වර්ෂ 2012 ක්වූ ජුනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




මැද දුම්බරින් හමුවූ ලක්ෂ්මි, මායා සහ සුගත්

කිසිම දිනක කැමරාවක් නුදුටු පිරිසකගේ චිත්‍රපටය

මැද දුම්බරින් හමුවූ ලක්ෂ්මි, මායා සහ සුගත්

කැමරාව - පෙදරේරු ශිල්පියෙකුගෙන්

නිෂ්පාදන මෙහෙයුම - ත්‍රීවිලර් රියැදුරකුගෙන්

සුගත් ගැමි තරුණයෙකි. මායා ඔහුගේ පෙම්වතියයි. ගමේ පන්සලේ වසන භික්ෂුව කෝටියක් සංවර ශීලය රකින්නකු නොව චීවර ධාරියෙකි. ඔහු දේශපාලන සබඳතා ඇත්තෙකි. ඔහුගේ පිහිටෙන් සුගත් ට ගුරු පත්වීමක් ලැබෙනුයේ කොටි ත්‍රස්තවාදයෙන් පීඩා විඳී නැගෙනහිර ගම්මානයකටය. චීවරධාරියාගේ අරමුණ මායා සමග සබඳතාවක් ඇති කර ගැනීමය. ඔහු ඒ සඳහා විවිධ උපක්‍රම යොදයි.

ලක්ෂ්මි වෙසෙනුයේ සුගත් සේවය කරන ගමේය. ඒ ගමට යන්නට බස් නැත. ලියුම් බෙදනුයේ සතියකට වරකි.පාසලේ විදුහල්පති මහලුය. සුගත් එගම දෙමළ දරුවනට සිංහල උගන්වයි.

ලක්ෂ්මීගේ පියා අබ්බගාතයෙකි.

මව මිය ගොසිනි. ගමේ බොහොමයක් යුද්ධයේ අතුරු ප්‍රතිඵල ලෙස පීඩා විඳීති.

ලක්ෂ්මී පාසල ශුද්ධ පවිත්‍ර කරන්නීය.ඇය ඇනවුමකින් තොරවම සුගත්ගේ කාමරය ද පවිත්‍ර කරන්නීය.

මේ කතාව ට මුල පිරුනේ පසු ගිය ඉරිදාවකය. ඇත්තටම එය කදිම සැන්දෑවක් විය. එය මෙරට සිනමාවේ විශිෂ්ට සිනමාකරුවකු සිය රට හැර යන බව හෙළි කළ උත්සවයක් වී නමුදු එහි අලුත් පරම්පරාවකට දොර හැර දුන අවස්ථාවක් ද විය. රට හැර යන සිනමාකරු ජී.ඩී.එල්.පෙරේරා ය. ඔහු අලුත් පරම්පරාවකට දොර හැර දුන් අලුත්ම නිර්මාණය වූයේ ලක්ෂ්මී මායා සහ සුගත් ය.ජී.ඩී.එල්. හැමවිටම අලුත් පරම්පරාවකට අත දුන් මිනිසෙකි. ලක්ෂ්මී මායා සහ සුගත් වීඩියෝ මාධ්‍යයෙන් කළ චිත්‍රපටයකි. එහි නාමාවලියේ ඇත්තේ අධ්‍යක්ෂවරයකුගේ නමක් නොවේ. අධීක්ෂණය ජී.ඩී.එල් පෙරේරා යනුවෙනි.

මම එම චිත්‍රපටය පිළිබඳ විවේචනයක් ලියන්නට තරම් සහාසික නොවෙමි.

මන්ද යත් එයට දායක වූ සියල්ලම පාහේ එයට දායකව ඇත්තේ මුළු හ දින් නැත්නම් වර්තමාන වදනින් බොක්කෙන් වග පෙණෙන බැවිනි. ජී.ඩී.එල් හැරුණු විට එයට දායක වූ කිසිවකු හෝ එයට පෙර හෝ පසුව චිත්‍රපටයකට දායක වූවන් නොවෙති.

