වර්ෂ 2012 ක්වූ ජුනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




ඇතුගල් පුරවරයෙන් තිරයට ආ චානක

ඇතුගල් පුරවරයෙන් තිරයට ආ චානක

කලා ලොවේ දිදුලන තරු අතර තරුවක් වීම ඔහුගේ ප්‍රාර්ථනයයි. ඒ පැතුම ඉටු වී කලා ලොවට පිවිසෙන්නට වරම් ලැබීම ඔහු ලබන වාසනාවකි. ඔහුට ඒ වාසනාව ළඟා කර දීමට අවස්ථාවක් ලැබීම සරසවිය ලද සතුටකි.

මෙවැනි වාසනාවක් ළඟා කර ගනිමින් නව පරපුරේ තරු අතරට ඇතුගල්පුරයෙන් පාය එන තරුවකි චානක මධුශංඛ කුමාරතුංග. බර්ට්‍රම් නිහාල්ගේ රුපියල් සත ටෙලි සිත්තමෙන් රංගනයට පිවිසෙන විට ඔහු වයස අවුරුදු හතරක් සපිරුවා පමණි. ඇතුගල මෙන් නොසැළෙන අධිෂ්ඨානයකින් යුතුව රංගනය, නර්තනය මෙන්ම නිවේදන කටයුතුවල ද දස්කම් දක්වන චානක, මේ වන විට කාව්‍යා, විදර්ශනා, මේ වසන්ත කාලයයි යන ටෙලි වෘතාන්ත සඳහා සිය රංගන දායකත්වය ලබා දී ඇත.

රුවන් වික්‍රමසිංහගේ ‘හිමිකාරි’ ටෙලි නාට්‍ය සඳහා සිය නර්තන දායකත්වය ලබා දී ඇති අතර යොවුන් සිහින, අංජලී ටෙලි සිත්තම්වලින්ද ඉදිරියේදී ඔහුගේ රංගන හැකියාවන් ඔබට පෙනෙනු ඇත. ලබන 9 වැනිදා සිට ස්වර්ණවාහිනියේ දිග හැරෙන සිවගුරුනාදන්ගේ පිණි වැස්සක් නාට්‍යයේ ද ඔහුගේ නර්තන දස්කම් දක්නට ලැබේ. එසේම රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා නිර්දේශිත නාට්‍ය දෙකක් වෙනුවෙන් ද චානක සිය දායකත්වය ලබා දී තිබේ.

ඉදිරියේදී සිය සාමාන්‍ය ජීවිතයේ නමින් ද ස්වාමීන් වහන්සේ නමකගේ චරිතයක් හා මරණයට පත්ව දේහය තැන්පත් කර ඇති අවස්ථාවක් රංගනයේ යෙදීමටද ඔහු විශේෂ කැමැත්තක් දක්වන්නේය.

රංගනයට අමතරව නර්තන අංශයේ දක්ෂතා පෙන්වමින් චානක මේ වන විට රූපවාහිනී නාලිකාවන්හි නර්තන වැඩසටහන් සඳහා සහභාගි වී තිබේ. ඉදිරියේදී දුෂ්්‍යන්ත් වීරමන් විසින් පවත්වන්න යෙදෙන දැවැන්ත නර්තන ප්‍රසංගයක් සඳහා චානක ද සිය නර්තන දස්කම් ඉදිරිපත් කිරීමට නියමිතය.

තමාට කලා ලොවට පිවිසීමට සරසවිය විශාල සවියක් වූ බව පවසන චානක මධුශංඛ මේ දක්වා දුරක් පැමිණීමට අත හිත දුන් ලීල් ආනන්ද ගජනායක ඇතුළු සියලු දෙනාට සිය කෘතගුණ පුද කර සිටියි. සරසවිය තම අනාගත රංගන දිවියේ සාර්ථකත්වයේ මුල් පුරුක ලෙස දකින චානකට තරු අතර බැබළෙන්නට සුබපැතුම්.