වර්ෂ 2012 ක්වූ අගෝස්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




මුල්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය තිරගත වී මේ වසරට වසර 50 යි

මුල්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය තිරගත වී මේ වසරට වසර 50 යි

ජේම්ස් බොන්ඩ් 007

දියමන්ති සදාකාලිකයි

හිම කැටියක් බඳු සුදු පැහැ මෘදු ලෝම අතරින් ඔහුගේ ඇඟිලි හෙමිහිට එහා මෙහා ගමන් කරයි. සුරතේ මැදඟිල්ලේ පැළැඳී මුදුවේ දිස්වන්නේ කළු පැහැ බූවල්ලකුගේ සලකුණකි. ඇකය මත සුව පහසුවට සුරතල් වන පර්සියානු බළලාගේ ගෙල වටා ඇති මාලය නිර්මාණය වී ඇත්තේ ලොව වටිනාම මිලෙන් යුත් අගනා දියමන්තිවලිනි.

මෙවැනි මිල අධික දියමන්ති යෙදූ මාලයකින් තම බළල් සුරතලාගේ ගෙල සැරැසීමට තරම් හැකියාවක් ඇති මිහිපිට සිටින ධන කුවේරයා කවරකු විය හැකිද?

දකුණු අප්‍රිකාවේ දියමන්ති ආකරවලින් මතුකර ගන්නා දියමන්ති අයථා මාර්ග හරහා අමෙරිකාවට ආනයනය කරන රහස් ව්‍යාපාරයක මහ මොළකාරයා වෙන අන් කිසිවකු නොවේ, ලොවේ අති බිහිසුණු සමාජ විරෝධී සංවිධානයේ යාවජීව ඒකාධිපති ප්‍රධානියා වන අර්න්ස්ට් ස්ටැව්රෝ බ්ලොෆෙල්ඩ්.

මෙවර ඔහුගේ ජාත්‍යන්තර චෞර ජාලය ක්‍රියාත්මක වන්නේ මහා පරිමාණයේ දියමන්ති භාවිත කරමින් අති නවීන තාක්ෂණයෙන් නිෂ්පාදනය කෙරෙන ලේසර් උපකරණයක් අජටාකාශයේ කක්ෂ ගතකොට එමගින් එල්ල කෙරෙන ලේසර් කිරණයකින් ලොවේ ප්‍රධාන නගර සියල්ල වරින් වර දවා අළු කර දැමීමේ තර්ජනයක් හරහා තම බලකාමී සිතැඟි ඉටුකර ගැනීමටයි.

අමෙරිකාව කේන්ද්‍ර කොට ගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම ම්ලේච්ඡ ව්‍යාපෘතිය කඩාකප්පල් කර දැමීමේ කාර්ය භාරය පැවරෙන්නේ බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ සුපිරි රහස් නියෝජිතයා වන ජේම්ස් බොන්ඩ් වෙතයි.

තම දිවි පරදුවට තබා මෙහෙයවන එම ක්‍රියාන්විතය සාර්ථක කර ගැනීමේ අභියෝගය ඔහු ජය ගන්නේ කෙසේ ද? ඔන් හර් මැජෙස්ටීස් සීක්‍රට් සර්විස් චිත්‍රපටයෙන් සීඝ්‍ර පසුබෑමකට ලක්ව තිබුණු බොන්ඩ් සිනමාව නැවත යථා තත්ත්වයට ගෙන ඒමේ ප්‍රධාන වගකීමට උරදී සිටින බ්‍රොකොලි සහ හැරී ප්‍රමුඛ ඉඔන් සමාගම ඔවුන් එවැනි තත්ත්වයට පත් කරමින් හිටි අඩියේ පොරොන්දු කඩා බිඳ දමා ඉවත්ව ගිය ලැසන්බි වෙත ‘ඩයමන්ඩ්ස් ආ ෆොඑවර්’ තිර පිටපත යවමින් ඉල්ලීමක් කළේ නැවත බොන්ඩ් චරිතය රඟපෑම සඳහා ඔවුන් හා එක්වන ලෙසයි.

එහෙත් ‘නැවත කිසිදා බොන්ඩ් චරිතය නම් රඟ නොපාමි’ යනුවෙන් ලැසන්බි දුන් පිළිතුර හමුවේ බ්‍රොකොලිලාට සිදු වුණේ සියලු බලාපොරොත්තු සුන්කර ගැනීමටයි. ඒ වනවිටත් ලැසන්බි ‘යුනිවර්සල් සෝල්ජර්’ නමැති චිත්‍රපටයක රඟපෑම සඳහා ගිවිසුම් අත්සන් කර තිබුණා.

