වර්ෂ 2012 ක්වූ ජුනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




ටයි පටියෙන් පෙන්නේ දේශපාලනය

 50 ස්වර්ණ ජයන්තිය අබිමුව

ටයි පටියෙන් පෙන්නේ දේශපාලනය

සරසවිය හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලක්ෂ්මන් වික්‍රමසිංහ

ජගන් මෝහිනී මධුර භාෂිනී චාරු දේහිනී කමල වාසිනි අමරදේවයන්ගේ මන සනහන ගී රාවය මගේ සවන් පත් අතරට එක් වූයේ 1965 ජූනි මාසයේ යැයි මට හැඟේ.

ඒ ගී නාදයෙන් මගේ හද සුන්දර ලෝකයක් කරා රැගෙන ගියේ සරසවිය පුවත්පත නිසා බව මම අදත් විශ්වාස කරමි.

ඒ තරමට මේ ගීතය මගේ මනසට ගෙන ආවේ පුදුම සුවදායක බවකි. ඒ සුවය වසර පනහක් ගිය ද අදත් නොනැසී මා හද තුළ තැන්පත්ව ඇත. වයස අවුරුදු දහ අටේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ගිය මා වයස අවුරුදු විසි දෙකේදී ඉන් පිට වූයේ සංස්කෘත භාෂාව පිළිබඳ විශේෂ ගෞරව උපාධියක් ලබමිනි. මගේ සිංහල හා ඉංග්‍රීසි දැනුම නිසා ආධුනික පුවත්පත් කලාවේදියකු ලෙස 1965 වසරේදී දවස පුවත්පතට එක් වූයෙමි.

ඒ මේ වකවානුවේ පත්‍ර කලාවේ මහා පතාක යෝධයකු වූ ඩී. බී. ධනපාල ශූරීන්ගේ ඇසුර ලබමිණි.

ධනපාල මහතාගේ පුත් ඩී. බී. නිහාල්සිංහ විශ්ව විද්‍යාලයේ මට වඩා ජ්‍යෙෂ්ඨයකු විය. ඔහු සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන යමින් සිටි මාගේ මිත්‍රයකු මඟින් මම පුවත්පත් කලාවට ඇති ආශාව පිළිබඳ ඩී. බී. ධනපාලයන්ට පැවසීමි. නිහාල්සිංහයන් මා පිළිබඳ ධනපාලයන්ට පුද්ගලිකව කියා තිබුණ නිසාවෙන් දවස පුවත්පතට යාමේ වරම මට ද උදා විය. ඩී. බී. ධනපාලයන් මාව තෝරාගෙන යොමු කළේ ඩේවිඩ් කරුණාරත්න, සිරිල් ඒ. සීලවිමල, විමලේන්ද්‍ර වතුරේගම මත්වරුන්ගේ ගුරුහරුකම් ලබා ගැනීමටය.

ඔවුන් තිදෙනා අසලින්ම වාඩි ගත් මා හට වැඩි දවසක් යාමට මත්තෙන් දවස පුවත් පතේ තෙවැනි පිට සංස්කරණය කිරීමේ වරම ද ලැබිණි. එමෙන්ම සතියකට කීප දිනක් මුල් පිටුව සැකසීම සඳහා සහාය වීමේ භාග්‍යය ද ලැබිණි. එහි සය මසක් පමණ වැඩ කරමින් සිටිනා අතරේ මගේ ගම වූ රත්නපුරේ වැල්ලන්දුරේ සිටි ප්‍රසිද්ධ ආයුර්වේද වෙද මහතෙකු වූ කේ. බී. ගජනායක නම් මගේ සීයා මට යෝජනාවක් ගෙන ආවේය. එයට තාත්තා ද හවුල් විය. පුවත්පත් කලාව තුළ දිගටම රැඳෙන්න අපේක්ෂා කරන්නේ නම් ලේක්හවුස් ආයතනයට යෑමය.

එවක ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකුව සිටි ඩග්ලස් මුණසිංහ මගේ මාමා කෙනකු වීම මෙම යෝජනාව මා වෙත යොමු කිරීමට හේතුª වූවා යැයි මම සිතමි. දවස ආයතනයට වඩා ලේක්හවුස් ආයතනයේ මාසික වේතනය ඉහළය. එහෙත් ධනපාල මහතා ඉමහත් ළෙන්ගතුකමකින් මා පුවත්පත් කලාවේ හැඩගස්වමින් සිටි අවධියේ මෙවැනි තීරණයක් ගැනීමටත් මගේ හිත ඉඩ දුන්නේ ද නැත. එහෙත් මම අයදුම්පතක් ඉදිරිපත් කළෙමි. ලිඛිත පරීක්ෂණයෙන් පසු මා ඇතුළු තවත් කීප දෙනකු සමඟ සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවිණි.

ලක්ෂ්මන් වික්‍රමසිංහ යුග දිවියට පිවිසියදා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සුබපැතුම් ලැබූ අයුරු.

