වර්ෂ 2012 ක්වූ ජුනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




පිළිතුරක් නොවේ පැහැදිලි කිරීමකි
දිනේෂ් ප්‍රියසාද් විසින් පසුගිය පුන් 07 වැනිදා පියන ලද ලිපියට පිලිතුරකි

පිළිතුරක් නොවේ පැහැදිලි කිරීමකි

මෙරට සිනමාවේ ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීමේ පුරෝගාමියා වන දිනේෂ් ප්‍රියසාද් මහතා රොහාන් වැලිවිට මහතා හා මා අතර ඇති වූ සංවාදයට සහභාගි වීම අතිශයින් වැදගත් වන නමුදු ඔහුගේ ප්‍රවිෂ්ටය එක්තරා අන්දමක හාස්‍යයක් ජනිත කිරීම කනගාටුවට කරුණකි. එසේ වන්නේ මැයි 24 වනදා සරසවිය පුවත්පතට මා ලියූ ලිපියට දිනේෂ් ප්‍රියසාද් මහතා පිළිතුරු සපයන්නේ එම ලිපිය කියවා බලා නොවන බව පැහැදිලිව පෙනෙන නිසාය.

24 වනදා ලිපියේ මා සුපිරි ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දුන් තැනැත්තා ලෙස පෙනී සිටීමට තැත් කොට ඇති බවට ඔහු ප්‍රකාශ කරයි. එම ලිපියේ මා සඳහන් කර ඇත්තේ රෙඩ් කැමරාවේ දර්ශන අප 2008 වසරේදී සංස්කරණය කරන ලද බවත්, අද දින ඕනෑම කෙනෙකුට නවීන පරිගණකයක් භාවිතයෙන් එය සිදු කළ හැකි බවත්ය. එසේම මේ දක්වා චිත්‍රපට 25 කට වඩා වැඩි ප්‍රමාණයක් අප විසින් පරාවර්තනය කර ඇති බවද එහි සඳහන් කළෙමි.

මා නිපද වූ ඩිජිටල් රෙකෝඩරය ගැන රොහාන් වැලිවිට මහතා සඳහන් කරනා විට එවැනි යන්ත්‍රයක් නිිර්මාණය කීරීමේ ගෞරවය දිනේෂ් ප්‍රියසාද් මහතාට ද හිමි විය යුතු බවද එම ලිපියෙහි මා සඳහන් කර තිබීම විශේෂයකි. දිනේෂ් ප්‍රියසාද් මහතා පිළිතුරු සපයන, මා විසින් මැයි මස 24 වනදා සරසවියට ලියා ඇති ලිපිය කුමක් ද යන්න පැහැදිලි කිරීම ඒ මහතාගේ වගකීමක් ලෙස සිතමි.

රාහාන් වැලිවිට මහතා සමඟ අපේ සංවාදය ආරම්භ වූයේ අධි තීව්‍රතා තාක්ෂණය සම්බන්ධයෙනි. එසේ නොමැතිව ලාංකීය සිනමාවේ ඩිජිටල් භාවිතය සම්බන්ධව නොවේ. මා දක්වා සිටියේ අධි තාක්ෂණික රූපගත කිරීම හා පසු නිෂ්පාදන කටයුතුª ලංකාවේ සිදු කළ ප්‍රථම චිත්‍රපටය කන්‍යාවි බවත්, එය සිදු කරනු ලැබුවේ අප විසින් බවත්ය.

