වර්ෂ 2012 ක්වූ මැයි 03 වැනිදා බ්‍රහස්පතින්දා




රසිකයෙක් වෙනුවෙන් අමීර්ගෙන් කැපවීමක්

රසිකයෙක් වෙනුවෙන් අමීර්ගෙන් කැපවීමක්

දැන් ගත වෙන්නේ, පරිපූර්ණත්වයෙන් අංක එක දරන ඛාන් රජු, අමීර් ඛාන්ගේ පිරිපුන් රංගනය ගැන වගේම පිරිපුන් ගතිගුණ ගැනත් කතා වෙන කාලයකි. තමන්ගේ වචන දෙකක් නැති බව මේ පොරොන්දුව ඉටු කිරීමෙන්ම අමීර් ඛාන් රසිකයන්ට ඔප්පු කළේය.

රික්ෂෝ රියැදුරකු වූ රාම්ලඛන් අමීර්ට මුණ ගැසුණේ ‘ත්‍රී ඉඩියට්ස්’ සිනමා පටය රූගත කරන අතරතුරදීය. සැබැවින්ම ඒ හමුවීමේ කතාව සිනමා අන්දරයක් තරමටම සුන්දරය. ඒ ‘ත්‍රී ඉඩියට්ස්’ සිනමා පටය ප්‍රවර්ධනය කරන කාලයයි.

සිනමා පටය ප්‍රවර්ධනය කිරීමේ එක් පියවරක් ලෙස අමීර් වියපත් මිනිසකු ලෙස වෙස්වලාගෙන වරණාසි නුවර පුරා දින තුනක් සැරිසැරුවේය. එහිදී ඔහුට ලඛන් මුණ ගැසුණු අතර එකම වයසේ පසු වූ දෙදෙනා අතරේ අපූරු සුහදත්වයක් ගොඩ නැඟුණි. මිත්‍රත්වය කෙතරම් දුර දිග ගියා ද කිවහොත් අමීර්ට සිය පුතුගේ විවාහ මංගල්‍යයේ සුවිශේෂී අමුත්තා වශයෙන් සහභාගිවීමට ඇරියුම් කළේය.

කෙතරම් කාර්ය බහුල වුණත් මිතුරාගේ පොරොන්දුව අමතක කළේ නැත. නිල් පාට ඩෙනිමකින් සහ සුදු කුර්තාවකින් සැරසී අමීර් වෙලාවටම පැමිණියේය. රාම්ලඛන් රික්ෂෝකරුගේ පුතුගේ විවාහය රජ මගුලක සිරි ගත්තේය. එය බොලිවුඩ් තිරයේ සිත්තම් වන විවාහයක් තරමටම සුන්දර විය. ඒ මේ සුපිරි ඛාන් රජු පැමිණෙන බවට ලැබුණු ආරංචියෙන් මාධ්‍යවේදීන් සහ රසිකයන් පොදිකමින් බලා සිටි නිසයි.

උතුරා ගිය ප්‍රීතිය නිසාදෝ අමීර් ඛාන් මංගල වේදිකාවෙන් සිනාසෙමින්ම බිමට වැටුණේය. එහෙත් ඔහුට සීරිමක් තරම්වත් තුවාලයක් සිදු වුණේ නැත.

අමීර් ඛාන් තමන්ගෙන් වචනයක් බලාපොරොත්තු වන මාධ්‍යවේදීන්ට මෙසේ කියා සිටියේය. ‘මේ මගේ මංගල රූපවාහිනී නිර්මාණය, ‘සත්‍යමේව් ජායතේ’ ප්‍රවර්ධනය කිරීමට ආපු ගමනක් නෙවෙයි.

අවුරුද්දකට කලින් රාම්ලඛන් මිතුරා කළ ආරාධනාවට ආවා. මේ මගේ මවගේ ගමයි.

ඒ නිසා වරණාසි මට වඩාත් ආදරණීය ලෙස සමීපයි. ඒ සමීප බව මේ මිත්‍රත්වයෙන් වැඩි වුණා.’ අමීර් මංගල සාදයේ අඩ හෝරාවකට ආසන්න කාලයක් රැඳී සිටියේය.

අමීර් වගේම අමීර්ගේ පුතු අසාද් ද දැන් තරුවක් ලෙසින් කතාබහට ලක් වන්නට පටන් ගෙන ඇත. එය අසාද් ඛාන් නම් ගිනි පුපුර බොලිවුඩයේ දැල්වෙනු ඇති බවට ඉඟියකි. ඔහු දොරට වඩින්නේ පියාගේම ‘සත්‍යමේව් ජායතේ’ රූපවාහිනී වැඩ සටහනෙනි. එහෙත් සිඟිති අසාද් දෙස දැන්මම රසික නේත්‍ර දිෂ්ටිය වැටෙනවාට අමීර් බිරිය, කිරන් නම් කොහෙත්ම කැමැති නැත.
 


අයි. පී. එල්. මැද්දේ ෂාරුක්ට නඩු

ජෙක් වුණත් නොපනත්කම් කළොත් දඬුවම් විඳීන්නට සිදු වෙනවාමයි. ෂාරුක් ඛාන් බොලිවුඩයට රජකු වුවත් නීතියට රජකු නොවෙයි.

ඔහුට විරුද්ධව පසුගියදා නඩු පැවරුණේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර පැවැති අයි. පී. එල්. ක්‍රිකට් තරගය නැරැඹීමේදී ප්‍රසිද්ධියේ දුම්පානය කිරීම නිසයි.

ඔහුගෙන් බාල පරපුරට වැරැදි පූර්වාදර්ශයක් ලැබෙන නිසා විශේෂයෙන්ම ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.


ඓශ් යළි සිනමාවට

මවක වීම නිළියක වීමට බාධාවක් වූ යුගය දැන් ඉතිහාසයට එක් වී අවසන්ය. වර්තමානයේ ඇත්තේ මවු පදවිය ලැබූ නිළියන්ට වැඩි ඉල්ලුමක් ඇති කාලයකි.

ඓශ්වර්යා රායිගේ පැමිණීම ගැන මාධ්‍යවේදීන්ගේ සහ රසිකයන්ගේ ඇති උනන්දුව ඊට ඇති හොඳම උදාහරණයයි.

අලුත්ම ආරංචිවලට අනුව ඈෂ්, ෂාරුක් සහ ජෝන් ඒබ්‍රහම් රඟන ‘හැපි බර්ත්දේ’ සිනමා පටයෙන් හෝ අමිතාබ්, අභිෂේක් රඟන ‘සර්කාර් 3’ සිනමා පටයෙන් හෝ ෂාරුක් රඟන සංජේ ලීලා බන්සාලිගේ ‘බාජිරාඕ මස්තානි’ සිනමා පටයෙන් හෝ සිනමාවේ දෙවැනි ගමන අරඹනු ඇත. එහෙත් මේ සිනමා පටවල රඟපාන පුවත නම් තවම තහවුරු වී නැති පුවතකි.

ඈෂ් 2007 අභිෂේක් සමඟ විවාහ වූ පසු මුලින්ම රඟපෑවේ ‘සර්කාර් රාජ්’ සිනමා පටයේය. ඒ අමිතාබ් බච්චන් මාමා සමඟ සහ සැමියා අභිෂේක් සමඟයි.

අන්තර් ජාලයෙනි