වර්ෂ 2012 ක්වූ ජුනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




feedback

ප්‍රතිචාර

ප්‍රතිචාරයන් ක්ෂණිකව 0757413731 යන දුරකතන අංකයට කෙටි පණිවුඩ මඟින් එවිය හැකිය. ඒවා සඳහා මෙම ඉඩකඩෙහි වෙනමම තීරුවක් ඔබ වෙනුවෙන්ම වෙන් කොට තිබේ. සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනය ඔබේ තැපැල්පත් උදෙසා වේ.

සේන සමරසිංහ වැනි නිර්මාණකරුවන් අදටත් අවශ්‍යයි

නිල්ල සොයා, ආශා දෑසින්, ඈතින් ඈතට, මල් කැකුළු වැනි අගනා චිත්‍රපට නිර්මාණය කළ සේන සමරසිංහ සිංහල සිනමාවට නිහඬ සේවයක් කළ කලා ශිල්පියෙකි. ඔහුගේ චිත්‍රපට සෑම එකක් පාහේ ඉතාම ජනප්‍රිය වුණා මට මතකයි. ඒ වගේම එවා හරිම ලස්සනයි. ඔබ වැනි නිර්මාණකරුවන් අවැසි යුගයකි මේ.

මිල්ටන් ප්‍රනාන්දු - මිනේරෝ-

උතුරු මූදුකටුව.

අප අතරින් සදහටම සමුගත් රංගන ශිල්පී, ගායක නවනන්දන විජේසිංහටත්, ජනේෂ් සිල්වාටත් සරසවිය පාඨකයන් උපහාර දක්වා තිබ අයුරු මෙසේය.

නවනන්දන අමරණීයයි

ගායනයත් ඊටත් නොදෙවැනි අයුරින් හාස්‍ය මුසු රංගනයත් උපතින් ගෙනා ඔබගේ වියෝව අපට මහා දුකකි.

කපුගොඩ මාළිඳ සරසවි නිවසේ

සරත් රණසිංහ

නළුවන් අතර ඔබ රංගන ශිල්පියකි.

සපුමල් සේනාරත්න

කළුතර.

නවනන්දන අභිනන්දනය කළ ඔහුගේ හැකියාව ඔහු අපව හැර ගියත් චිරාත් කලක් සෙලෝලයිඩ් පටයේ පවතිනු ඇත.

ජීවන් දයානන්ද - හොරපේ.

පළමු රංගනය ගැහැනු ගැට සළරුව වූවා
නිල්ල සොයා අවසන් රංගනය වූවා
හාස්‍යට උපන් හපන්කමක් පෙන් වූවා
ඔබ අප හැරදා සුව නිවනට ළං වූවා

මොරටුව, කටුබැද්දේ - ඩඩ්ලි ගෝමස්
 

ජනේෂ් සිල්වා

විකට රජු ෆෙ‍්‍රඩී සිල්වාගේ අඩි පාරේ යමින් ප්‍රේක්ෂකයන් සිනා සාගරයක ගිල් වූ ජනේෂ් සිල්වාගේ අභාවය තවමත් සිතාගත නොහැකිය. චිත්‍රපට විසි පහකට අධික ප්‍රමාණයක රඟපෑ ඔබ සිංහල සිනමාවේ අමරණීය චරිතයකි.

මනහර මහින්ද - බෙලිගල

ඇගේ වෛරය සිනමාපටයෙන් රංගනය අරඹා ඔළුව ජපන් කඳ ජර්මන් සිනමාපටයෙන් රංගන ජීවිතය අවසන් කළ සදහටම සමු ගත් ජනේෂ්ගේ වියෝව වාවා ගත නොහැකිය.

දයාරත්න ගනේගොඩ - කැලණිය.

ෆෙ‍්‍රඩී නොමැති අඩුව තරමක් දුරට හෝ පිරිමැසුණේ ජනේෂ්ගේ රංගනය සහ ගායනය නිසාවෙනි. අපේම අවාසනාවකට අද එය ද නැති වී ගොසිනි.

ගිල්බට් පෙරේරා - කමලා සෙනෙවිරත්න
හීකන්දර දකුණ.