කර්තෘතුමන් විසින් සංක්ෂිප්ත කරන ලද එම ලිපිය පළ වූයේ මැයි මස 10 වනදාය. ඒ සමඟම අධි තාක්ෂණයට ද එහා යමින් රෙඩ් වන් කැමරාවද 2008 දී හඳුන්වා දුන්නේ අප බව ද එහි සඳහන් කළෙමි. මේ කිසිදු ස්ථානයක ඩිජිටල් සිනමාව ලංකාවට හඳුන්වා දුන් තැනැත්තා ලෙස මා පෙනී සිට නැත. පුදුමය වන්නේ මීට ටික කලකට පෙර සරසවිය පුවත්පතේම ලංකාවට ඩිජිටල් සිනමාව හඳුන්වා දුන්නේ මමයි යන පාඨය යටතේ පළ වූ ලිපියකට දිනේෂ් ප්‍රියසාද් මහතා මෙවන් ප්‍රතිචාරයක් නොදැක්වීමයි.

දැන් දිනේෂ් මහතාගේ ලිපියේ අන්තර්ගතය සම්බන්ධ මගේ අදහස් එක් විය යුතු යයි මම සිතමි.

අද දවසේ ලංකාවේ ඩිජිටල් සිනමාකරණයේ යම් ගැටලුවක් මතුªවූ විට බොහෝ දෙනා මගේ උපදෙස් ලබා ගන්නේ මා ඩිජිටල් තාක්ෂණය පිළිබඳ ප්‍රමාණික උගතකු බව ඔවුන් පිළිගෙන ඇති නිසාය. මා හා විවාදයකට පැටලුණු රොහාන් වැලිවිට මහතා ද සුසීමා චිත්‍රපටයේ සංස්කරණ කටයුතුª සිදු වෙද්දී යම් යම් තාක්ෂණික උපදෙස් ලබා ගත්තේ මගෙන් බව ඔහුගේ සංස්කාරකවරයා ද දනියි.

ලංකාවේ විශ්ව විද්‍යාල / තාක්ෂණික විද්‍යාල දෙකක ඩිජිටල් තාක්ෂණය සම්බන්ධව බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද එක් විශ්ව විද්‍යාලයක් සදහා ඩිජිටල් සිනමා ආම්පන්න මිලදී ගැනීමේ උපදේශකවරයකු ලෙස ද සේවය කර ඇති මා මෑතකදී ටෙලිනිස පුවත්පතින් ඩිජිටල් සිනමාකරණය පිළිබඳ ලිපි පෙළක් සපයන්නේ එම සංගමයේ ආරාධනයෙනි. මා සරසවිය සම්මාන උළෙලේදී සම්මානයක් ලැබූ අවස්ථාවේදී පවා මා සම්බන්ධව ලිපියක් සරසවිය පුවත්පතේ පළ නොවූ බව අද එම පුවත්පතේ ප්‍රධාන කර්තෘ අරුණ ගුණරත්න මහතා හොඳින් දනියි.

1991 කාලය වන විට ලංකාවේ පරිගණක භාවිත කළේ ආතර් සී. ක්ලාක් මහතා හා දයානන්ද පෙරේරා මහතා පමණක් බව දිනේෂ් ප්‍රියසාද් මහතා සඳහන් කරනුයේ කුමන සංඛ්‍යා ලේඛන පදනම් කරගෙනදැයි සඳහන් කළා නම් එය සැමටම වැදගත් වනු ඇතැයි මම සිතමි. එම සිනහ උපදවන ප්‍රකාශය කෙසේ වෙතත්, ලංකාවේ ප්‍රථමවරට ඩිජිටල් පටිගතකරණයක් නිර්මාණය කළේ දිනේෂ් ප්‍රියසාද් / දයානන්ද පෙරේරා යුගලය බව මා නැවත වතාවක් මෙහි සඳහන් කරන්නේ ගෞරවය උදුරා ගැනීමට මා කිසිදු උත්සාහ නොකළ බව ද මතක් කරමිනි.

දයානන්ද පෙරේරා මහතා අති දක්ෂ බේස් ගිටාර් වාදකයකු ලෙස හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවරයකු ලෙස මා පාසල් කාලයේ සිටම හඳුනන බවද, එවකට සංගීත කණ්ඩායමක සාමාජිකයකු ලෙස කටයුතු කළ මා හට නොයෙක් ලෙසින් ගුරුහරුකම් දී ඇති බවද මෙහිලා සඳහන් කරනුයේ ගෞරවයෙනි.

