වර්ෂ 2012 ක්වූ ජුනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




මං පොළොවෙ පය ගහල ඉන්න කෙනෙක්

මං පොළොවෙ පය ගහල ඉන්න කෙනෙක්

- හේමාල් රණසිංහ

තාත්තා අහිමි වුණ වග දැනගත්තේ රූගත කිරීමක් අතරතුර

දැන් ඔබ ඔහුව හොඳින්ම හඳුනයි.

මීට පෙරාතුව වෙළෙඳ දැන්වීම් හරහා ඔබ හඳුනා ගන්නට උත්සාහ දැරූ මේ තරුණයා අද ජනප්‍රිය සිනමාවේ තරුවක්ව දිදුලයි. මේ සේයාරූ දුටු පමණින් ඔහු කවුරුන්දැයි කියන්නට තරම් දැනුමක් දැන් ඔබට තිබේ.

හේමාල් රණසිංහ . . .

මේ දිනවල තිරගත වන සුපර් සික්ස් තුළින් රිදී තිරියට පෑයු කඩවසම් යෞවනය . . .

හේමාල් . . . අපි මුල සිටම මේ කතාබහ අරඹමු.

පුංචි කාලේ ඉඳලම තිරයේ වීරයෙක් වෙන්න හීනයක් නොතිබුණා කිව්වොත් ඒක බොරුවක්. මාතලේ ඉපදිලා සීතලේ හැදුණු වැඩුණු මම පුංචි කාලේ ඉඳලම සිනමාවේ වීරයන්ට ආදරය කළ ඇලුම් කළ චරිතයක්. ඒ වීරයන් දිහා බලාගෙන ඉන්දෙද්දි මම බොහෝ හීන දැක්කා. බොලිවුඩ්, හොලිවුඩ්, කොලිවුඩ් වගේම සිංහල චිත්‍රපටවලත් මට බොහෝ වීරයන් හිටියා. ඒ වීරයන් ගැන මං සොයා බැලුවා. නමුත් කවදාවත් මට රඟපාන්න ලැබේවි කියල හීනයක් එදා තිබුණේ නැහැ.

මෙහෙම කාලයක් ගත වුණා. මම කොළඹට පැමිණීමෙන් අනතුරුව නිරූපණ ක්ෂේත්‍රයේ දොරටුව මට විවර වුණා. හැමදාමත් කරන දේ අධ්‍යනයක් තුළ කරන කෙනෙක් නිසාම නිරූපණ ශිල්පියෙක් විදියට මම උපරිම දේ කිරීමට උත්සාහ ගත්තා.

ඒ අනුව ජනප්‍රිය, නිර්මාණශීලී වෙළෙඳ දැන්වීම් කිහිපයක ප්‍රධාන චරිතය මවන්නට මට හැකියාව ලැබුණා. ඒ අතර දුරකථන සබඳතා පිළිබඳ දැන්වීමක් ඉතාමත් ජනප්‍රිය වුණා. වෙළෙඳ දැන්වීම් රංගනය තුළ මා ඉතා හොඳින් නියැළුණු නිසා වෙන්නට ඇති අද මට මේ තැන ලැබිලා තිබෙන්නේ.

ඇත්තටම සතුටුයි මගේ ජීවිතයේ වීරයන් තුළ මා දුටු දේ අද මට යන්තමට හෝ ලැබිලා තිබෙනවා.

ඊළඟට යොමු වන්නේ පවුලේ තොරතුරුවලට.

මගේ පවුලේ පස් දෙනයි. අම්මා මම අයියලා දෙන්නා සහ මල්ලී. මගේ තාත්තා ජීවිතයෙන් සමු ගත්තේ චිත්‍රපටයේ දර්ශන රූගත කරමින් සිටිය මොහොතක. 2010 සැප්තැම්බර් මාසයේ 23 වැනිදා මට දර්ශන තලයේදී දැනගන්නට ලැබුණා තාත්තා මෙලොවින් සමුගත් බව. ඒ මොහොතේ ජීවිතයේ අසීමිත දුකක් දැනුණා.

සුපර් සික්ස් නරඹද්දී දැනෙනවා ඔබ හොඳ සටන් ප්‍රගුණ කළ නළුවකු බව . . .?

ඔව්. මේ ක්ෂේත්‍රයට එන්නට පෙර මා ඊට අවශ්‍ය වටපිටාව සකසා ගත්තා. පුංචි කාලේ ඉඳලම මා ඇලුම් කළ ආත්මාරක්ෂක සටන් කලාව දිගටම ප්‍රගුණ කළා. විවිධ සටන් ක්‍රම පිළිබඳ මා කුඩා කළ සිටම ප්‍රගුණ කොට තිබෙනවා. ක්‍රියාදාම චිත්‍රපට රඟපෑමට මට ඒ අධ්‍යයනය හොඳ රුකුලක්. මේ අධ්‍යයනය තුළ චිත්‍රපටයට සටන් ජවනිකාවලින් හොඳ සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියලා මට හිතෙනවා.

මේ චාරිකාවේදී ඔබ නර්තන ශිල්පියකු බවටත් පත් වන්නේ අහම්බෙන්?