සිරිත් පරිදි යළිත් වතාවක් රොජර් මුවර්, තිමති ඩෝල්ටන්, මයිකල් ගැම්බන් සහ බැට්මෑන් ලෙස රඟපෑ ඇඩම් වෙස්ට් යන නළුවන් සමඟින්ද සාකච්ඡා කොට තිබුණත් අවසානයේ තෝරා ගැනුණේ ‘සයිකෝ’, ‘ස්පාටකස්’ වැනි චිත්‍රපටවල රඟපෑ ජෝන් ගැවින් නමැති නළුවායි.ර්‍ණඉඉ 117 නමැති ප්‍රංශ රහස් ඔත්තු සේවා ඒජන්තවරයකු ලෙස ජේම්ස් බොන්ඩ් කොපි චිත්‍රපටවල රඟපෑමෙන් ඔහු ප්‍රසිද්ධියක් ලබා තිබුණා. ඒ අනුව අලුත් බොන්ඩ් ලෙස ඉඔන් සමාගම සමඟ ගිවිසුම් අත්සන් කරන ලද ජෝන් ගැවින් බොන්ඩ් චරිතය සඳහා තෝරාගත් ප්‍රථම අමෙරිකානු ජාතික නළුවා ද වෙයි.

එහෙත් බොන්ඩ් චිත්‍රපට සඳහා මුල්‍ය ප්‍රතිපාදන සපයන යුනයිටඩ් ආටිස්ට් සමාගමේ ප්‍රධානී ඩේවිඩ් විකර් මෙම තෝරා ගැනීම කිසිසේත් අනුමත කළේ නැහැ. ඔහුගේ එකම ස්ථාවරය වූයේ මොන ක්‍රමයකින් හෝ නැවත වරක් බොන්ඩ් ලෙස රඟපෑම සඳහා ෂෝන් කොනරි කැමැති කරවා ගත යුතු බවයි.

බොන්ඩ් චරිතය සඳහා ලොව සිටින එකම සුදුස්සා අන් කිසිිවකු නොව කොනරිම පමණක් බව ඔහු දැඩි සේ අවධාරණය කළා. ඒ අනුව සමාගමේ නිෂ්පාදන කළමනාකරු ස්ටැන්ලි සොපෙල් කපුකම කතා කිරීම සඳහා එවකට කොනරි නේවාසිකව සිටි ලන්ඩන් ඩෝචෙස්ටර් හෝටලය වෙත වහා පිටත්කර යවනු ලැබුවා. එහෙත් සාකච්ඡා බිඳ වැටී තිබුණ අතර අවසානයේ ඔහු ආපසු පැමිණියේ කොනරි පාවිච්චි කළ මර්සිඩීස් රථය ද පදවාගෙනයි. කොනරි යෝජනාව ඉවත දමා තිබුණ අතර, ඔහුගේ බෙන්ස් රථය විකිණීමේ බිස්නස් එක පමණක් සාර්ථක කර ගැනීමට ඔහු සමත්ව තිබුණා.

අපේක්ෂා අත්නොහළ විකර්ගේ ඊළඟ පියවර වූයේ තමාම පෞද්ගලිකව කොනරි හා සාකච්ඡා කිරීම සඳහා වහාම ලන්ඩන් වෙත පියාසර කිරීමයි. එම හමුවේදී ඔහු ඉදිරිපත් කළේ ඉතා වැදගත් යෝජනා කීපයකි. ඒ අතුරින් යළි බොන්ඩ් ලෙස රඟපෑම සඳහා ඩොලර් මිලියන දොළොස් ලක්ෂ පණස් දහසක (මිලියන 1,250000) වැටුපක් ගෙවීමට කැමැත්ත පළ කළා. එය එදා රංගනය සඳහා නළුවකුට ලෝකයේ ගෙවන ලද උපරිම වැටුප ලෙස වාර්තාගත වෙනවා. ඊට අමතරව චිත්‍රපටය පෙන්වා ලබන ආදායමෙන් 12.5% ප්‍රතිශතයක මුදලක් ද ඔහුට ගෙවීමට එකඟතාවය පළ වුණා.

ඒ අතර කොනරිගේ ඉල්ලීම වූයේ ඔහුගේ මූලික වැටුප සහමුළින්ම ස්කොට්ලන්තයේ දිළිඳු දරුවන්ගේ අධ්‍යාපනය සඳහා පිහිටුවන ලද අරමුදලට බැර කරන ලෙසයි. ස්කොට් ජාතිකයකු වූ කොනරි කුඩා අවධියේ තමා ගෙවූ දුක්බර කටුක ජීවිතය මෙනෙහි කරමින් මෙම පුණ්‍ය කර්මයට දායක වූවා විය හැකියි. ඊට අමතරව යුනයිටඩ් ආටිස්ට් සමාගම වෙත ඔහු ඉදිරිපත් කළ අනෙක් යෝජනාව නම් ඔහු ප්‍රධාන චරිතය රඟපාන බොන්ඩ් නොවන චිත්‍රපට දෙකක් ඔහු වෙනුවෙන් නිෂ්පාදනය කරන ලෙසයි.

