වර්ෂ 2012 ක්වූ මැයි 03 වැනිදා බ්‍රහස්පතින්දා




කඳු මුදුනෙන් තරු විසිරෙයි

කඳු මුදුනෙන් තරු විසිරෙයි

හොළිවුඩ් ඒකාධිකාරයේ තිඹිරි ගෙයට මැයි 08දාට සියවසයි

යුනිවර්සල්වලින් අනතුරුව පැරමවුන්ට් සිය අභිමානවත් ශතකය අභියස

විශ්වයක් බඳු චලන චිත්‍රයේ සොබාවට වශී වී කාල් ලෙමිල් සිය ඉරණම් ගමන වූ චිකාගෝ හි චාරිකාවක යෙදුණේ තියටර් හා වේදිකා සඳහා පතල වූ ‘නිකලෝඩියන්’ දැක ගැනීමටය. නිකලෝඩියන් තමා සන්තක කර ගත් ලෙමිල් එය යුනිවර්සල් හෙවත් විශ්වීය සිනමා ලෝකයක් කරා ගෙන යද්දී නිකලෝඩියන් හිමිකරු ඒ දෙස කෙසේ බලා හිඳින්නට ඇත්ද?

නැත. ඇඩොල්ෆ් සුකොර් නම් පැරැණි නිකලෝඩියන් හිමිකරු ඒ දෙස ඔහේ බලා සිටියේ නැත. ඒ වෙනුවට සුකොර් කළේ හොළිවුඩ් චිත්‍රපට සපිරි අධිරාජ්‍යයක් ඔහු සන්තක කර ගැනීමට දිවා රෑ වෙහෙසීමයි.

සුකොර්ට තවත් අයෝජන සහකරුවන් දෙදෙනෙක් වන ඩැනියෙල් සහ චාල්ස් ෆ්රෝමන් හමු වූයේ ඔහුගේ ව්‍යායාමය මහත් වූ ප්‍රයෝජන අත් වන බවට වූ විඥානය නිසාමය. එකී සහයෝගිතාවයේ ප්‍රතිඵලය වූයේ 1912 දී මැයි මාසය වන විට ‘ෆේමස් ප්ලේයර්ස් ෆිල්ම් කම්පැනි’ නම් වූ චිත්‍රපට සමාගම බිහිවීමයි. ‘ෆේමස් ප්ලේයර්ස්’ තවත් ටික කලක් ඇවෑමෙන් එනම් 1914 දී ‘පැරමවුන්ට් පික්චර්ස්’ වූයේ එහි නාමයේ අර්ථයෙන්ම උත්කෘෂ්ට ගමනක් යාම සඳහා අඩිතාලම සකසා ගනිමිනි.

ඇමරිකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරුණු අතර එකල ආන්දෝලනයට පත් වූයේ වෙළඳ විශ්වාසය කඩ කිරීමට එරෙහිව ඇමරිකන් රජය විසින්ම නඩු පැවරූ නිසාය.

පැරමවුන්ට් හි දිගු දුර ගමන යාම සඳහා ඇඩොල්ෆ් සුකොර් කළේ ජෙසි ලැස්කි නම් චරිතය තමා කරා ඈඳා ගැනිමය. ලැස්කි එකල නාට්‍ය නිෂ්පාදනයට පතලව සිටිය ද සුකොර්ගේ ඉල්ලීම පිට ඔහු කළේ චිත්‍රපට නිෂ්පාදනයට බැසීමය. ඒ සඳහා ලැස්කිට අපූරු පුද්ගලයකු එක් විය. ඔහු නාට්‍ය සඳහා පතල රචකයකු වූ සිසිල් ඩිමයිල්ය. ඔවුන් සියල්ලන්ගේම එකතුව පැරමවුන්ට් වෙනුවෙන් සිනමා අධිරාජ්‍යයක් ගොඩ නැගීම සැබවින්ම පහසු වූයේ ඒ දශකයෙන් අනතුරුව එළඹෙන සිනමා රටාවට ඔවුන් මනා ලෙස ඉව අල්ලා තිබූ නිසාය.

එනම් 1920 න් පසු එළඹි දශකය නිහඬ සිනමාව දැඩිව පුපුරා ගිය වකවානුව විය. සිසිල් ඩිමයිල් වැන්නවුන් ඒ සඳහා ශබ්ද සහිත චලන චිත්‍ර නිර්මාණය කරන විටත් යුනිවර්සල් පික්චර්ස් විසින් නළු නිළියන් ජනප්‍රිය කොට තරු සංකල්පය හොළිවුඩයේ පතුරුවා තිබිණි.

