වර්ෂ 2012 ක්වූ අගෝස්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




භාතිය සන්තුෂ් අවසන් විනිශ්චයට ගී ගයති

භාතිය සන්තුෂ් අවසන් විනිශ්චයට ගී ගයති

දිනෙන් දින අපේ ගීත ක්‍ෂේත්‍රයට එක්වන ඒකාකාරී, මෙලෝ රහක් නැති ගීවලට වඩා මේ ගීතය ටිකක් වෙනස්.

ජනප්‍රිය ගී රැසක් රචනා කළ ෂෙහාන් ගලහිටියාවගේ සංකල්පනාවක් වන ‘හැඟුමන් අනන්තයේ ’ ගායනයෙන් හැඩ කළේ අපේ යොවුන් සංගීත ශිල්පීන් දෙපළක් වන භාතිය හා සන්තුෂ්.

ජපන් ගායිකා අයිකා විසුස්වා ද ඔවුනට ගායනයෙන් සහාය වුණා. මෙහි සංගීතය නිර්මාණය කෙන් ලැපන් සමඟ ‘සරිගම’ නිෂ්පාදන ආයතනය මගින් සිදුකර තිබෙනවා.

මේක හුදු රස වින්දනය උදෙසාම නිර්මාණය වූ ගීතයක් විතරක්ම නෙවෙයි. සුවිශේෂ හේතුවක් මතයි මේ ගීතය නිර්මාණය වුණේ.

‘හැඟුමන් අනන්තයේ ’ ගීතය ඇතුළත් වන්නේ මසකි හමාමොතේ අධ්‍යක්‍ෂණය කළ ‘ෆයිනල් ජජ්මන්ට්’ කියන ජපන් චිත්‍රපටයේ නාමාවලි ගීතය හැටියට.

මේ චිත්‍රපටය අපට වැදගත් වන්නේ යොවුන් පරපුරේ නිළි උමාලි තිලකරත්න එහි ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන නිසා.

දැනට ජපානයේ සිනමා ශාලා 200 ක තිරගත වන ‘ෆයිනල් ජජ්මන්ට් ’ චිත්‍රපටයේ මෙරට ප්‍රදර්ශනය ඇරඹෙන්නේ අද සිටයි.

එහි මංගල දර්ශනය අද සවස 6.30 ට කොල්ලුපිටියේ ලිබර්ටි සිනමාහලේ පැවැත්වෙනවා. එහි පූර්ව ප්‍රචාරක පටය හැටියටත් යොදා ගැනුණේ මේ මියුසික් වීඩියෝවයි.

අල්ටිමේට් මීඩියා සොලියුෂන් ආයතනය වෙනුවෙන් මේ නිර්මාණ කටයුත්ත මෙහෙයවීමේ වගකීම පැවරුණේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්‍ෂ ලලිත් පන්නිපිටියට.

එහි සම්බන්ධීකරණ කටයුතු සිදු කළේ දක්‍ෂ ටෙලි නාට්‍යය අධ්‍යක්‍ෂවරයකු වන බුද්ධික ගුණදාසයි.

මේ මියුසික් වීඩියෝවේ සාර්ථකත්වය පසුපස තිබෙනා අදෘෂ්‍යමාන හස්තයන් ඔවුන්ගේ.

වැඩේ ගැන පොඩ්ඩක් කතා කරමුද?

මගේ ඒ ඇරැයුම ලලිත් පන්නිපිටියට. ඔහු සෙමෙන් වචන ගොනු කරන්නට පටන් ගත්තා.

මේ මියුසික් වීඩියෝ එක නිර්මාණය කිරීමේ වගකීම අපට පැවරුවේ ‘අල්ටිමේට් මීඩියා සොලියුෂන් ’ ආයතනයේ අධ්‍යක්‍ෂ මනුර ඒකනායක විසින්.