පිය ආභාෂයෙන් කලා ලොවට අවතීර්ණ වූ කලා දරුවන් විශාල පිරිසකි. ඒ අතරින් ලාංකේය කලා ලොවෙන් සමු ගත් ජනේෂ් සිල්වා සිය ආදරණීය පියාණන් වූ ෆෙ‍්‍රඩී සිල්වාගේ අඩි පාරේ යමින් විකට රංගනයෙන් මෙන්ම ගායන ශෛලියකින් අප පින වූ කලාකරුවෙකි. ඔහු සෑම විටම රංගනයෙන් මෙන්ම ගායනයෙන් ද අප පින වීය. මාරාන්තික පිළිකා රෝගයට ඔහු ද ගොදුරු විය. ජනේෂ් අපට වටින්නේ ඔහුද කලාකරුවකු නිසාවෙනි. ඔහුව අපට තවත් භවයක හමු වනු ඇත. එතෙක් බලා හිඳිනවා හැරන්නට වෙන කුමක් කරම්ද?

මීගමුව කට්ටුවේ - අජිත් ලක්මාල්

ඒ සෙනෙහස යළි කවදා ද අපට ලැබෙන්නේ

ඇන්ටන් ජූඩ් කලාකරුවා වියෝ වී තෙමසක් පිරීම සිහිපත් කරමින් ඔහුගේ ඥාති වන දරුවන් තිදෙනකු ලියා එවූ පැදි පෙළකි මේ.

ලක්ෂාන්, ලක්ෂිකා, මලීෂා කොහොමද කියා අසන්නේ
පියකු වගේ සැම දෙයකටම විය පැහැදම් කරන්නේ
නිතර නිතර සැම තැන අප එක්කන් යන්නේ
ඒ සෙනෙහස යළි කවදා අපට ලැබෙන්නේ

සැමට අත වනා සැම සිත් පුබුදාලූවේ
තමා වෙහෙස වී අන් අය සනසාලූවේ
උඩඟු නොවී කා සමඟත් දොඩමලු වූවේ
නැත අප හට කිසි දිනෙක නුඹ අමතක වූවේ

අහිංසක කමයි සිත හොඳකමයි ඔහු ළඟ තිබුණේ
අප හට කිසිදා අඩුවක් නැත ඔබගේ සෙනේ
කිසිදා කිසිවකුට ඊර්ෂ්‍යා කළේ නැහැනේ
ඔබේ තැන ගන්නට කිසිවකුටත් බැහැනේ

ඔබට කවදත්ආදරේ කරන

ලක්ෂාන්, ලක්ෂිකා, මලීෂා

ජූඩ්ව සිහිපත් කොට දංකොටුවේ සුනන්ද කුමාරත් තැපැල් පතක් අප වෙත එවා තිබුණා.

ආදරණීය ගුරු පියාණනි

නාට්‍ය ක්ෂේත්‍රයේ
පළමු ආචාර්ය උපාධිධරයාණෙනි
වේදිකාවේ හඬ හතර
නාසය උගුර පපුව බඩ
ඈත මෑත හැඟීම් ගැඹුර
සරිගම පධනි සප්ත ස්වර සැසඳුම
මලක පිපෙන පරවෙන සොභාව අනුව
නළුවා ගත සිත
සැකසිය යුතු බව
විදු නැන ඇසින්
කියා දුන් ගුරු පියාණෙනි

දයානන්ද ගුණවර්ධන ශූරීන්ගේ
නරිබෑනා පළමුතරිය
ලෙසින් අබිෂේක ලද
ඔබේ දැවැන්ත මතකය

කුමටද සොබනියේ කඳුළු සලන්නේ
ගිරිහෙල් අරඹේ නිවසට ගෙනයමි
සඳ පායන කළ

අප අවදි කළ ඒ ගැඹුරු හඬ
විශ්ව දැනුම
සැබෑ ගුරුවරයකුගේ ගුණ සුවඳ
විශ්වයෙන් කිසිදා
මකා දැමිය නොහැකි බව

