වර්ෂ 2012 ක්වූ මැයි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිරූ තනා කපිලට ජගත් සම්මාන

ප්‍රතිරූ තනා කපිලට ජගත් සම්මාන

වෛද්‍ය කපිල සූරියආරච්චි අධ්‍යක්ෂණය කළ ප්‍රතිරූ චිත්‍රපටය අමෙරිකාවේ හතළිස් පස් වැනි හුස්ටන් චිත්‍රපට උළෙලේ දී ඇගයීමට පත් වෙයි. ඒ නිර්මාණකරුවකු පළමුවරට ඉදිරිපත් කරන චිත්‍රපටයක් වෙනුවෙන් පිදෙන රිදී සම්මානයෙන් පිදුම් ලබමිනි.

මෙයට අමතරව එම උළෙලේදී හොඳම ප්‍රචාරක දැන්වීමට හිමි සම්මානයද වෛද්‍ය කපිල සූරියආරච්චි දිනා ගන්නා ලදී.

වෛද්‍ය වෘත්තියට අමතරව නිර්මාණකරණයේද යෙදෙන වෛද්‍ය කපිල සූරියආරච්චි මෙයට ප්‍රථම මෙරටදී සම්මාන උළෙලයන් කිහිපයකදීම සම්මාන දිනා ඇත.

ඒ ඔහු නිර්මාණය කළ පූර්ව ප්‍රචාරක පට සඳහායි. ඔහුගේ ක්ෂය රෝග නිවරණ දැන්වීම ඉමහත් ජනප්‍රියත්වයට පත් විය.

ප්‍රතිරූ කපිලගේ පළමු සිනමා නිර්මාණයයි.ළඟදීම තිරගතවීමට නියමිත ප්‍රතිරූ සඳහා ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා, ශ්‍රියන්ත මෙන්ඩිස්, විජේරත්න වරකාගොඩ, වීණා ජයකොඩි, පාලිත සිල්වා, ගිරිරාජ් කෞශල්‍ය, ජගත් චමිල, සුජීව ප්‍රියලාල්, වෛද්‍ය කපිල සුරියආරච්චි, හිමාලි සයුරංගි, ධර්මප්‍රිය ඩයස්, සමන්ති ෆොන්සේකා, අජිත් ලොකුගේ, දිලිනි ලක්මාලි, බන්දුල විජේවීර, කෞශල්‍යා සමරසිංහ, දිමුතු චින්තක, විහඟ නිමේෂක ඇතුළු පිරිස රඟපාති. වෛද්‍ය හරිෂ්චන්ද්‍ර යකන්දාවල සහ වෛද්‍ය කපිල සූරියආරච්චි ප්‍රතිරූ නිෂ්පාදනය කොට තිබේ.


විජයාවතරණ දිනයේ විජය - කුවේණි තිරයේ

විජය කුමාරයා ලංකාවට පැමිණියේ වෙසක් පොහොයට පසු දිනයේ බව ඉතිහාසයේ සඳහන්ව තිබේ. සුගත් සමරකෝන්ගේ විජය – කුවේණි සිනමාපටය ද තිරගතවීමට නියමිතව ඇත්තේ එදින සිටයි. ඒ අනුව එළඹෙන වෙසක් පොහොයට පසු දින එනම් හය වැනිදා සිට විජය – කුවේණි රීගල් ඇතුළු රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය ඇරැඹේ.

රොජර් සෙනෙවිරත්න, දුලානි අනුරාධා ප්‍රධාන චරිත මවන විජය – කුවේණි හි ක්ලීටස් මෙන්ඩිස්, බුද්ධදාස විතානාච්චි, වසන්ති රන්වල, අනුර ධර්මවර්ධන, රුපුන් රණධීර, අමන්දි ප්‍රියසංජනා, රින්ස්ලි වීරරත්න, සරත් දික්කුඹුර, ඉරෝෂනී ලංකාතිලක, රෝහිත බී. පෙරේරා, ජීවාන්දර රූපසිංහ, සුසිල් පෙරේරා, සමන්ත වීරසේකර, කුමාර රණපුර, ශලනි අමල්කා සමඟ ආරාධිත රංගනයෙන් ආචාර්ය ධනවර්ධන ගුරුගේ, සඳුන් විජේසිරි, තිලක් කුමාර රත්නායක, විල්සන් කරුණාරත්න, ශ්‍යාමලී ජයවීර, සුමිත් මුදන්නායක, ගාමිණී ජයලත්, නෝමන් පළිහවඩන, ආරියසේන ගමගේ, වසන්ත කුමාරසිරි, සුසන්ත ප්‍රියදර්ශන, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න, සම්පත් හේවාපැළැන්දගේ, මොන්ටිගු සරච්චන්ද්‍ර, සංජය සමරකෝන්, මියුරි සමරසිංහ, ශිරාණි ද කොස්තා, පවිත්‍රා වික්‍රමසිංහ, අතුල වී. සමරවීර, නන්දන වීරකෝන් රංගනයෙන් විජය – කුවේණි හා එක්වෙති. විජය – කුවේණි ගයාන් රණධීරගේ නිෂ්පාදනයකි.