ආදරණීය වස්සානය චිත්‍රපටයේ ශබ්දය ඉතා දුර්වල මට්ටමක පැවති බව දිනේෂ් ප්‍රියසාද් මහතා සඳහන් කරයි. සිනමා තාක්ෂණය පිළිබඳ හසල දැනුමක් ඇති දිනේෂ් ප්‍රියසාද් මහතා, ශබ්දයේ දුර්වලකම් පිළිබඳව මෙහි සඳහන් කරන්නේ, සිනමා තාක්ෂණය නොදත් පාඨකයන්ට එය අපගේ වරදක් ලෙස හැඟවීමට නම් එය සදාචාරාත්මක ක්‍රියාවක් නොවේ. (එම සිනමා පටයේ ශබ්ද පටිගත කිරිම හා මිශ්‍රණය කරන ලද්දේ කොතැනක ද යන්න අද වන තුරු මා නොදන්නා අතර ශබ්දය, පටල පටයට පරාවර්තනය කරන ලද්දේ රජයේ චිත්‍රපට අංශයේදීය).

එහෙත් අපගේ පරාවර්තනයේ ගුණාත්මක බව මැනවින් ප්‍රකාශ වන සිදුවීමක්, සිනමා ඉතිහාසය අතැඹුලක් සේ දන්නා බව පෙනෙන දිනේෂ් ප්‍රියසාද් මහතා අමතක කරයි. එනම් එම වසර සඳහා වූ ජනාධිපති සම්මාන උළෙලේදී, ආදරණීය වස්සානය කැමරා අධ්‍යක්ෂ අශෝක ජයසේකර මහතාට ජූරියේ විශේෂ සම්මානයක් හිමි වීමයි. තමා නිර්මාණය කළ රූප පද්ධතිය මි මී 35 පිටපතේ එලෙසින්ම දැකීමට ලැබීම සම්බන්ධව එතුමා මට විශේෂයෙන් ස්තුති කළ බව ද මෙහිලා සඳහන් කරන්නේ එවැනි ප්‍රතිචාර දැක්වීමට තරම් ලංකාවේ සිනමා කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන් සමාන්‍යයෙන් සංවේදී නොවන බව වසර ගණනාවක අත්දැකීමෙන් මා දන්නා බැවිනි.

දයානන්ද පෙරේරා මහතාගේ පරිගණක විද්‍යා තාක්ෂණ ඥානයත්, දිනේෂ් ප්‍රියසාද් මහතාගේ සිනමා තාක්ෂණ ඥානයත් එක්තැන් කොට මුදල් කන්දරාවක් වැය කොට වසර 7 ක පර්යේෂණවල ප්‍රතිඵල ලෙස නිවැරැදි පරාවර්තන යන්ත්‍රය නිම කළ බව ඔහු පවසයි. එහෙත් ඔවුනට පරිබාහිරව මෙවැනි තවත් යන්ත්‍රයක් නිර්මාණය කිරිමට ද එලෙසම පරිගණක විද්‍යා තාක්ෂණ ඥානයත්, සිනමා තාක්ෂණ ඥනයත් අවුරුදු ගණනක පර්යේෂණත්, මුදල් කන්දරාවකුත් අවශ්‍ය බව ඔහු සිතන්නේ නැත.

අපගේ යන්ත්‍රය සඳහා ද මගේ සිනමා තාක්ෂණය හා පරිගණක ඥනයත්, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවරයකු වූ කෝලිත වික්‍රමාරච්චි මහතාගේ ඉලෙක්ට්‍රොනික විද්‍යා ඥනයත්, නව නිපැයුම් ගණනාවක් කළ ජිෆ්රි හසන් මතාගේ සුවිශේෂී කාර්මික නිපුනත්වයත් එක් විය. මුදල් කන්දරාවක් වැය විය. අවුරුදු ගණනක පර්යේෂණ කිරීමට සිදු විය.

