වර්ෂ 2012 ක්වූ අගෝස්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

දක්ෂතම සිනමා නළුවකු වන ශෂී විජේන්ද්‍ර, දිල්හානි අශෝකමාලා සමඟ පෙම් චරිත නිරූපණය කළ චිත්‍රපට තිරගත වී තිබේද?

මිල්ටන් ප්‍රනාන්දු – උතුරු මූදුකටුව

ඔව්, ශෂී සහ දිල්හානි රඟපා තිබෙන චිත්‍රපට තිරගත වී තිබෙනවා. ලව් ඉන් බැංකොක්, විජේ සහ අජේ, සූර වීර චණ්ඩියෝ, ආසයි බයයි, රඹා සහ මධූ ඒ චිත්‍රපට අතර තිබෙනවා.

චිත්‍රපට නාමාවලිය බලද්දී චිත්‍රපට සහාය අධ්‍යක්ෂ වශයෙන් කුමාරදාස වාකිෂ්ඨ නම තිබෙනු දුටුවා. ඔහු සරසවිය පුවත්පතේ සේවය කළ කුමාරදාස වාකිෂ්ඨමද?

ප්‍රේමසිරි නාරසිංහ – වල්පල, මාතර

ඔහු සරසවිය පුවත්පතේ සේවය කළ කුමාරදාස වාකිෂ්ඨම තමයි.

‘අජාසත්ත’ චිත්‍රපටය අපට ඉදිරියේදී නැවත නැරැඹිය නොහැකිද?

රෝහිත හේවාපන්න – රාගම

අජාසත්ත චිත්‍රපටයේ නිෂ්පාදක ඒ. එස්. පී. වික්‍රමරත්න දැන් ජීවතුන් අතර නැහැ. එහි අයිතිය කාට ඇත්දැයි දන්නේ නැහැ. කොහොම වුණත් ජනිත් මාරසිංහ අජාසත්ත නමින් අලුත් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට යන වග ආරංචියි.

පුංචි තිරයේ මුලින්ම විකාශය වූ සිංහල චිත්‍රපටය කුමක්ද?

ඒ. කරුණාදාස - ඉඳුරුව

1980 අප්‍රේල් 14 වැනි දින ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කළ මඩොල්දූව. මෙරට මුල්වරට රූපවාහිනියක විකාශය කළ පළමු සිංහල චිත්‍රපටයයි.

මොහිදීන් බෙග්ට ගීත රචනා කළ ගීත රචකයන් අතර හර්බට් එම්. සෙනෙවිරත්නටත් සුවිශේෂී තැනක් හිමි විය යුතුයි නේද?

කමල් පද්මලාල් - හුණුපිටිය, වත්තල

ඔව් කමල්, බෙග් මාස්ටර්ට ගීත ප්‍රබන්ධය කළ ගී පද රචකයන් අතර ඔහුගේ නම ඉහළින්ම කියැවෙනවා. එය යමකුට අමතක වෙනවා නම් සමාව දිය නොහැකි වරදක්.

ඒ වගේම තවත් විශාල පිරිසක් බෙග් මාස්ටර් වෙනුවෙන් ගීත ප්‍රබන්ධය කර තිබෙනවා.

ගාමිණී, ජීවන්, ශෂී, රොබින්, ක්ලීටස්, විල්සන් කරු, සනත් වැනි බොහෝ සටන් නළුවන්ගේ දක්ෂතා එදා චිත්‍රපටවල දැකගත හැකි වුණත්, අද එසේ සටන් කළ හැකි නළුවන් ලෙස ඔබ සිතන්නේ කවුරුන්ද?

සුජාතා ගුණවර්ධන - කඩවත

අලුත් පරපුරේ රන්ජන්, අර්ජුන්, වසන්ත කුමාරවිල වගේ එබඳු දක්ෂයන් සිටිනවා.

රිචඩ් ද සොයිසා චිත්‍රපටවල රඟපා තිබේද? ඇත්නම් එම චිත්‍රපටවල නම් කියන්න.