පසක් කළා අද
ආචාර්ය සාලමන් ෆොන්සේකා
ගුරු පියාණන්ට
ඔබේ දැවැන්ත මතක සෙවනැල්ල
අපව අද ද වසා සිටී
 

ඊ. ඩී. ශ්‍රියාපාල

සිත් සෙත රංග සංගමය

සරසවිය පාඨක ඩී. බී. කුලතුංගට උදව් කරමු

දීර්ග කාලයක් සරසවිය හා සබැඳී අප හිතාදර පාඨක ඩී. බී. කුලතුංග අංශභාග රෝගයට ගොදුරුව මේ වන විට ප්‍රතිකාර ලබමින් පසු වෙයි. ඒ සඳහා ඔහුට මාසිකව විශාල මුදලක් වැය වන බව ඔහු දන්වා සිටියි. විශ්‍රාම වැටුපක් හෝ නොලබන කුලතුංග මහතාට එය දරා ගැනීමට අපහසු බවත් ඒ වෙනුවෙන් අනුග්‍රහයක් ඇත්නම් බෙහෙවින් කෘතඥ වන බවත් වැඩිදුරටත් පවසා සිටියි.

0779122589 මේ ඔහුගේ දුරකතන අංකයයි.


මේ කෙටි පණිවිඩ ප්‍රතිචාර තීරයයි.
 

නිළි රැජනට ඇරයුමක්

නිළි රැජන මාලිනිය නැවත චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න.

අනුර ජයමාන්න

කඩවත.

මෙගා මෙහෙම හොඳයි

මෙගා ටෙලි නාට්‍ය කොටස් සීයත් එකසිය පණහත් අතර පෙන්වනවා නම් හොඳයි.

පාතිමා - වැලිගම.

සේපාලිකා ලස්සනයි

කුමාරසිරි පතිරණගේ පිවිතුරු හද ළඟ නවකතාව ඇසුරෙන් නිර්මාණය වූ ‘සේපාලිකා’ ටෙලි නාට්‍යය ලස්සනයි.

වෙනුර -පිටකොටුව.

‘හිරු’ හොඳයි

හිරු එෆ්. එම්. නාලිකාව මෙම ජූලි මස පළමුවැනිදාට දහහතර වැනි සංවත්සරය සමරයි. අනෙකුත් නාලිකා අතර එය කැපී පෙනෙන නාලිකාවක් බව මට සිතෙන්නේ එහි ප්‍රචාරය වන වැඩසටහන් නිසාය. හිරු නාලිකාවේ නිවේදක නිවේදිකාවන් වන අරවින්ද, සුදේව, ප්‍රසාද් ලක්මාල්, කෙවින්, බුද්ධික, නිදර්ශි, රංග, මහේෂ්, ධනුෂ්ක, සමීර, තේජා, නිසලි, දිස්නා, වින්දන, මෝක්ෂ, සාගර, වෙනුක්ෂි, රනුක ඇතුළු පිරිවර සවනට ප්‍රිය වදන් පැවසීම නාලිකාවේ ජනප්‍රියත්වයට හේතුවයි.

ලක්මාලි - වරකාපොළ.

බයිලා කුමාරයා අගයමු

බයිලාවේ කුමරු පෝල් ප්‍රනාන්දුව අගයන්නේ නැත්තේ ඇයි?

සමන් විතාන- දිවුලපිටිය.
 

උදයකාන්තට යෝජනාවක්

අපේ කාලයේ සොඳුරු සිනමාකරු උදයකාන්ත වර්ණසූරියට, පුංචි තිරයේ සිහින කුමරා මේනක රාජපක්ෂ සහ රිදී තිරයේ රුවැත්තිය පූජා උමාශංකර්ව යොදා ගෙන සිනමාපටයක් නිර්මාණය කරන්න.

බුද්ධික ඒකනායක

උඳුගොඩ -කෑගල්ල.

ක්ලීටස්ට සදා ජය!

ක්ලීටස් මෙන්ඩිස් දුෂ්ට නළුවකු වුවත් මානුෂීය ගුණාංග අතින් හොඳ අයකු බව මම අසා ඇත. ඔහුගේ කලා දිවියට සදා ජය!

මහේෂ් - හම්බන්තොට