එම ලිපියේ ආතර් සී ක්ලාක් මහතා ගැන සඳහන් කර ඇති නිසා අපගේ සහ ආතර් සී ක්ලාක් මහතා අතර තිබූ සම්බන්ධතාව ද සඳහන් කළ යුතු යයි මම සිතමි.

1999 දී එවකට 11 වන වියේ පසුවන තිලංක පෙරේරා විසින් තමා පරිගණකයෙන් නිර්මාණය කළ අභ්‍යවකාශ යානයක රූපයක් ආතර් සී ක්ලාක් මහතාට පිළිගන්වන අවස්ථාවක්. අද දින දක්වා ඒ මහතාගේ පුස්තකාලයේ එල්ලා ඇත්තේ 2001 ‘අ ස්පේස් ඔඩසි’ හා තවත් එතුමා සම්බන්ධ වූ හොලිවුඩ් චිත්‍රපට ගණනාවක ඡායාරූප අතරය. ආතර් සී ක්ලාක් මහතාගේ කෘතියක් සිනමාවට නැඟීම සඳහා නිම වන ලද විශේෂ ප්‍රයෝග දර්ශන දැකීමෙන් මහත් ප්‍රීතියට පත් ඔහු විසින් ඒ බව පවසා මා හට එවන ලද ඊ මේල් ලිපියක පිටපතක් ද මේ සමඟ ප්‍රධාන කර්තෘතුමාට එවා ඇත.

එහි තවදුරටත් එතුමා සඳහන් කර ඇත්තේ අප සම්බන්ධ ඔහු හොලිවුඩ් හි ඉන්ඩස්ට්‍රියල් ලයිට් ඇන්ඩ් මැජික් (අයි. එල්. එම් නම් ජෝජ් ලූකස් ෂසින් පිහිට වූ විශේෂ ප්‍රයෝග සමාගම) දැනුවත් කළ බවය. ස්ටැන්ලි කුබ්රික් පීටර් හ්‍යාම්ස් වැනි හොලිවුඩ් හි සුපිරි සිනමාකරුවන් හා සම්බන්ධව සිනමාපට නිර්මාණය කළ ඒ මහතා, අපගේ විශේෂ ප්‍රයෝග දර්ශන සම්බන්ධව තෘප්තියට පත් වීම, ඒවායේ තිබූ ගුණාත්මකභාවයට අපූරු නිදසුනක් යයි මම සිතමි.

අප විසින් මවන ලද පරිගණක චරිතය ගොපලු යකා නොවේ. එය උදයාකන්ත වර්ණසූරිය මහතා ගේ ලේ කිරි කඳුළක් චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කළ බිලිඳු කලල රූපයයි. මා එය චරිතයක් ලෙස නොහැඳින් වූයේ භාව ප්‍රකාශයන් සීමිත වූ එය එසේ සලකන්නට මා නොපෙළඹුණු බැවිනි. ඔන්න බබෝ හි කපුටා වෙත වූ මාගේ ආකල්යත් එයම විය. නමුත් මම දිනේෂ් ප්‍රියසාද් මහතාගේ යෝජනාව පිළිගනිමි. ලාංකේය සිනමාවේ ප්‍රථම පරිගණක සජීවී චරිතය, ඔන්න බබෝ හි කපුටා බවත්, ප්‍රථම ඡායාරූපයම සජීවී පුද්ගල චරිතය රන් කෙවිටෙහි ගොපලු යකා බවත් මින් මතුවට සඳහන් කරමි. බහු බූතයෝ හි 3ච් අලියා මා දන්නා තරමට චිත්‍රපටයට අඩංගු කර තිබුණේ නැත.