ඔව්. ඒ වාසනාව මට හොඳ අනාගත අයෝජනයක් වුණා. ස්වර්ණවාහිනී ආයතනයේ බුද්ධික කුලසේකර මහතා මෙම නර්තන වැඩසටහනට මට ආරාධනා කළ මොහොතේ මම එය ඉතාමත් නිහතමානීව භාර ගත්තා. ඒ වෙනුවෙන් මා හොඳින් පුහුණු වුණා. මා ඒ කළ කැපවීම දැන් මට බොහෝ වටිනවා.

හේමාල් රංගනය පිළිබඳ හැදෑරීමක් කරල තියෙනවද?

නැහැ. මම පූර්ණකාලීනව රංගනය ගැන හදාරලා නැහැ. නමුත් මා රංගන ක්‍රමවේද පිළිබඳ ස්වයං අධ්‍යයනයක යෙදිලා තියෙනවා. මම අදටත් හොයනවා කොහේද රඟපාන්න ඉගෙන ගන්න පුළුවන් කියලා. එ වගේම සුහදව කෙනෙක් රංගනය හෝ ජීවිතය ගැන යමක් කියල දුන්නොත් මා එය සතුටින් අසාගෙන හිඳිනවා.

ඔබ බොහොම නිහතමානී චරිතයක් කියලා මට හිතෙනවා.

නිහතමානී බව තමයි ජීවිතයේ හොඳම විශ්ව විද්‍යාලය කියල මට දැනිලා තිබෙනවා. අනෙක මුල අමතක මිනිස්සුන්ට කොහේවත් පැවැත්මක් නැහැ. අතීතය මත තැනුණු අඩිතාලමේ අපි ඉදිරියට යන කොට අතීතය ඉතාමත් ශක්තිමත් වී තිබීම හරිම වැදගත්.

මම පොළොවේ පය ගහලා ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්. මොන දේ ලැබුණත් ඒ දේ ගිලිහෙන්නේ නෑ කියල මට විශ්වාසයි.

ඔබ ආදරය ගැන කතා කරන නිවේදකයෙක් . . .?

ඔව්. හිරු ටී. වී. එකේ මම ප්‍රථම ප්‍රේමයේ අත්දැකීම් පිළිබඳ වැඩසටහන ඉදිරිපත් කරනවා. ආදරේ කියන්නේ අපට, අපේ හදවතට අතිශය සමීප මාතෘකාවක්. අපි හැමෝටම ප්‍රථම ප්‍රේමයේ මිහිරියාව දැනිල තිබෙනවා. මේ මාතෘකාව යටතේ මම හිරු ටී. වී. හි වැඩසටහන ඉදිරිපත් කරනවා. සඳුදා රෑ 9.00 ට ඒ වැඩසටහන තුළ මා පේ‍්‍ර්ක්ෂකයා හමු වෙනවා.

සුපර් සික්ස් හි ඔබේ රංගනයේ ඇතැම් තැන් අසාර්ථකයි කියලා මං කිව්වොත්?

ඔව්. එය මා නිහතමානීව පිළිගන්නවා. චිත්‍රපටය නැරැඹූ මොහොතේ මට තවත් යමක් කරන්න තිබුණා නේද කියලා හැමෝටම දැනෙන දේ මටත් දැනුණා. ඉදිරියේදී මගේ අඩුපාඩුකම් නිවැරැදි කර ගන්නට බොහෝ දෙනකුගේ උපදෙස් ලැබේවි කියලා මං හිතනවා. පැසසුම්වලට වඩා විවේචනවලට මං කැමතියි.

ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

මෙහෙමයි . . . ඉස්සර මං නොකඩවා බලපු ටෙලි නාට්‍ය ස්වල්පයක් තිබුණා. වෙද හාමිනේ, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා වගේ ජනතාව රූපවාහිනිය ඉදිරියේ ඇඳ බැඳ තබා ගත් ටෙලි නාට්‍ය මම නොකඩවා බැලුවා. ඒ ටෙලි නාට්‍ය බලන්න සතිය ගෙවෙන කල් අපි හරිම උනන්දුවෙන් බලන් උන්නා. නමුත් අද තත්ත්වය හාත්පස වෙනස්.

එවැනි කතාබහට ලක්වන, ප්‍රේක්ෂකයා සැබෑවටම ආදරය කරන ටෙලි නාට්‍යයක චරිතයක් ලැබුණොත් රඟපාන්න පසුබට වෙන්නේ නෑ.

ඉදිරිය ගැන කතා කරමු.

ඉදිරියේදී ප්‍රවේගය චිත්‍රපටයේ චරිතයක් රඟපෑවා. එය ඉතාමත් වෙනස් චරිතයක්. ඒ කතාවත් වෙනස්. මා බලාපොරොත්තු වෙනවා ඒ චිත්‍රපටයට උපරිම සාධාරණයක් කරන්නට.

ආයෙත් යන්නේ මාතලේට.

මාතලේ . . . ඒ සුන්දර මතක මට හැමදාමත් අමරණීයයි. මාතලෙන් බිහි වූ කලාකරුවන්ගේ ගොඩට මාවත් එකතු වීම සතුටක්. අදටත් මං ගමේ ඉන්නේ එදා හිටපු හේමල් සචින්ද්‍ර රණසිංහ විදිහටම තමයි.

විද්‍යුත් තැපැල් ලිපිනය කියමු.

[email protected]