එහෙත් බැලූ බැල්මටම ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ යුනිවර්සල් පික්චර්ස්ට වඩා සුකොර් විසින් පැරමවුන්ට් හරහා නළු නිළියන්ගේ ජනප්‍රියත්වය අළෙවි කිරීමෙන් පැරමවුන්ට් චිත්‍රපට කරා මහා ආකර්ෂණයක් දිනා ගත් බවයි. ඒ සඳහා මේරි පික්ෆර්ඩ්, ඩග්ලස් ෆෙයාබෑන්ක්ස්, හැරල්ඩ් ලොක්වුඩ් මෙන්ම වොලස් රිඩ් නම් වූ පැරමවුන්ට් සිනමා තරු එක් අතකින් පැරමවුන්ට් හි සීඝ්‍ර වර්ධනයට මනා රුකුලක් විය.

මෙකී කාල වකවානු පසු කරද්දී පැරමවුන්ට් තම චිත්‍රපට නිෂ්පාදනය සහ බෙදා හැරීම සම්බන්ධයෙන් ඒකාධිකාරය ගොඩ නැඟීම ආරම්භ කළේය. 1930 දශකය වන විට පැරමවුන්ට් ස්වකීය ‘බ්ලොක් බුකිං’ ක්‍රමවේදය ආරම්භ කරමින් චිත්‍රපට නිෂ්පාදනය කොට බෙදා හැරීමේදී සිනමාහල් තමන් වෙතට ඇද බැඳ තබා ගැනීමේ ක්‍රමවේදයක් ගොඩ නැගීය.

 

ඇඩොල්ෆ් සුකොර්

මන්ද බ්ලොක් බුකිං ක්‍රමය නිසා පැරමවුන්ට් හි ලාභ ලබන චිත්‍රපට ඛාණ්ඩගත කරන අතර එම චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා සිනමාහල් සමඟ පැරමවුන්ට් ගිවිසුමකට එළඹේ. ගිවිසුමට අනුකූලව සිනමා ශාලා පැරමවුන්ට් සිනමා පට පමණක් ප්‍රදර්ශනය කළ යුතු අතර සතියකට චිත්‍රපට 2 බැගින් වසරේ සති 52 සඳහා චිත්‍රපට 104 ක් පැරමවුන්ට් මුදා හැරීය. ඒ සඳහා ඔවුන් සමඟ එක් වූ සිනමා ශාලා සංඛ්‍යාව 1000 කට අධික වූ බව වාර්තාවල සඳහන් වේ.

මෙකී ඒකාධිකාරයේ ප්‍රතිඵලයක් ලෙස 1938 දී ඇමරිකා එක්සත් ජනපදය එදිරිව පැරමවුන්ට් පික්චර්ස් නඩුව නමින් ඇමරිකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරුණු අතර එකල ආන්දෝලනයට පත් වූයේ වෙළඳ විශ්වාසය කඩ කිරීමට එරෙහිව ඇමරිකන් රජය විසින්ම නඩු පැවරූ නිසාය.

ජෙසි ලැස්කි

40 දශකය වූ ඒ වකවානුවේ පැරමවුන්ට් 20බඩසෙන්චරි ෆොක්ස්, වෝනර් බ්‍රදර්ස්, එම්. ජී. එම් ආදී සමගාමී කර්මාන්තයේ ප්‍රමුඛයන් වූ අතර පැරමවුන්ට් හි ක්‍රියා කලාපය නිසා සමහර චිත්‍රපට සමාගම්වලට වසරකට බිහි කර ගත හැකි වූයේ චිත්‍රපට 20 කට නොඅඩු සංඛ්‍යාවකි. ඒ කෙසේ වෙතත් 1940 වන විට සිනමාහල්වල කෙටි හා වාර්තා චිත්‍රපට මෙන්ම ප්‍රවෘත්ති පට තිරගත කිරීම ඇමරිකාවේ සපුරා තහනම් කළේය. කෙසේ වෙතත් 1938 දී පැරමවුන්ට් හට එදිරිව පවරන ලද නඩුවෙන් පැරමවුන්ට් පරාජය වූ අතර එතෙක් තිබූ ‘බ්ලොක් බුකිං’ ක්‍රමය සපුරා අහෝසි වී ගියේය.

