාවක්. ඒ සමඟින් ඇය සංදර්ශන සඳහාත් සහභාගි වෙනවා.

මේ හැම දේම අතරේ නිර්මලා මුල් තැන දෙන්නේ රංගනයට. මේ වන විටත් ඉසුරු විමන ටෙලි නාට්‍යයේ වගේම මායා දේවි චිත්‍රපටය වෙනුවෙනුත් ඇයට රංගන වරම් ලැබිලා. රංගන ක්ෂේත්‍රයේ ඉහළටම යන්න බලාපොරොත්තු වන නිර්මලා ඇයට ලැබෙන චරිත සාර්ථකව ඉදිරිපත් කරන අධිෂ්ඨානයෙන් තමයි මේ ගමන යන්නේ.

මේ සියලු දේ නිසා ප්‍රීතියෙන් පසුවන ඇයට ඇගේ මෙම ගමනේ සෙවනැල්ල වගේ ඉන්න සිය මෑණියන් සිහිපත් කළේ අපරිමිත සෙනෙහසින්. ඒ වගේම රංගන කටයුතු සාර්ථකව කරගෙන යන්නට අතහිත දුන් සියලු දෙනා වගේම සරසවියටත් ඇය සිය ස්තුතිය පිරිනමන්නට අමතක කළේ නැහැ.