වර්ෂ 2012 ක්වූ ජුනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




මම පළමුවැනි දවසේ ෆේල්

මම පළමුවැනි දවසේ ෆේල්

සැරිසර සමඟ පාපැදියෙන් රට වටා යන නිවේදකයා නිශාන්ත කහවිට

ශ්‍රී ලංකාව කියන්නේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන රටක්.

එහි ඇති සොබා සෞන්දර්යයට ආදරය කළත් අපි හැමෝටම ඒ සුන්දරත්වය දැක බලා ගන්න, අත් විඳීන්න ලැබෙන්නේ නැහැ.

ඒ අනුව ඔහු වාසනාවන්තයෙක්.

සුන්දර ලංකාවේ සොබා සෞන්දර්යය රස විඳිමින් එහි අගනා දේ වටහා දෙමින් ඒ සුන්දරත්වය අප දෑස මානයට ගෙන එන්නේ ඔහුයි.

ජාතික රූපවාහිනිය ඔස්සේ සෑම සෙනසුරාදාවකම රාත්‍රී 7.30 ට සැරිසර පාරිසරික වාර්තා වැඩසටහන සමඟ ඔබේ ආලින්දයට එන ඔහු නිශාන්ත කහවිට. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහකාර කළමනාකරුවෙක් ලෙස කාර්යබහුල ඔහු සමඟ සැරිසරෙහි අසිරිය පිළිබඳ විමසමු.

සැරිසර කියන්නේ පරිසරය අළලා සැකසුන වාර්තාමය වැඩසටනක්. ඔබ කොහෙමද මේ සමඟ සම්බන්ධ වෙන්නේ?

මම මුලින්ම විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ රූපවාහිනියේ අධ්‍යාපන සේවයේ වැඩසටහන් ඉදිරිපත් කළා. ඒ වෙන කොට සැරිසර පරිසර වැඩසටහන ආරම්භ කරල කොටස් 10 ක් විතර විකාශය වෙලා තිබුණේ. ඒ නිවේදකයාට අත්‍යාවශ්‍ය හේතුවක් නිසා එයින් අයින් වෙන්න සිදු වුණා. පසුව මට කළ ආරාධනාවකට අනුව තිර පරීක්ෂණයකින් පසු මාව ඒ සඳහා තෝරා ගැනුණා.

ඔබ වැඩසටහන ඉදිරිපත් කළ පළමුවන දවස කොහොමද?

පළමුවෙනි දවසේ ෆේල්. පරිසරය පිළිබඳ වැඩසටහනක් රූපවාහිනී මැදිරියක් ඇතුළෙදි කරන වැඩසටහනක් වගේ නෙවෙයි. ඊට වඩා වෙනස් අත්දැකීමක්. පළමු දවසේ ජාතික රූපවාහිනියේ සමිත ඒක ඉදිරිපත් කළා. මම ඒක බලාගෙන හිටියා. ඊට පස්සේ මම මගේ ශෛලියට අනුව වැඩසටහන ඉදිරිපත් කළා. මගේ පළමු සැරිසර වැඩසටහන කෙරුණේ නකල්ස් ප්‍රදේශය ආශ්‍රිතව. දින 5 ක් ඒ වෙනුවෙන් කැප කළා.

රූපවාහිනී නාලිකාවක පරිසරය වැනි විශාල පරාසයක විහිදුන වැඩසටහනක් ජනතාව අතරට ගෙන යන්න ඔබ ගන්නා වෑයම?

සැරිසර වැඩසටහන ඔස්සේ ලංකාවේ සෑම සංචාරක ඉසව්වක්ම ආවරණය කරනවා. එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය තිබුණ කාලේ මුලතිව් දිස්ත්‍රික්කය හැර අනෙක් හැම ප්‍රදේශයක්ම අපි ආවරණය කළා. ලංකාව දූපතක් වුණාට මෙහි තියෙන්නේ එකිනෙකට වෙනස් දේශගුණික තත්ත්වයන්. එක තැනක් තව තැනකට වඩා වෙනස්. මේ හැම දෙයක්ම සාර්ථකව සිදු කරන්න පුළුවන් වුණේ කණ්ඩායම් හැඟීම නිසා. හැම දෙයක් ගැනම තොරතුරු හොයා ගන්න ඕනෑ.