එහි රඟන පිරිස පාසල් යන වයසේ සිට අවුරුදු අසූව දක්වා විහිදෙන්නන්ය. චිත්‍රපටයේ කැමරාව මෙහයවූයේ වෘත්තියෙන් පෙදරේරුවෙකි. නිෂ්පාදන කළමනාකරු වෘත්තියෙන් ත්‍රීවිල් රථ රියැදුරෙකි.ප්‍රධාන නළුවා විවිධ වෘත්තින් හි නියැලෙමින් ජීවත් වන්නෙකි. එහෙත් ඔවුන් සියල්ලෝම මේ චිත්‍රපටයට තම හැකි පමණින් දායකව ඇත්තේය. මේ චිත්‍රපටය දැක ගන්නට ලැබුනේ අහම්බයකිනි.ඒ මෙරට ප්‍රධාන පෙළේ දේශීය සමාගමක් වන ඩී.එස්.අයි සමූහ ව්‍යාපාරය ඔවුනගේ පනස් වන සංවත්සරය වෙනුවෙන් මේ වනතෙක් බොහෝ දෙනාට දැක ගන්නට නොලැබුන චිත්‍රපටයේ විශේෂ දැක්මක් පිළියෙළ කොට තිබිණ. ඒ ආරාධිතයන් සමූහයකටය. එපමණක් නොව චිත්‍රපටයට දායක වූ ශිල්පීන් පෙළඑම සමාගම විසින් මහනුවර මැද දුම්බර පෙදෙසේ සිට විශේෂ බස් රථයකින් ගෙන්වා තිබිණ.

පැය දෙකකට ආසන්න කාලයකට පසු චිත්‍රපටය නිම වූ පසු චිත්‍රපටයට දායක වූ එම පිරිස ජීවිතයේ මුල් වරට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ වේදිකාවට ගොඩ වූයේ මහත් අත්පොලසන් මැදය. චිත්‍රපටය සම්බන්ධ කවර හෝ විවේචනයක් වීද එය වහා බැහැර වූයේ එසැනිනි.

මේ පිරිසට ගුරු වූ ජී.ඩී.එල් පිළිබඳ යමක් ලිවිය යුත්තේය. 1931 වසරේ ජූනි මස 26 වැනි දින රත්නපුර තිරුවාණාකැටියේ උපත ලද හදුන්ගේ දොන් ලක්ෂ්මන් ලීලචන්ද්‍ර පෙරේරා ගමේ මිශ්‍ර පාසලෙන් ද පසුව කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහලෙන් ද එයින් පසු කොටහේන කුමාර විදුහලෙන් ද අධ්‍යාපනය හැදෑරුවේය. ඔහු කලාවට පිවිසෙනුයේ කුමාර විදුහලේ ඉගෙනුම ලබන සමයේ එහි විදුහල්පතිධුරය දැරූ ධර්මසේන අරම්පත්ත සහ පන්ති භාර ගුරුවරයාව සිටි එඩ්වින් හේවා කපුගේ මහත්වරුන්ගේ මග පෙන්වීමෙනි. පාසල් වේදිකාවට කුමාර රංග,ඇස් ලැබීම,කම්බ හොරු ආදි නාට්‍ය නිර්මාණය කළ සිය ගුරු එඩ්වින් හේවාකපුගේ සභාපති පදවියෙන් යුතුව ඇරඹි කළාපෙල සංගමයේ ලේකම්වරයා විය. එතැන් පටන් කලාපෙළ සහ ජී.ඩී.එල් යනු දෙකක් නොව එකක් විය.

පසුව කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලබන ජී.ඩී.එල් ප්‍රසිද්ධ වේදිකාවට අවතීරණය වනුයේ 1953 වසරේ කඳුළු නමින් නාට්‍යයක් නිර්මාණය කරමිණි. සාමා සක්කර වට්ටං,මෙහෙව් ලෝකේ,තොටුපළ ඇතුළු නාට්‍ය ගණනාවක් නිර්මාණය කළේය. 1964 වසරේ ජාතික නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යයට හිමි සම්මානය දිනා ගත්තේ ඔහුය.