ගොපලු යකා චරිතය නිර්මාණය අප විසින් බාර ගන්නට යෙදුණේ ලංකාවේ පරිගණක සජීවීකරණයේ ප්‍රවීණයන් ලෙස හඳුන්වා ගත් එක් සමාගමකින් මාස ගණනාවක් තිස්සේ එහි අධ්‍යක්ෂවරයාට අවශ්‍ය රූපය තනා ගැනීමට නොහැකි වූ පසුවය. එම චරිතය නිර්මාණය වූවේ තිලංක පෙරේරා, සිද්ධාර්ථ නයනානන්ද හා අනලි ද සිල්වා යන තරුණ තරුණියන්ගේ එකතුවෙනි.

ලාංකේය සිනමාවේ ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ පුරෝගාමී පියවර එක් අවස්ථාවක ලියා දැක්වීම මේ සියලු අනවබෝධයන් මඟ හරවා ගැනීමට ඉවහල් වන අතරම, එය ලාංකේය සිනමා ඉතිහාසයේ නිවැරැදි පිටුවක්ද වනු ඇතැයි සිතා මගේ දැනීමේ තරමට ඒවා මෙසේ දක්වමි. යම් වරදක් ඇති නම් එය නිවැරැදි කර ගැනීම ඉන් පසු සිදු කළ යුතුªවේ.

ඩිජිටල් / මිමී 35 පරාරෝපණය 2001 මහදැනමුත්තයි, ගෝලයෝ රොත්තයි දිනේෂ් පියසාද් / දයානන්ද පෙරේරා

පරිගණක සජීවී චරිතය 2002 කපුටා / ඔන්න බබෝ එම

පරිගණක දෘෂ්ටි 2002 බහුබූතයෝ / ඔන්න බබෝ

ඡයාරූසම පරිගණක පුද්ගල චරිතය 2007 ගොපලු යකා /රන්කෙවිට මහීල් පෙරේරා / තිලංක පෙරේරා

ඩිජිටල් මාධ්‍යයට හරවා සිනමා පට සංස්කරණය රවීන්ද්‍ර ගුරුගේ

අධි තීව්‍රතා එච්. ඩී. හඳුන්වා දීම 2008 කන්‍යාවී / උත්තරා මහීල් පෙරේරා / තිලංක පෙරේරා

ඩිජිටල් වර්ණ සංයෝජනය 2008 කන්‍යාවී – උත්තරා එම

4 කේ කැමරාව රෙඩ් වන් හඳුන්වා දීම 2008 රන්කෙවිට 2 එම

ලිපිය අවසානයේ දිනේෂ් ප්‍රියසාද් මහතා ඩිජිටල් තාක්ෂණයට අදාල නොවන නමුත්, විශේෂ ප්‍රයෝග සම්බන්ධව ඔහුගේ ප්‍රවීණත්වය සඳහන්කරයි.

එහෙත් අපගේ පළමුවන සිනමා ප්‍රවිෂ්ටය වන ලේ කිරි කඳුළක් චිත්‍රපටයෙන් පසු ලංකාවේ නිර්මාණය වූ විශේෂ ප්‍රයෝග දර්ශන අඩංගු සිනමාපට සියල්ලම පාහේ රන්කෙවිට 1 හා 2, ආසයි මං පියාඹන්න, හාට් එෆ් එම්, අලි පැටියෝ ඔයයි මමයි, අපේ යාලු පුංචි භූතයා, අලිමංකඩ, කිව්වද නහී ආදිය (මින් අලි පැටියෝ නිෂ්පාදකවරයකු වන්නේ ඔබගේ ඔන්න බබෝ නිෂ්පාදක ලාලින්ද විජේවික්‍රම මහතාය. රන් කෙවිට අධ්‍යක්ෂවරයා ඔබ සමඟ බහුබුතයෝ නිිර්මාණය කළ උදයකාන්ත වර්ණසූරිය මහතාය). එම දර්ශන නිමවා ගැනීමට අප වෙත පැමිණියේ මන්ද?