එදින මා හැඳ සිටියේ සුදු පැහැති කලිසමක් ෂර්ට් එකක් හා රතු පැහැති ටයි පටියකි. එහිදී එහි සිටි එක් කර්තෘවරයකු නැඟූ පැනයකින් මම පුදුම වීමි. මහත්තයා ඇඳ සිටින සුදු ඇඳුමට රතු ටයි පටියක්, එයින් ඔබේ දේශපාලනය පිළිබිඹු වෙනවා නේද? එවිට මගේ මුවින් පිට වූයේ කෙනකුගේ ඇඳුමෙන් ඔහුගේ දේශපාලන අදහස් සෙවීම නුවණට හුරු දෙයක් නොවන බවය. ඒ පිළිතුර මට අවාසි වේ යැයි මට පසුව සිතුණි. ලේක්හවුස් ආයතනයේ දිනපතා පුවත්පතකට මට පත්වීමක් නොලැබීම මෙම සිද්ධිය හේතු වූවාදැයි මම නොදනිමි.

ඒ අනුව සරසවිය සතිපතා පුවත්පතට මට පත්වීමක් ලැබිණ. සරසවිය කර්තෘ මණ්ඩලයෙහි කෙටි කලක් සේවය කළ පසු විමලසිරි පෙරේරා මහතා මට මෙවැන්නක් කීවා මතකය. සම්මුඛ පරික්ෂණයේදී තීරණය වූයේ ලක්ෂ්මන්ව බුදුසරණ පත්තරයට ගන්න. මම ලොකු මහත්තයට කීවා ලක්ෂ්මන්ව මට දෙන්න කියා. මගේ තීරණය ගැන මට අද සන්තෝසයි. 65’ ජූනි මාසයේ පමණ මා සරසවියට එක් වන විට විමලසිරි පෙරේරා මහතා ප්‍රධාන කර්තෘවරයාය. පර්සි ජයමාන්න, කුමාරදාස වාගිස්ට, නිමල් පෙරේරා අබේවර්ධන, රෙජී බුලත්සිංහල, ක්‍රිස්ටි පෙරේරා, ආර්. ඩී. ගුණරත්න, තලංගම ජයසිංහ ආදීන් එහි සිටියා මතකය. අර්නස්ට් වඩුගේ සම්බන්ධ වූයේ මට පසුවද යන්න හරි හැටි මතක නැත. සෝමවීර සේනානායක, ප්‍රභාත් කුමාර, රන්ජිත් කුමාර, රොහාන් පෙරේරා, බන්දු එස්. කොඩිකාර සරසවියට සම්බන්ධ වූයේ මා පැමිණීමෙන් පසුවය.

ආර්. ඩී. ගුණරත්නයන් බොහෝ විට කළේ එදිනෙදා පුවත්පත් සඳහා උදවු කිරීමය. එයට ප්‍රධාන හේතුවක් වූයේ ඔහු ඒ වන විටත් අධ්‍යාපන කටයුතු සඳහා යොමු වී සිටි බැවින් විමලසිිරි පෙරේරා ඒ අවස්ථාව ඔහුට ලබා දී තිබීමය. ආර්. ඩී. අතින් ලියවුණේ ඉතා ඉහළ ගණයේ ශාස්ත්‍රීය ලිපිය. එය විමලසිරි පෙරේරාගේ අනු දැනුම යටතේ මාසයකට එක් වරක් දෙවරක්ආදී වශයෙන් පළ විය. පත්තරයේ සමබරතාව රැකීම සඳහා මෙවැනි ලිපි සති කීපයකට වතාවක් පළ කෙරිණි. සරසවිය සම්මාන උළෙල ආසන්න වන විට මාසයක පමණ කාලයක සට ආර්. ඩී. සම්මාන උළෙල ගැන ලිපි මලාවක් පත්තතරයට ලිව්වේය. ඒ ලිපි රසවත් විය. සිංහල සාහිත්‍යය එක් කළ අපූරු ලිපි ලියන්න ඒ දවස්වල ආර්. ඩී. හරි හපනාය.

සරසවිය චිත්‍රපට කලාවට පමණක් සිමා වූ පත්තරයක් බවට පරිවර්තනය කිරීමට විමලසිරි පෙරේරාගේ අභිප්‍රාය නොවීය. ඔහුගේ අදහස වුයේ චිත්‍රපට කලාවට මුල් තැන දෙමින් නාට්‍යය, සංගීතය, සාහිත්‍ය, ලලිත කලා වැනි අංගයන් ද ආවරණය වූ සරස්වතී දේවියගේ පූර්ණ බැල්ම ලබන සරසවිය පත්තරයක් නිර්මාණය කිරීමටය. මේ නිසාම එවක මුද්‍රණය වූ චිත්‍රපට පත්තරවලට වඩා සරසවිය වෙනස් මුහුණුවරක් ගත්තේය. පිටු දෙක තුනක් සාහිත්‍ය සඳහා වෙන් විය. කවි පිටුවක් සෑම සතියක් පුරා පළවිය. ඒ අතරේ ගැඹුරු සාහිත්‍ය ගැන ලියූ ලිපි ද පළ විය.

විමලසිරි පෙරේරා පත්තරයේ ප්‍රධානියා වුණත් ඔහු හැම විටම කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කළේය.

ලබන සතියට