වර්ෂ 2012 ක්වූ ජුනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




නිනෝ විරහ වේදනාවෙන්

නිනෝ විරහ වේදනාවෙන්

රුවන් මාලිගා හි විශාක සැම විටම ප්‍රේමයෙන් පැරදෙන්නෙක්. විරහා වේදනාව සිතින් දරාගෙන සිටින්නෙක්. රුවන් මාලිගා හි විශාකට පණ පෙව්වේ නව පරපුරේ රංගන ශිල්පී නිනෝ අරලිය ජයකොඩි.

නිනෝ, තිරයේදී මෙන්ම සැබෑ ලොවේදිත් පෙම්වතෙක් වෙලා සිටියා. නව යෞවන වියෙහි පසුවන නිනෝගේ ප්‍රථම ආදර අන්දරයට වසර ගණනක් ගත වුණා.

මේ ළඟකදී දවසක නිනෝ කීවේ ‘මගේ ආදරේ එයාට එපා වෙලා අපි වෙන් වුණා’ කියලා. නමුත් නිනෝ ආදරයේ වියෝග, විරහව දරා ගත්තේ, තමන් යන මේ රංගන චාරිකාවේ ඉදිරියටම යාමටයි. ‘මට ඇත්ත ඇති සැටියෙන් පෙනුණා. ආදරේ අන්ධයි කියන්නේ ඇත්ත. දැන් මම පරාජිත පෙම්වතෙක් වුණාට, මගේ ජීවන අරමුණු ජය ගන්න මේ පරාජය හැරවුම් ලක්ෂයක් කර ගන්නවා’ යැයි පසුගිය දවසක නිනෝ පැවසුවේ දැඩි අධිෂ්ඨානයකින්.

නිනෝ රඟපෑ ‘නිනෝ ලයිව්’ චිත්‍රපටයත් ළඟදීම තිරගත වීමට නියමිතයි.


අරවින්දට අනතුරක්

පසුගිය දවසක පංචිකාවත්ත ප්‍රදේශයේදී රංගන ශිල්පී අරවින්ද ඉරුගල් බණ්ඩාර අනතුරකට මුහුණ පෑවා. මේ අනතුර හේතුවෙන් ඔහුගේ පාදයට ශල්‍ය කර්මයක් පවා කිරීමට සිදු වුණා.

’මම අනූ නවයෙන් බේරුණේ. ඇත්තටම මගේ පෙර පිනකින් ඒ අනතුරෙන් මගේ පාදයට ආබාධයක් වී නැවතුණේ. මම හිතුවේ මීටත් වඩ ලොකු අනතුරක් මට වෙයි කියලා. යන්තම් ඔපරේෂන් එකකින් කකුල යථා තත්ත්වයට ගන්න හැකි වුණා.’ ‘දැන් ටික ටික සුව අතට හැරෙමින් තියෙන්නේ. මේ සිද්ධියෙන් පස්සේ මා ගැන හොයා බලපු හැමෝටම ස්තුතියි’ යනුවෙන් අරවින්ද එක හුස්මට කියාගන ගියා.


රවී සිරිවර්ධනට වාග් ප්‍රහාරයක්

‘විශ්ව විද්‍යාලයකින්  පසුගිය දවසක කාව්‍ය විචාර කතිකාවතක් සංවිධානය කර තිබුණා. මටත් ඊට ආරාධනාවක් ලැබුණා.

මේ කතිකාවත අතරතුර මම මගේ තිබිච්ච විවේචනයක් ඉදිරිපත් කළා. ඒ අපේ ප්‍රවීණ කවීන් දෙදෙනකුගේ නිර්මාණ මේ කතිකාවතින් බැහැර කර තිබීම නිසයි. මගේ අදහසට එතැන සිටිය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් කිපුණා.

ඔහු තවත් ඒ කවීන්ව විවේචනය කරමින් මහා ගාලගෝට්ටියක් ඇති කළා. මං ගුටි නොකා බේරුණේ අනූ නවයෙන්.’ රවී සිරිවර්ධන මෙහෙම කිව්වේ පසුගියදා අජිත් නිශාන්තගේ ‘කුලී කවියකුගේ පාපොච්චාරණය’ සහ ‘සඳ දිය දෝත’ කාව්‍ය සංග්‍රහ එළි දැක්වීමේ උළෙලට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයට එක් රොක් වූ සහෘදයන් අමතමිනි. රවී ‘වසත් කාලය මනරම්’ ආදී ගී රැසක පද රචකයායි.


චාමර සමරවික්‍රම සුබ මංගලම්

චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිෂ්පාදන කළමනාකරුවකු මෙන්ම රේඛීය නිෂ්පාදකවරයකු ද වන චාමර සමරවික්‍රම පසුගියදා යුග දිවියට පිවිසුණේය.

ඔහුගේ අත ගත් සකහකාරිය වූයේ බැංකු නිලධාරිණියක වූ දිනිති හංසිකාය. චාමර රේඛීය නිෂ්පාදනයෙන් දායක වූ නිර්මාණ අතර සිටු මැදුර, සත්කුළු පව්ව සහ සුදු ගින්දර වේ.

මොරටුව රන්දිය හෝටලයේදී පැවති චාමර - හංසිකාගේ විවාහ උත්සවයදා දෙදෙනා මංගල සේයාරුවට පෙනී සිටි අන්දමයි මේ.


ගාමා ගාමිණීට සාම විනිසුරු පදවියක්

සරසවිය පුවත්පත ආරම්භයේ සිටම මේ දක්වා පාඨකයකු ලෙස අත්වැල් බැඳ සිටින හබරාදූවේ ගාමා ගාමිණී සුබසිංහ මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පදවියෙන් පිදුම් ලබා ඇත.

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා සුභසාධක සංගමය, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා බෞද්ධ සංගමය ඉදිරිපත් කරන ලද නිර්දේශයකට අනුව අධිකරණ අමාත්‍යවරයා විසින් මෙම තනතුර පිරිනමා ඇත.


සුභාවිත ගීතයට  සැරිසර රස වින්දන

සුභාවිත ගීතයේ රස විඳීම පුළුල් කිරීමේ අරමුණැතිව නවක ගායන ශිල්පීන්ට ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ සංගීත ශිල්පීන් සමඟ එක්ව ගී ගැයීමේ අවස්ථාව ලබා දීමට සැරිසර සංගීත ශාලිකාවේ – රස වින්දන කණ්ඩායම ආරම්භ කර ඇත.

මේ අනුව සැරිසර සංගීත ශාලිකාවේ රස වින්දන කණ්ඩායම සමඟ ප්‍රවීණ ගායන ශිල්පීන් හා ශිල්පිනියන් රැසකගේ සහභාගිත්වයෙන් පසුගියදා ගීත කීපයක් ගායනා කරන ලදී. මෙම අවස්ථාවට මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි, විවියන් ද සිල්වා බොරලැස්ස, විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්, විශාරද සුනිල් අමරසිංහ ඇතුළු ප්‍රවීණ ශිල්පීහු රැසක් එක් වූහ.

මෙහි ඉදිරි අදියරයන් සඳහා ඔබට ද එක්වීමේ අවස්ථාව ඇති අතර 0776545685 දුරකතන අංකය ඔස්සේ නිරෝෂා අලහකෝන් අමතා වැඩිදුර විස්තර ලබා ගත හැකි වේ.