1965 වසරේ දී සාමා චිත්‍රපට ගත කෙරිණ.

ඒ යෝජනාව ගෙනාවේ එහි රඟපෑ පසුකලක හන්තානේ කතාව තනා නමක් දිනූ සුගතපාල සෙනරත් යාපා විසිනි.

එකල ඔහු ද ජී.ඩී.එල් මෙන්ම රජයේ ලිපිකරුවකු විය. සාමා තනන්නට මූලික ධනය තිබුනේ රුපියල් 250 කි.එහි රඟ පෑ බුද්ධි වික්‍රම නිතර මග සිටින ඔහුගේ වෑන් රථය චිත්‍රපටයට දුන් අතර රූප ගත කරන දින වල ආහාර පාන සැපයීම එහි රඟපෑ ලියෝනි වීරසිංහ (කොතලාවල)ගේ පියා බාර ගත්තේය. සාමා නාට්‍යය රට වටා පෙන්වද්දී ලද ආදායම එහි පිරිස විසින් ස්වෙච්ඡාවෙන් චිත්‍රපටයට බැර කරන ලදී.

දහදුක් විඳ තැනූ ච්ත්‍රපටය පෙන්වන්නට සමාගම් ඉදිරිපත් නොවූ හෙයින් එය පෙන්වන ලද්දේ අලුත් සමාගමක් මගිනි.

ඒ කොන්දේසියක් ඇතුවය.පෙන්වන්නට නම් ගීතයක් ඇතුළත් කළ යුත් බවය.ඒ අනුව ආසා දෑසින් දකිනා සිහිනේ මිහිර මැකී යනවා ගීතය චිත්‍රපටයට අලුතෙන් එක් කෙරිණ.

සාමා එවර සරසවිය සම්මාන උළෙලේ විශේෂ ජූරි සම්මානය දිනා ගත්තේය.

පසුව ජී.ඩී.එල් සැඩොල් කඳුළු(කාර්මික අධ්‍යක්ෂණය),දහසක් සිතුවිලි,රෝමියෝ ජුලියට් කතාවක් යන චිත්‍රපට නිර්මාණය කළේය.මේ අතරින් දහසක් සිතුවිලි එම වසරේ හොඳම චිත්‍රපටය ලෙස සරසවිය සම්මානයට පාත්‍ර විය. ජී.ඩී.එල්. විසින් ගොඩ නැංවූ කලා පෙළ මෙරට කලාකරුවන් රැසකගේම ආරම්භය සනිටුහන් කළේය.

දෙනවක හාමිනේ විජය කුමාරතුංග,ධම්ම ජාගොඩ,එල්සන් දිවිතුරගම,සුගතපාල සෙනරත් යාපා,අයි.එන්.හේවාවාසම්, ඇතුළු බොහෝ දෙනෙක් කලාපෙළ සෙවන ලද්දාහ.ජී.ඩී.එල් නම් සිනමාකරුවා හෝ නාට්‍යකරුවා පරදවා එනම් ගුරුවරයා ඉස්මතු විය.

පසුකලක ශිෂ්‍යත්වයක් මත ලන්ඩනයට යන ජී.ඩී.එල්. පසුව බී.බී.සීයට ද දායක විය. ඔහු පීටර් ඔෆ් දි එලිෆන්ට් චිත්‍රපටය නිර්මාණය කළේ එරට දීය. පසුව ඔහු මෙරට දී තැනූ හොරා පොලිස් චිත්‍රපටය තිර ගතවූයේ එනමින් නොව චක්‍රායුධ නමිනි. කෙසේ වෙතත් ලන්ඩනයේ දී ඔහු ඉගිලෙන කුරුල්ලෝ නමින් තැනූ චිත්‍රපටය අතරමග නතර විණ. මෙරට චිත්‍රපට සංස්ථාව පිහිටුවීම සඳහා කැපවීම් කළ පුරෝගාමියකු වුවද ජී.ඩී.එල් ගේ පීටර් ඔෆ් දි එලිෆන්ට් චිත්‍රපටය තිර ගත කරද්දී සංස්ථාවේ ඇතැම් නිලධාරින් එයට අකුල් හෙළූ බැව් පැවසේ.

