වර්ෂ 2012 ක්වූ ජුනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ බළල් මවිල් නොවේ එඩ්වඩ්ගේ කොණ්ඩේ

ඒ බළල් මවිල් නොවේ එඩ්වඩ්ගේ කොණ්ඩේ

එඩ්වඩ් චන්ද්‍රසිරි සමඟ සිනා සයුරේ ගිලෙමු

‘මාර පොරක්නෙ’ මමත් එක්ක මෙච්චර වෙලා කතාබහ කරමින් උන් පුද්ගලයා යනකං ඉඳල මගේ මිත්‍රයා හිනා වෙන්නට පටන් ගත්තා. දන්නවනෙ කවුද කියල . . . මං ආයේ ඇහුවේ සැකයෙන්. ඔව් . . ඔව් එඩ්වඩ් චන්ද්‍රසිරිනෙ . . . මිත්‍රයා කිව්වේ හිනාව නවත්තගන්න බැරිව. මාර කතා ටිකක්නෙ කිව්වෙ . . . මිත්‍රයා ආයෙත් මතක් කරමින් හිනා වෙනවා.

තව මාර කතා තියෙනවා . . . නාට්‍යවල වෙච්ච මාර දේවල් . මං කතා අහුරෙන් එකක් දෙකක් මතක් කළා.

‘එඩ්වඩ් අයියට ඉඳල තියෙනවා කොළඹගේ කියල යාළුවෙක්. කොළඹගේත් වේදිකා නාට්‍ය නළුවෙක්. දෙන්න එකටම තමයි කොයි වෙලේත් නාට්‍යවලට ගිහිං තියෙන්නේ. කොළඹගේලගේ ගෙදර සුදුම සුදු පූසෙක් ඉඳල තියෙනවා. මේ පූස ගෙදර ඉන්නවට කොළඹගේ කැමැති නැත්තේ බළල් මවිල් ගේ පුරාම යන නිසා. ඒ නිසාම කොළඹගේ තමාගේ පුතාට නිතරම කියනවලු මේ පූසා ගෙට ගන්න එපා කියලා.

ඔහොම දවසක් කොළඹගේ එඩ්වඩ් එක්ක නාට්‍යයක වැඩට ගිහිල්ලා ඇවිල්ලා හෙල්මට් දෙකම තිබ්බලු සාලේ. උදේ බලන කොට එක හෙල්මට් එකක් බළල් මවිල් පිරිල තිබුණලු.

‘මේ දරුවො මං කියල තියෙනවනෙ ඔය ජරා පූසා ගෙට ගන්න එපා කියලා’

හෙල්මට් එක දැකපු කොළඹගේට ඌරු ජුවල් වුණාලු.

‘අනේ තාත්තේ කිටිය හිටියෙ එළියෙනෙ’

දරුවා බොහොම බැගෑපත්ව උත්තර දුන්නලු.

‘එළියෙ . . එළියෙ . . එළියෙ හිටිය නං කොහෙන්ද මේ හෙල්මට එකේ බළල් මයිල්.

කොළඹගේට තවත් කේන්ති ගියා. මෙහෙම ටික වෙලාවක් ගියහම දරුවා ආයෙත් තාත්තා ළඟට කිට්ටු වුණාලු.

‘තාත්ත මට බැන්නෙ බොරුවටනෙ . . . තාත්තට මතත නැතිවුණාද ඊයේ මේ හෙල්මට් එක දාගෙන ආවේ එඩ්වඩ් අංකල් කියලා .. .’

දරුවා හිනා වෙමින් කිව්වම කොළඹගේ ගේ කන් දෙකෙන් දුන් විසි වුණාලු.

මගේ යාළුවට කතාව තේරුම් ගියේ නෑ වගේ කතාව ඉවර වෙනකල් ඔහු බලාගෙන උන්නා.

ඉතිං . . .

ඉතිං කියන්නෙ, බලන්නකො එඩ්වඩ් අයියගෙ කොණ්ඩෙ දිහා . . .

අන්න එතකොට තමයි මගේ මිත්‍රයාගේ දත් තිස් දෙකම පේන්න හිනා ගියේ.

එඩවඩ් චන්ද්‍රසිිරිගේ කොණ්ඩෙ සුදුම සුදු පාටයි. කොළඹගේ බළල් මවිල් කියල රැවටිලා තියෙන්නේ හෙල්මට් එකේ ඇමිනුණු මේ කොණ්ඩ කෑලිවලට.