තිලකරත්න විල්වල – කෑගල්ල

ඔහු චිත්‍රපට දෙකක රඟපෑවා. ඒ යුගාන්තය හා සත්‍යග්‍රහණය යන චිත්‍රපටවල.

දස පනත සහ හටාරි යන චිත්‍රපටවල පිටපත් තියෙනවද?

සරත් රණසිංහ – කපුගොඩ, මාළිඳ

අනිවාර්යයෙන්ම ඔබට ඩී. වී. ඩී වෙළෙඳපොළෙන් සොයා ගත හැකියි.

මා ඔබේ විශේෂාංගයට තැපැල්පත් 15 ක් පමණ යොමු කළා. ඒත් පළ වුණේ නැහැ. පැරැණි පාඨකයන් මඟ හරින එක වැරැදියි නේද?

මහින්ද – වෑකඩ

මහින්ද, ඔබ යොමු කරන තැපැල්පත් පැහැදිලි අත් අකුරින් ලියා එවන්න. එවිට පළ වේවි. ඔබේ දුරකථන අංකයත් ලියා එවන්නකෝ.

ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන ‘පැරැණි හින්දි ගී’ වැඩසටහන විකාශය වෙන්නේ කවදාද?

නිලුෂි ද සිල්වා - රත්මලාන

අඟහරුවාදා රාත්‍රී දහයටනේ.

‘සූරයන්ගෙත් සූරයා’ චිත්‍රපටයේ නව පිටපත් කිහිපයක් ප්‍රදර්ශනය වීම පමාවීමට හේතුව කුමක්ද?

ආර්. එච්. එම්. ප්‍රේමසිරි – ගණේමුල්ල

එහි පිටපත් අලුතෙන් තිරගත කරන වගක් නම් දන්නේ නැහැ ප්‍රේමසිරි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට චිත්‍රපටයක් වෙනුවෙන් හෝ කෙටි චිත්‍රපටයක් වෙනුවෙන් සම්මානයක් ලැබූ කලාකරුවා කවුද?

චිත්‍රා පෙරේරා - හොරණ

ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි. ඔහු නිර්මාණය කළ ගෙත්තම් හා අත්කම් වාර්තා චිත්‍රපටයට වැනිස් උළෙලේ සම්මාන ලැබුණා.

ඉදිරියේදී ඊ. ඒ. පී. සිනමා ශාලාවල තිරගත කිරීමට නියමිත චිත්‍රපට මොනවාද?

පාලක සමන් පෙරේරා - අල්විස්ටවුම – හැඳල

සෙනසුරු මාරුව, රන් කෙවිට – 2, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම, සමනළ සංධිවනිය, ප්‍රවේගය, කෝ මාර්ක් නෝ මාර්ක්, සිරි දළදාගමනය, කොස්තාපල් පුණ්‍යසෝම, තන්හා රති රඟා, සිරි පැරැකුම්බා, අජාසත්ත යන චිත්‍රපට දැනට තිරගතවීමට නියමිතයි.

රැඟුම් පාලක මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා කවුරුද?

විල්ෆ‍්‍රඩ් පෙරේරා - රත්මලාන

ප්‍රවීණ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර.

ගායන ශිල්පී එච්. ආර්. ජෝතිපාල මහතාට සහෝදරයකු සිටිනවා නේද? ඔහු ගැන කිසිදු විස්තරයක් කිසිදු මාධ්‍යයකින් සඳහන් නොකරන්නේ ඇයි? එතුමාගේ මව පියා ජීවතුන් අතර සිටිනවාද?

උපාලි රණවක – නාලවලාන

ජෝතිපාලයන්ගේ මවයි, පියයි ජීවතුන් අතර නැහැ. එතුමාට එක් සහෝදරයකු සිටියා. ඔහු රූපා නමින් හැඳින්වූයේ. ඔහුත් මිය ගියා. සහෝදරියන් හතරක් හිටියා.