ඒ අනුව පසු කලෙක ‘මැක්බත්’ සහ ‘ද ඔෆෙන්ස්’ නමැති චිත්‍රපට දෙක යුනයිටඩ් ආටිස්ට් සමාගම විසින් නිෂ්පාදනය කෙරුණා. සියලු කොන්දේසි සඳහා දෙපාර්ශවයේ එකඟත්වය පළවීමෙන් පසු සියල්ලන්ගේ මනදොළ සපුරාලමින් නියම ජේම්ස් බොන්ඩ් ලෙස කොනරි සිය පදවියේ යළි වැඩ බාර ගත්තා.

මේ අතර ඩොලර් 50000 ක වන්දියක් ගෙවා ජෝන් ගැවින් බොන්ඩ් ලෙස රඟපෑමට අත්සන් කරන ලද ගිවිසුම අවලංගු කිරීමට යුනයිටඩ් ආටිස්ට් සමාගමට සිදු වුණා. පසු කලෙක අමෙරිකානු ජනාධිපති සිනමා නළු රොනල්ඩ් රේගන් විසින් මැක්සිකෝවේ අමෙරිකානු තානාපති ලෙස පත් කොට යැවුවේ ජෝන් ගැවින් නමැති මෙම නළුවාය. චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය වූ ‘ටිෆනි කේස්’ ලෙස රඟපෑමට යෝජනා වූ රැකල් වෙල්ච්, ජේන් ෆොන්ඩා සහ ෆේ ඩනවේ යන අය අතුරින් ජිල් සෙන්ට් ජෝන් නම් වූ අමෙරිකානු සුර ෑපිනියක් චරිතය සඳහා තෝරා ගන්නා ලදී.

බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නොවන ප්‍රථම බොන්ඩ් තරුණිය වන්නේ ඇයයි. සෙසු නිළි චරිත රඟපෑවේ ලානා වුඩ්, ට්‍රිනා පාර්ක්ස් සහ ලෝලා ලාර්සන් නම් නිළියන් විසිනුයි. බොන්ඩ් කතා මාලාවේ අවසන් වරට පෙනී සිටින බ්ලොෆෙල්ඩ්ගේ චරිතය නිරූපණය කළේ යූ ඔන්ලි ලිව් ට්වයිස් චිත්‍රපටයේ බොන්ඩ් ගේ මිතුරකු ලෙස රඟපෑ චාල්ස් ග්‍රේ නමැති නළුවායි.

බෲස් ග්ලවර් සහ ජෑස් වාදකයකු වූ පුටර් ස්මිත්, ජෙම්ස් බොන්ඩ් ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව භාරගත් ප්‍රතිවාදීන් ලෙස රඟපෑහ. සිරිත් පරිදි බර්නාඩ් ලී, ලොයිස් මැක්ස්වෙල් සහ ඩෙස්මන්ඩ් ලෙවලින්, පිළිවෙලින් බ්‍රිතාන්‍ය ඔත්තු සේවා ප්‍රධානී M ගේ චරිතයත්, මිස් මනිපෙනි සහ මිස්ටර් Q ගේ චරිතත් නිරූපණය කළා. අධ්‍යක්ෂණය පැවරුණේ ‘ගොල්ඩ් ෆින්ගර්’ චිත්‍රපටය නිර්මාණය කළ පළපුරුදු අධ්‍යක්ෂක ගයි හැමිල්ටන්ටයි. තිර රචනය රිචඩ් මේබෝම් සහ ටොම් මැන්කිවිස් විසිනි.

කැමරාකරණය ටෙඩ් මුවර් සහ සංස්කරණය කළේ බර්ටි බේට්ස්, සංගීතය සුපුරුදු සංගීත ශිල්පී ජෝන් බැරී සැපයූ අතර තේමා ගීතය ගෝල්ඩ් ෆින්ගර් තේමා ගීතය ගැයූ ෂර්ලි බැසී විසින් ගයනු ලැබුවා. කලා අධ්‍යක්ෂණය කෙන් ඇඩම් විසින් සිදු කෙරුණා. අමෙරිකාවේ ලාස්වේගාස් හි කාන්තාර ප්‍රදේශයකදී චිත්‍රපටයේ ප්‍රථම රූගත කිරීම ඇරැඹුණේ 1971 අප්‍රේල් 5 වෙනිදා.

ලබන සතියට