වර්ෂ 2012 ක්වූ ජුනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




මතක පොතේ – රූප ඇතේ

මතක පොතේ – රූප ඇතේ

අපේ හෙළ සිනමා ලෝකයට අමරණීය මතක සටහන් එක් කළ තරු රැසක් ඉන්නවා. කලා ලොවේ කිරුළු පළන් ඒ තරු හැබෑවට දකින්නට ලැබීමත් ලොකු වාසනාවක්. ඒ වාසනාව හිමි වන්නේ කීයෙන් කී දෙනාටද? ඒ අතරේ ඉන්න සරසවිය සිනමා කාචයත් ගොඩක් වාසනාවන්තයි. සරසවිය සිනමා උළෙලේදී ඒ මතක සටහන් අමරණිය කරන්නට එයට හැකි වුණා. සරසවිය ලද ඒ වාසනාවන්ත වූ අමරණීය මතක සටහන් පෙළක් අදත් ඔබ වෙත දිග හැරේ.

බිනරමලී සතුට පිරී

පළමුවරට රඟපෑව චිත්‍රපටයට සම්මානයක් ගත්තම මොකද හිතෙන්නේ? ඒ විතරක් නෙවෙයි රටම ආදරය කරන චරිතයක් වෙන විටත් ලැබෙන සතුට මොන වගේද? ස්වර්ණා කහවිට බිනරමලී චිත්‍රපටයේ හොඳම නිළිය ලෙස සම්මාන ලැබුව මේ වෙලාවේ එහෙම හිතෙන්න ඇති.

බිනරමලී කියන්නේ ප්‍රසිද්ධ මුවන් පැලැස්ස නාට්‍යය මුල් වතාවේ සිනමාවට නැගුණ මොහොත. එතකොට බිනරමලීට සුබ පතන්න එක් වෙලා ඉන්න ජනප්‍රිය නිළි ජීවරාණි කුරුකුලසූරියත්, බිනරමලීගේ අම්මා ලෙස රඟපෑ ප්‍රතිභාපූර්ණ නිළි ශාන්ති ලේඛාත් සම්මාන දිනුවෙ බිනරමලී වෙනුවෙන්මයි.

මැණික් තුනක් එක ගීයක් ගායන ලෝකයේ අපූරු රූප රාමුවක් තමයි මේ.

ධර්මදාස - ලතා වල්පොල කියන්නේ අපේ සංගීත ලෝකයේ යුග යුග බැඳි ආදරයට පත් වූ ගායක යුවළක්.

මොහිදීන් බෙග්, ලතා සමඟ ගායනා කළ ගීතයනුත් රසිකයන් අතර බොහෝ ප්‍රසිද්ධයි. අවුරුදු හතලිහකට – පණහකට ඉස්සර මොහිදින් බෙග්, ධර්මදාස, ලතා මේ ගයන්නට ඇත්තේ මොන ගීතය ද කියල නම් කියන්න දන්නේ නෑ.

හැබැයි මේ මැද ඉන්න ඩඩ්ලි වානගුරු නිසා, එය ඩඩ්ලි අධ්‍යක්ෂණය කළ සැඟවුණ මැණික චිත්‍රපටයේ විය හැකියි.

ඒ කාලයේ ජනප්‍රිය නළුවකුව සිටි ඩඩ්ලි අද ජනප්‍රිය නිළි මානෙල් වානගුරුගේ පියා.

ඒ වගේම ජනිත් වික්‍රමගේ සහ සංකේත් වික්‍රමගේ නම් මතු පරපුරේ ජනප්‍රිය නළු සොහොයුරන්ගේ සීයා.


‘සිරිලක දළදා මාළිගා’ ජූලි 04 දොරට වඩී

කුසුමසිරි විජයවර්ධනගේ ‘සිරිලක දළදා මාළිගා’ කෘතිය ජූලි මස 04 වැනිදා බදාදා උදේ 10.00 ට මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.


‘දුම්මල වරම’ විශේෂ දැක්ම ජූලි 01 දා

රංජිත් ද අල්විස්ගේ ‘දුම්මල වරම’ නාට්‍යයෙහි දස වැනි වර්ෂ පූර්ණය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ දැක්මක් ජූලි මස 01 වැනිදා මරදාන ටවර් රඟහලේදී වේදිකා ගතවේ.

මෙහි ගාමිණී හෙට්ටිආරච්චි, සනත් විමලසිරි, මනෝහරී විමලතුංග, ගිවන්ත අර්ථසාද්, අනුර ශ්‍රීනාත්, රොෂානා ඔන්ඩච්චි, උපුල් වීරසිංහ, අනුර මාපිටිගම, තාරක අධිකාරී යන ශිල්පීහු රංගනයෙන් දායක වෙති. විශාරද එඩ්වඩ් ජයකොඩිගේ සංගීත නිර්මාණයෙන් හැඩ වන මෙම නාට්‍යයෙහි රංගාලෝකය මෙහෙය වන්නේ උපාලි වීරසිංහයි.


දයානන්ද ගුණවර්ධන ප්‍රණාම උළෙල 30 දා සුදර්ශියේ

ප්‍රවීණ නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධන් සිහි කරමින් කෙරෙන ‘දයානන්ද ගුණවර්ධන ප්‍රණාම උළෙල’ මෙම මස 30 වැනිදා සෙනසුරාදා ප. ව. 4.00 ට සිංහල සංස්කෘතික ආයතනයේදී පැවැත්වේ.

එදිනට සමරු දේශනය පවත්වනු ලබන්නේ මහාචාර්ය තිස්ස කාරියවසම් විසිනි. මහාචාර්ය මුදියන්සේ දිසානායක, ජැක්සන් ඇන්තනී, ජයලත් මනෝරත්න, රෝහණ බැද්දගේ, නිශ්ශංක දිද්දෙණිය, බන්දුල විජේවීර, සුගත් සමරකෝන් යන විදත්වතුන් දයානන්ද ගුණවර්ධනයන්ගේ කලා දිවිය විමර්ශනයට ලක් කරමින් දේශන පැවැත්වීමට නියමිතය. මෙම උළෙලට සහභාගි වන ලෙසට ඔබ සැමට ආරාධනා කරන්නේ ලේකම් සුගත් සමරකෝන් වේ.


දිසි කවක අසිරිය 29 වැනිදා

මතුගම සී. ඩබ්ලිව්. කන්නන්ගර ජාතික පාසලේ ‘දිසි කවක අසිරිය’ රංග කලා උළෙල මෙම මස 29 වැනිදා පෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා විද්‍යාලයීය පියසේන කොඩිතුවක්කු රංග ශාලාවේදී වේදිකා ගත කෙරේ.

විදුහලේ රංගන කලාව හදාරන සිසු සිසුවියන්ගේ විෂය දැනුම හා සංකලනය වූ රංගන කුසලතා එළි දැක්වීමට ‘දිසි කවක අසිරිය’ නමින් ප්‍රථම වරට විද්‍යාලයේදී නාට්‍ය හා රංග කලා දිනයක් පැවැත්වේ. රංග කලාව විෂය භාර ප්‍රධාන ආචාර්යවරිය ලෙස ප්‍රියන්ති අබේසිංහ මහත්මිය කටයුතු කරයි.