පැරමවුන්ට් හි අති ධාවනකාරී ගමන් මඟ එතනින් නැවතුණු නමුදු වඩාත් හොඳ යයි සම්මත චිත්‍රපට වඩ වඩා පැරමවුන්ට් වෙතින් බිහි විය. ඇල්ෆ‍්‍රඩ් හිච්කොක් වැනි චිර ප්‍රසිද්ධ සිනමාකරුවන් එයට ප්‍රමුඛත්වය ගත් අතර රියර් වින්ඩෝස්, ද ට්‍රබල් විත් හැරි, වර්ටිගෝ වැනි චිත්‍රපට ඔහු පැරමවුන්ට් වෙනුවෙන් බිහි කළේය. 70 දශකයේ බිහි වූ ‘ද ගෝඩ් ෆාදර්’ චිත්‍රපටය මෙන්ම ‘සැටර්ඩේ නයිට් ෆිවර්’, ග්‍රීස්’ යන චිත්‍රපට ද 70 දශකය තුළ මහත් වෙනසක් කළ චිත්‍රපට විය.

එමෙන්ම ඔවුන් යුනිවර්සල් සමඟ එක්ව පිහිටුවන ලද ‘සිනමා ඉන්ටර් නැෂනල් කෝපරේෂන්’ එක අතකින් ඔවුන් ජාත්‍යන්තර බෙදා හැරීම් ජාලයට සේන්දු වන පළමුවැනි උත්සාහයයි. ඒ අතරම මෙට්රෝ ගෝල්ඩ්වින් මේයර් හවුල් වීම වීඩියෝ මාධ්‍යයෙන් රූපවාහිනී මාධ්‍යයට සේන්දු වූ පළමු අවස්ථාව එය මෙන්ම පැරමවුන්ට් විසින් ශ්‍රව්‍ය මාධ්‍යයට එක් වූයේ සංගීත මාධ්‍ය හරහාය. නමුත් පැරමවුන්ට් සජීවීකරණය හා සම්බන්ධ වූයේ යුනිවර්සල් හා සාපේක්ෂව බොහෝ ප්‍රමාදවය. ඔවුන් සජීවිකරණය තුළින් වෙළඳපොල ආක්‍රමණය කළේ ස්පිල්බර්ග් ගේ දායකත්වයෙන් ගොඩ නැඟුණුු ‘ඩ්‍රිම් වර්ක්ස්’ 2005 දී බිලියන 1.6 කට (ඩොලර්) මිල දී ගැනීමෙන් අනතුරුවය.

කෙසේ වෙතත් වසර 100 ක් ගෙවන විටත් නිපද වූ හා බෙදා හරිනු ලැබූ චිත්‍රපට ගොන්න දිහා බලන කළ පැරමවුන්ට් ඉතා තරඟකාරී අන්දමින් සිය භූමිකාව මෙහෙයවා තිබේ. ස්පයිඩර් මෑන්, මිෂන් ඉම්පොසිබල්, අයන් මෑන්, ට්විලයිට් වැනි චිත්‍රපට මෙන්ම කුංෆ් පැංඩා, මැඩගස්කර්, ස්පොන්ච් බොබි ස්කොයර් පෑන්ටිස් වැනි සජීවිකරණ චිත්‍රපට ද ඉතා ඉහළ වාර්තා තබාගෙන ප්‍රදර්ශනය වී තිබේ.

මෙම වසරේදී ගඩාෆිව පට්ටා ගසන ‘ද ඩික්ටේටර්’ චිත්‍රපටයත්, මැඩගස්කර් 3 සජීවිකරණ චිත්‍රපටයත්, ජී අයි ජෝ චිත්‍රපටයත් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් කරන්නට නියමිතය.

එමෙන්ම මේ වසරෙන් ඔබ්බට ටින් ටින්, නින්ජා ටර්ටල්ස් මෙන්ම ට්‍රාන්ස්ෆෝමර්ස් 4 ද එන බවට පැරමවුන්ට් ඉඟි පළ කරයි. වියාකොම් හා සී බී එස් සමාගම් එනම් වර්තමාන හිමිකරුවන්ගේ කාර්යභාරය තුළ මේ ගෙවන 100 වැනි වසර සාර්ථක එකක් ද නැද්ද යන්න තීරණය කිරීමට තවම කල් වැඩිය.

පැරමවුන්ට් එතෙක් මෙතෙක් වැඩිම ආදායම් ලත් චිත්‍රපට:
ටයිටැනික් (හවුල් බෙදා හැරීමකි) ඇ. ඩො.මිලියන ...........600
ෆොරස්ට් ගම්ප් .......... 329
ෂ්රේක් ද තර්ඩ් ...........322
ට්‍රාන්ස්ෆෝමර්ස් ...........319
අයන් මෑන් .................318