වර්ෂ 2012 ක්වූ ජුනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




වෙන මොනවද?

වෙන මොනවද?

අනුෂ්කා ෂර්මා රිදී තිරයේ ඉහළට යන්නේ රොකට්ටුවක් බවට පත් වූ තාරකාවක් වාගෙයි. ජීවිතයේ හතළිහේ දශකයේ පසුවන පූර්ණවන්තයා වූ අමීර් ඛාන්ගේ මෙන්ම යුගයේ තාරුණ්‍යය නියෝජනය කරන රන්බීර් කපූර්ගේ ද පෙම්වතා ලෙස ඇයට ඇත්තේ හොඳ ඉල්ලුමකි.

‘පීකේ’ අනුෂ්කා ෂර්මාට රඟන්නට ලැබුණු නවතම සිනමාපටයයි. ‘පීකේ’ තාරකාව අනුෂ්කාම විය යුතු බව තීරණය කළේ අධ්‍යක්ෂ රාජ් කුමාර් සහ අමීර් ඛාන්ය. ‘අපට වෙන විකල්පයක් නැහැ’ ඒ ඔවුනගේ ඒකමතික අදහසයි.

අනුෂ්කා, ෂාරුක් සමඟ රඟපෑ ‘රබ් නෙ බනා දි ජෝඩි’ අතිශයින්ම සාර්ථක වූ ආදායම් වාර්තා පිහිට වූ සිනමාපටයකි. ඇය රැඟූ ‘බාන්ද් බාජා බාරත්’ ද වාර්තා පිට වාර්තා පිහිටු වුවකි.

නානා හොඳ හිත වෙලා

නානා පතේකාර් මේ දිනවල ප්‍රියදර්ශන් අධ්‍යක්ෂණය කරන, ‘කමාල් දමාල් මාලාමාල්’ සිනමා පටයේ රඟන්නේය. ඔහු තිරයේ රඟන චරිතයකට අමතරව තිරයෙන් පිට තවත් චරිතයක් රඟන බව දැන් කොයි කාටත් රහසක් නොවෙයි.

ඒ ලොක්කන්ගේත්, පොඩ්ඩන්ගේත් හිත් ගත් ඩොක්ටර් ඩූ ලිට්ල් (දොස්තර හොඳ හිත) චරිතයයි. ‘අනේ! මේ චරිතයත් රූ ගත වූවා නම්’ කියා සිතෙන තරමට මේ දර්ශන ආදරණීයයි. නානා පතේකර් ඩොක්ටර් ඩූ ලිට්ල් වී ඇත්තේ එළු පැංචකුටයි. සිනමාපටය වෙනුවෙන් කුලියට ගත් එළු පැංචා සෑම විටම නානා පසුපස සෙවනැල්ලක් මෙන් පැමිණ තිබේ.

පසුව එළු පැංචාට නානාත්, නානාට එළු පැංචාත් නැතිවම බැරිව ගොස් ඇත. එළුවාට තණ කොළ සපයන්නේත් නානා පතේකාර්මය. වඩාත්ම සුන්දර කාරණය නම් මේ දෙදෙනා එකිනෙකා හා කාටත් නොතේරෙන බසකින් වචන හුවමාරු කර ගැනීමයි.

මේ එළු පැංචා හා නානාගේ අපූරු රැගුම් සැප්තැම්බර් 28 වැනි දින සිනමාපටය තිරගත වූ පසු කාහටත් නැරැඹිය හැකියි.

නේරුතුමාගේ චරිතයට සායිෆ්

බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂිකා ගුරින්දර් චාදාගේ නවතම චිත්‍රපටයේ විශේෂ රංගනයක් සඳහා බොලිවුඩ් නළු සායිෆ් අලි ඛාන් තේරා ගෙන තියෙනවා.

ඉන්දියාවේ 1947 ජනවාරි සිට 1947 අගෝස්තු දක්වා කාලය ආශ්‍රිතව නිර්මාණය කෙරෙන මෙම චිත්‍රපටයේ ජවහර්ලාල් නේරුගේ චරිතය සඳහා තමයි චාදා, සායිෆ්ව තෝරාගෙන තියෙන්නේ.

‘නේරුගේ චරිතය කෙටි රංගනයක්. මම හිතනවා සායිෆ් ඒක භාර ගන්න කැමති වෙයි කියලා’ චාදා ලන්ඩනයේදී ප්‍රකාශ කරලා තිබුණා.

ඉන්දියාවේදී රූගත කිරීමට නියමිත මෙම චිත්‍රපටයේ රාශ්ට්‍රපති භවන් ඇතුළු රූගත කිරීමට අවශ්‍ය ස්ථාන සඳහා අවසර ලබාගෙන ඇති බවත් වාර්තා වෙනවා.

ඉන්දීය සම්බවයක් ඇති සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂිකා ගුරින්දර් චාදා නිර්මාණය කළ චිත්‍රපට අතර බාහ්ජි ඔන් ද බීච් (1993), බෙන්ඩ් ඉට් ලයික් බෙකම් (2002), ඇන්ගස් තෝන්ග්ස් ඇන්ඩ් ප’ෆෙක්ට් ස්නොග්ගින් (2008) මහත් ප්‍රසිද්ධිට පත් වූ චිත්‍රපට කීපයකි.