වර්ෂ 2012 ක්වූ ජුනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




නොමිලේ ගීත අහන්න කොළඹ කමතේ ඉඩක්

නොමිලේ ගීත අහන්න කොළඹ කමතේ ඉඩක්

අප ගයමු කවදාටත් රස සිංදු සෑම මසකම අවසන් සෙනසුරාදා

‘අපි ගයමු - කවදාටත් රස සිංදු’ ගීතමය වැඩසටහන සෑම මසකම අවසන් සෙනසුරාදා පස්වරු 5.30 සිට රාත්‍රී 7.30 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි කොළඹ කමත එළිමහන් රංග භූමියේදී පැවැත්වේ.

ග්‍රැමෆෝන් යුගයේ සිට නූතනය දක්වා ශ්‍රී ලාංකේය ගායකයන් විසින් සිංහල ගීත ක්ෂේත්‍රයට දායාද කළ විශිෂ්ට ගීත රැසක් එක්ව ගායනා කර රස විඳීමේ අත්දැකීම් ජනතාවට ලබාදීමේ අරමුණැතිව මෙම ගී සරණිය පැවැත්වේ.

මෙම මාසික ගීතමය සංග්‍රහය සඳහා සහභාගී වන රසික රසිකාවියන්ගෙන් කිසිදු මුදලක් අය නොකෙරෙන බව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්ධුල ඒකනායක මහතා ‘සරසවිය’ට පැවැසීය.

මෙම ගීත සරණිය පවුලේ සැමට සංගීතය රස විඳිය හැකි සන්ධ්‍යාවක් වනු නොඅනුමානය.

ජනාධිපති විද්‍යාලයට ආධාර පිණිස ගුරු තරුව 29 දා කෝට්ටේ

ප්‍රවීණ නාට්‍ය හා සිනමා රංගධරයකු වන ජයලත් මනෝරත්නගේ ‘ගුරු තරුව’ වේදිකා නාට්‍ය ලබන 29 වැනිදා පස්වරු 3.30 සහ 6.30 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය රංග ශාලාවේදී වේදිකා ගත කෙරේ.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ එළිමහන් රංග පීඨය, ගෘහස්ථ ක්‍රීඩාගාරය හා පැසිපන්දු ක්‍රීඩා පිටියක අවශ්‍යතාව වෙනුවෙන් අරමුදලක් පිහිටුවීම සඳහා පාසල නඟා සිටුවීමේ කමිටුව විසින් මෙය සංවිධානය කෙරේ.

තෑගි ලැබෙයි දොරට වඩියි

ගුණරත්න ඒකනායක විසින් රචිත 2000 වසරේ සමස්ත ලංකා යොවුන් නවකතා තරගයේ පළමු ස්ථානය දිනූ ‘තෑගි ගොඩයි’ කෘතියේ දෙවන කොටස වන ‘තෑගි ලැබෙයි’ කෘතියේ තෙවැනි මුද්‍රණය ලබන ජූලි මස 03 වැනිදා පෙරවරු 10.00 ට සොයිසාපුර නිපුන් පොත් මැදුරේදී දොරට වඩියි.

පාසල් සිසු සිසුවියන් අතර ඉතා ජනප්‍රිය යොවුන් නවකතා මාලාවක් වන මෙම කෘති පෙළෙහි කොටස් පහක් නිකුත් කර තිබේ.