එහිදී දැනුමත් ගොඩක් වැදගත් වෙනවා සමහර දිය ඇලි තියනවා. ඒවාට නමක්වත් නැහැ. සමහර ඒවා මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ සිතියමේවත් ලකුණු කරල නැහැ. සමෝච්ච රේඛා අනුව ගොස් සමහර දිය ඇලි අපි හොයා ගත්තා. ඒ සඳහා මා ලද භූගෝලීය දැනුම ගොඩක් දායක වුණා. ඒ වගේම මෙවැනි ස්ථානවලට ළඟා වන්නත් අමාරුයි. ඒත් සැරිසර අපි ඒ තැන් සොයා ගෙන ගොස් ජනතාවට ඒවා පෙන්වන්නට හැකි වීම පිළිබඳ සතුටු වෙනවා.

සැරිසරෙහි ඉදිරියේ සැකසෙන්නේ මොන විදියට ද?

සැරිසර මේ වන විට වසර 4 ක් පුරා විකාශනය වෙලා තියෙනවා. එහිදී ලංකාවේ බොහෝ සුන්දර තැන් ආවරණය කරන්න අප කණ්ඩායමට පුළුවන් වුණා. දැන් එහි දෙවැනි කොටස විදියට බීච් ට්‍රැවල් ආරම්භ කරල තියෙනවා. මේ කොටසෙන් ආවරණය කෙරෙන්නේ ලංකාව වටා තියෙන සුන්දර වෙරළ තීරයයි. මේ වන විට කිරින්දෙන් ආරම්භ කරල ගාල්ල දක්වා පැමිණ තියෙනවා. එහි කොටස් 7 ක් පමණ දැනට විකාශනය වෙලා තියෙනවා. ඒක හරිම සුන්දර අත්දැකීමක්. මම එහිදී පාපැදියකින් තමයි රට වටේ යන්නේ. එතකොට ඒ අවට තියෙන හැම දෙයක්ම දැක බලා ගන්න පුළුවන්. බොහෝ දෙනකුගේ නෙතට හසු නොවුණ ගොඩක් දේ මෙහිදී දැක බලා ගන්න අවස්ථාව ලැබේවි. බීච් ට්‍රැවල් කිරින්දෙන් ආරම්භ කරලා ලංකාව වටා ගොස් යළි කිරින්දෙන්ම අවසන් කරන්න තමයි කටයුතු සූදානම් කරලා තියෙන්නේ.

මේ වැඩසටහන අතරතුරේදී සිදු වූ විශේෂ සිදුවීම්?

එකක් තමයි කිමිදෙන්න පුරුදු වෙන්න වුණ එක. මගේ කිමිදුම් ගුරුවරයා තමයි මේනක ගුණවර්ධන. ඔහු දක්ෂ කිමිදුම් උපදේශකවරයෙක්. ඔහු මාව හොඳට පුහුණු කළා. නමුත් කිමිදෙන වැඩසටහන කරන්න තරමක් අපහසු වුණා. කැමරාවට මුහුණ දෙන්න අපහසු ගතියකුත් එක්ක සමහර අවස්ථාවලදී ගොඩබිමදී කතා කරගත් විදියටම රූගත කරන්න ටිකක් අමාරු වුණා.

සැරිසර මඟින් ඔබ ජනතාවට දෙන පණිවිඩය සමඟ ඔවුන් පරිසරයට දක්වන ප්‍රතිචාර කොහොමද?