පිටපත් තිස් පහයි පෝලිමෙන් පිට බෑ

සන්ධානයෙන් යෝජනාවක්

චිත්‍රපට තිරගත කිරීමේදී පෝලිමෙන් පැන චිත්‍රපට ප්‍රදර්ශනය වැලැක්වීමටත්, අසීමිත ලෙස පිටපත් මුද්‍රණය නොකොට එය තිස් පහකට සීමා කිරීමේ යෝජනාවක් ලාංකේය සිනමා ශිල්පීන්ගේ සන්ධානයෙන් (SLMMG) ඉදිරිපත් කරන ලදී.

ඒ පොල්හේන්ගොඩ ප්‍රධාන කාර්යාලයේ පැවති එහි දෙවන මහ සභා රැස්වීමේදීය. මයට අමතරව සිනමා කර්මාන්තයේ සිදුවන අකටයුතුකම් වැලැක්වීමට තවත් අදහස් සහ යෝජනා ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව එහි ප්‍රචාරක ලේකම් මොහාන් හෙට්ටිආරච්චි පවසයි.

ලාංකේය සිනමා ශිල්පීන්ගේ සන්ධානය දැනට වෘත්තීමය සිනමාකරුවන්ගෙන් සැදුම් ලත් එකකි. මෙය ආරම්භ වූයේ ලාංකේය සිනමා කර්මාන්තය සුරැකීමේ සන්ධානය නමිනි.


‘සේෆ්’ දැන් තිරයේ

ජනප්‍රිය ආරේ හොළිවුඩ් සිනමා රැල්ලට තවත් අලුත් චිත්‍රපටයක් එකතු විය. එය ‘සේෆ්’ ලෙස මේ වන විටත් ඉතාම ජනප්‍රිය ස්ථානයක් හිමි කර ගෙන ඇති අතර ක්‍රියාදාම ලොමු ඩැහැගන්වන දර්ශන සහිත වීර වික්‍රමාන්විත කතා පුවතක් ඇති බවයි සැලකෙන්නේ.

විශේෂත්වය වන්නේ ජේසන් ස්ටැතමි මෙහි ප්‍රධාන චරිතය ලෙස ලුක් රයිට් ගේ චරිතයට පණ පෙවීමයි. සම්පූර්ණ ධාවන කාලය වන පැය 1 යි මිනිත්තු 35 තුළ දිවෙන කතාව සම්පූර්ණයෙන්ම පාහේ සිය පවුල විනාශ කළ රුසියානු මාෆියා කල්ලියකට විරුද්ධව සටන් වදින ලුක්රයිට් වටා ගෙතේ.

බෝආස් යාකින්ගේ අධ්‍යක්ෂණයෙන් එළි දැක්වුණු ‘සේෆ්’ අප්‍රේල් 27 වැනිදා ලෝ පුරා තිරගත කිරීම අරැඹුණු අතර ලබන මැයි 4 වනදා සිට මැජෙස්ටික් සිනෙප්ලෙක්ස් හි ලාංකික ක්‍රියාදාම සිනමා ලෝලීන්ට විවෘත වේ.

- ෂෙනාල්


රොහාන් වැලිවිට අලුත් කටයුත්තක

චිත්‍රපට සඳහා කැමරා උපකරණ සහ අධි තාක්ෂණික ( එච්. ඩී.) පහසුකම් සැපයූ ෆයින් විෂන් ආයතනය දේශීය සිනමාකරුවන්ට නව තාක්ෂණයෙන් යුතු තවත් සේවාවන් රැසක් ලබා දීමට කටයුතු කර ඇති බව එහි සභාපති රොහාන් වැලිවිට පවසයි.

මගේ ආයතනය ඉන්දියාවේ පැරැණිම චිත්‍රපට රසායනාගාරයක් වන මුම්බායි ෆිල්ම් ලැබ් ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා හැටියට පත් වුණා. එහි ගිවිසුම පසුගියදා අත්සන් කෙරුණා.

අධි තාක්ෂණයෙන් රූපගත කිරීම, සංස්කරණය සහ වර්ණ සංයෝජනය ලංකාව තුළ නිම කළ හැකි එකම තැනයි ෆයින් විෂන්. අප ආයතනය මඟින් පිටපත් මුද්‍රණය කිරීමේදී ඉතා විශාල මුදලක් ඉතිිරි වෙනවා.

ඒ වගේම අධි තාක්ෂණයෙන් යුතු චිත්‍රපට ශාලා හතළිහක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ද අප ඇරැඹුවා. රොහාන් වැඩිදුරටත් පවසා සිටී.

රොහාන් වැලිවිට ෆිල්ම් ලැබ් ආයතනයේ විධායක සහ කළමනාකරණ අධ්‍යක්ෂ සංජය පටෙල් සමඟ ගිවිසුම් අත්සන් කළ මොහොත.