පසුව යළි මව් රට පැමිණි ඔහු තමා ලද සිනමා දැනුමෙන් අලුත් පරම්පරාවක් බිහි කිරීමේ අරමුණින් මහනුවරට නුදුරු කරල්ලියද්ද ගම්මානයේ මැද දුම්බර කලායතනය පිහිටුවා ලද්දේය. එමෙන්ම ඒ සදහා අවශ්‍ය උපකරණ ද ගෙන්වා ගත් බැව් පැවසේ. කෙසේ වෙතත් ඔහුගේ මෙහෙය බොහෝ දෙනාගේ අවධානයට පත් නොවිණ.

ඒ පිළිබඳ ජී.ඩී.එල්.සිත උපන්නේ කළකිරීමකි. අනතුරුව ඔහු යළි සිය බිරිය සමග රට අත හැර දියනිය වෙසෙන එංගලන්තයට යන්නට තීරණය කළේය. මැද දුම්බරින් සොයා ගත් පිරිස හා එක්ව ලක්ෂ්මී මායා සහ සුගත් නිර්මාණය කළේ ඒ අතරය. මේ නිර්මාණය සමහර විට කිසිවකුගේ ඇස නොගැසෙන්නට ඉඩ තිබිණ. එහෙත් එය පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ 60-68 වසරයන්හි ආදි විද්‍යාර්ථින්ගේ සංගමයේ කොළඹ ශාඛාවේ ඇස නොගැටෙන්නටත් එමගින් ඩී.එස්.අයි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ නන්දදාස රාජපක්ෂ මහතාගේ අවධානය යොමු නොවන්නට ලක්ෂ්මී මායා සහ සුගත් තවමත් රහසක් වන්නට ඉඩ තිබිණ. එසේ නොවන්නට මේ නිර්මාණයට දායක වූ ගැමියනට කොළඹ ඇවිත් බුහුමනට ලක් වන්නට ඉඩක් නොවන්නට තිබිණ. ජී.ඩී.එල් පෙරේරා නිර්මාණකරුවානන්ට තම නිර්මාණය පිළිබඳ පශ්චත්තාපයෙන් රටින් පිට වන්නට ඉඩ තිබිණ. කෙසේ වෙතත් චිත්‍රපටයේ දැක්මෙන් පසු මැද දුම්බර ගැමියන් යළි ගම්බිම් බලා ගියේ පුරුදු ජීවිත යළි පටන් ගන්නටය.

කැමරාකරණය සිරිල් ලොකු ගමගේ, ශබ්ද පරිපාලනය අරුණ අබේසිංහ, නිෂ්පාදන විධායක නිලංක ජානක රපියෙල්, සංස්තරණය රුවන් චාමික ආරියරත්න, කලා අධ්‍යක්ෂණය රාජ් අබේරත්න, පසුතල නිර්මාණය එල්. පී. රපියෙල්, නිලංක ජානක රපියෙල්, ඇඳුම් නිර්මාණය අයේෂා උඩුකුඹුර, තනුජා කල්පනී, සහාය අධ්‍යක්ෂණය සහ තිර රචනය සුරංග චමිල් ආරියරත්න, නිෂ්පාදනය ගීතාංජලී පෙරේරා.

රංගනය - මිහිරි නිසංසලා ජයරත්න, මල්කි දිලේෂා සිල්වා, කැලුම් තරංග ගුණවර්ධන, චන්න උදයංග ගණේගොඩ, චමින්ද රාජපක්ෂ, රාජ් අබේරත්න, එඩ්මන්ඩ් සෙනෙවිරත්න, යොෂිකා නිල්මිණි, ලහිරු බණ්ඩාර, සුරංග චමිල් රත්නායක.