මේක ඇත්තටම එක්තරා විදිහක අභියෝගයක් වුණා. මොකද වැඩේ ඉතාමත් යුහුසුළුව කළ යුතුව තිබුණ නිසා.

මේ එතකොට කඩිමුඩියේ කරපු වැඩක් ?

ඔව්, ඒත් ඇත්තටම මේ නිර්මාණ කටයුත්ත අතිශයින් සාර්ථක වුණා.

‘ෆයිනල් ජජ්මන්ට්’ චිත්‍රපටයේ දකුණු ආසියාවේ සම්බන්ධීකරණ කටයුතු කරන මයිඩා මහතා ගොඩක් සතුටු වුණා මේ මියුසික් වීඩියෝ එක දැකලා. ඔහු අපට විශේෂයෙන් ස්තුති කළා.

එක්තරා විදිහක නිර්මාණාත්මක තාක්‍ෂණික හරඹයක් හැටියටයි මම මේ කාර්යය දකින්නේ ?

අසංක ඒක ඇත්ත. මේ චිත්‍රපටය අපට ලැබුණේ H. D. cam 5 R එකේ. ඒක ලෝකයේ දියුණුම තාක්‍ෂණයක්. ලංකාවේ අපට ඒ පහසුකම් නැති නිසා අපි මේ ටේප් එක ඉන්දියාවට ගිහින්

D. P. X. වලට හරවා ගත්තා. මෙහේ අපි ෂූට් කළේ RED 4 K කැමරාවෙන්. අවසානයේ චිත්‍රපටයේ තේමාවට, අරුතට ගැළපෙන විදිහට එහි දර්ශන කිහිපයක් හා මෙහෙදී අප රූගත කළ භාතිය, සන්තුෂ් හා ජපන් ගායිකා අයිකාගේ රූපරාමුත් යොදාගෙන මේ මියුසික් වීඩියෝ එක නිර්මාණය කළා.

මේ සියලු රූ ගත කිරීම් සිදු කළේ ඕ චදඤ ඉ ශබ්දාගාරයේදී. ෆිල්ම් එකේ එන්ඩ් ටයිටල් සෝන්ග් එකත් ඒකමයි.

සංගීතය විශ්ව භාෂාවක් කියන්නේ නිකම් නෙවෙයිනේ. ඒ නිසා භාතිය - සංතුෂ් අපේකම රැගෙන සිංහල බසින් ගයන ‘හැඟුමන් අනන්තයේ ’ ගීතය ජපානයට ආගන්තුක වෙන එකක් නෑ. ගීතය පටිගත කරද්දී අයිකා ජපන් බසින් ඇගේ කොටස ගායනා කරන විට, ඒ වෙලාවේ එතන හිටපු මටත් අපූරු චමත්කාරජනක හැඟීමක් මතුවුණා. ඒ කියන්නේ ඇත්තටම සංගීතයට භාෂාව ප්‍රශ්නයක් නෙවෙයි.

බුද්ධික ගුණදාස

ලලිත් පන්නිපිටියට

මේ චිත්‍රපටය ලංකාවේ සිනමා ශාලාවල දිගටම ප්‍රදර්ශනය කෙරෙනවද?

ඒ පැනයට පිළිතුරු දෙන්නට ඉදිරිපත් වුණේ බුද්ධික ගුණදාස.

ඇත්තටම අද ලිබර්ටි එකේ ප්‍රිමියර් එකෙන් පස්සේ සැවෝයි 02 සිනමා හලේ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ වගේම රිත්මා මණ්ඩලයේ සිනමාහල්වල මුළු ලංකාවම ආවරණය වෙන පරිදි අප මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සූදානම්.

සිංහල සහ දෙමළ උපසිරැසි සහිතව ඒ අදාළ සිනමාහල්වලදී මෙය තිරගත වෙනවා. මම හිතන්නේ අපේ රටේ සිනමා ප්‍රේක්‍ෂකයන්ට මෙය අපූර්ව අත්දැකීමක් වේවි.