එඩ්වඩ් අයියගෙ ජීවිතේ මේ වගේ රස කතා ගොඩක් තියෙනවා.

මේ ළඟදි දවසක් එඩ්වඩ් අයිය නාට්‍යයක වැඩ කටයුත්තකට දෙල්කඳ ගිහිල්ලා. එමින් ගමන් ඇවිත් තියෙන්නේ ත්‍රීවිල් එකක. නුගේගොඩට කිට්ටු පෙට්‍රල් ෂෙඩ් එකක ත්‍රීවිල් එක නතර කළාලු තෙල් ගහන්න. මේ අතරේ එඩ්වඩ් අයියා ෂෙඩ් එකේ වැසිකිලියට ගිහිං දොර වහං. කළුවර වැසිකිළියේ කිසිම දෙයක් පෙනුණෙ නෑලු. තමන්ගේ කටයුත්ත නිමා වෙලා එළියට එන්න දොර අරිනවලු. ඒත් ඇරුණෙම නෑලු.

මෙහෙම විනාඩි හතළිහක් විතර වැසිකිළිය ඇතුළෙ ගත වෙලා අන්තිමට වැසිකිලියේ එහා පැත්තේ තිබුණු කවුළුවකින් එඩ්වඩ් අයියා කෑගහලා. ඒ කෑගැහිල්ලට සෙනඟ පිරුණත් ෂෙඩ් එකේ මුරකාරයා දොර කඩනවට තදින්ම විරුද්ධ වුණා.

ඊට පස්සේ ඉහළ නිලධාරියෙක්ගෙන් අවසර අරන් දොර කඩල එඩ්වඩ් එළියට අරන් තියෙන්නේ පැය දෙකකට පස්සේ. පැය දෙකක් ගඳ ගහන කළුවර වැසිකිළියට වෙලා ඉඳලා ජීවිතේ එපා වුණා කියල මනුස්සයා මට කිව්වා.

දැන් මගේ මිත්‍රයා එඩ්වඩ් චන්ද්‍රසිරි ගැන හාරා අවුස්සයි.

එඩ්වඩ් කියන්නේ ක්ෂේත්‍ර කිහිපයකම පරිණත මනුස්සයෙක්. ප්‍රධාන වේදිකා නාට්‍ය හතළිහක විතර නිෂ්පාදන කළමනාකරණය කරලා තියෙනවා. ඒ වගේම අහසින් වැටුණු මිනිස්සු අධ්‍යක්ෂණය කළා. නාට්‍ය ගැන බාහිර කථිකාචාර්ය වරයෙක්. ලිපිකරුවකු විදියට රජයේ දෙපාර්තමේන්තු කිහිපයකම සේවය කරලත් තියෙනවා.

දැන් මගෙත් මිත්‍රයාගෙත් දවසේ මාතෘකාව එඩ්වඩ් චන්ද්‍රසිරිය. ඔහු පුවත්පත්වලට ලියූ සිනා උපදවන රස කතා කියවා තිබූ මගේ මිතුරා ඒ කතාන්දර ගැන නැවත මට කියයි.

එහි රසවත් බව තවමත් මිත්‍රයාට මතක ඇති සැටියකි.

අද මොනවටද හම්බු වුණේ . . .ඔහුට තවත් පැනයක්.

එඩ්ව්ඩ් අයියගේ පොත එනවනේ ලබන සතියේ . . .

ඒ ගැන කියලා යන්න ඇවිත් තියෙන්නේ. හරිම නිහතමානි මනුස්සයනේ.

මොකක්ද පොත . . .

සිනා සයුර . . . සරසවි ප්‍රකාශනයක්.

ආ . . . එහෙනං කතා ටික ඔක්කොම එක හුස්මට කියැව්වහැකි.

ඔව්. . .

කවදද දිනේ. . .

ජූනි 28 . . . සවස 3.30 ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ . . .

මම අඩුවක් නොතබා කීවෙමි . එදාට මුලසුන සිළුමිණ සම කර්තෘ, රසඳුන සංස්කාරක සුනිල් මිහිඳුකුල, තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්තයගේ රසවත් දේශනයක් අහන්නත් පුළුවන් එදාට.

මම මිතුරාට කීවෙමි.

මමත් එදාට එන්නං . . . මිතුරා සමුගෙන ගියේ දින කිහිපයකට පෙරාතුවය.

ඔහු පැමිණෙන්නේ නම් අද මා ඇමතිය යුතුය . . .

දිනය අදය . . .

සිනාසෙන දිනය අදය . . .