ගොඩක් ලස්සන තැන් විනාශ වෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා. උදාහරණයක් විදියට අපි දැක්ක නකල්ස් පිටවල පතනේ ආවේණික සත්ව විශේෂ. නමුත් මේ ආශ්‍රිත වතුර වළවල්වල පවා බිඳුණ වීදුරු බෝතල් බහුලව දක්නට තිබුණා. ඒක ඒ පරිසරයට තර්ජනයක්. හුම්මානය, කිතුල්ගල වගේ තැන්වලට වුණත් ගියාම මේ තත්ත්වය පේනවා. සංචාරක පැමිණීම නිසා ව්‍යාපාරික ස්ථාන ආරම්භ කළත් ඒවා නිසි ප්‍රමිතියට තියෙන්න ඕනෑ. හික්කඩුව, උණවටුන වගේ ප්‍රසිද්ධ වෙරළ තීරයන්ට ගියත් අද වන විට වෙරළක් දකින්නට නැහැ. රැල්ල ඇවිත් වැදෙන්නේ ගොඩනැගිල්ලක බිත්තියේ. මෙවැනි දේවල්වලදී අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලනය වගේම වගකිවයුත්තන් මේ ගැන අවධානය යොමු කරන්න ඕනෑ කියලා මම හිතනවා.

සැරිසර වැඩසටහන කාලය සමඟ තරග කරන්නේ කොහොමද?

ඇත්තටම ගොඩක් වෙලාවට මේ සඳහා ලැබෙන කාලය මදි. අපට තියෙන්නේ පැය භාගයක් පමණයි. එතැනදි සමහර වෙලාවට අපට සියලු කරුණු ගෙන එන්න අමාරු වෙනවා. ඒ සීමාවේ ඉඳල තමයි අපට කටයුතු කරන්න වෙන්නේ. එවිට මූලික තොරතුරු විතරයි ලබා දෙන්න වෙන්නේ. කෙසේ වෙතත් පෙර වැඩසටහන්වලටත් වඩා බීච් ට්‍රැවල් වැඩසටහන සඳහා වැඩි ආකර්ශනයක් තියෙනවා. මම වාර්තා වැඩසටහන් කීපයක් නිර්මාණය කළා.

කල්පිටිය අර්ධද්වීපය ගැන වැඩසටහනක් විදෙස් ආයතනයක් වෙනුවෙන් නිර්මාණය කළා. මාදු ගඟ සහ දකුණේ මුහුදුබඩ ප්‍රදේශ පිළිබඳ තවත් වැඩසටහන් දෙකක් කළා. මේ සියල්ල සඳහා වැඩසටහන් ඉදිරිපත් කරන්නකුට වඩා වැඩි යමක් මට කරන්න සිදු වුණා. ඒ වගේම වෙනත් නිවේදන කටයුතු වැනි අවස්ථා සඳහා සහභාගි වෙනවා.

මේ සියලු කටයුතු සඳහා රැකියා ආයතනයෙන් වගේම ඔබගේ පවුලෙන් ලැබෙන සහාය පිළිබඳ කිව්වොත්?

රැකියා ස්ථානයෙන් මට අවශ්‍ය කාල වේලාවන් වෙන්කර ගැනීමේදී ලොකු සහයෝගයක් ලබා දෙනවා. මෙහිදී මම රැකියාවට බාධාවක් නොවෙන්න වගකීමෙන් කටයුතු කරනවා. මගේ පවුලෙන් මට ලැබෙන්නේ විශාල සහයෝගයක්. බිරිඳ රශ්මි. මට පුතෙක් සහ දියණියක් ඉන්නවා. මෙම කටයුතු සඳහා මට බිරිඳගෙන් සියයට දෙසීයක සහයෝගයක් ලැබෙනවා. එහෙම නැත්නම් මට සැරිසර වගේ වැඩසටහන් සාර්ථකව කරන්න ලැබෙන්නේ නැහැ.

කුඩා කාලයේදී දැකපු හීනයක් ද මේ සැබෑ වෙලා තියෙන්නේ?

පාසල් කාලයේදී නම් නිවේදන කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ. නමුත් සංගීතය හැදෑරුව නිසා සංගීත තරග කලා උළෙලවල් සඳහා සහභාගි වුණා. නමුත් කවදා හරි දුෂ්කර පළාතකට ගිහින් ජනතාවට සේවයක් කරන්න වගේම විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයෙක් වෙන්න ලොකු ආසාවක් තිබුණා. ඒ අනුව මම කොළඹ විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා ආචාර්යවරයෙක් විදියට කටයුතු කළා. දුෂ්කර පළාත්වලට යන්න තිබුණ ආසාව සැරිසර තුළින් ඉටු වෙලා තියෙනවා.