වර්ෂ 2012 ක්වූ මැයි 03 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

සතියේ දින පහට සිටු මැදුර ස්වර්ණවාහිනියෙන්

දේවින්දගේ ආදරයේ කිරුළ පළඳිමින් ඔහුගේ දයාබර බිරිඳ වීමට සිහින මවන කිෂාණි එක් පසෙක. සිතෙහි වූ ආදර හැගුමන් පුද දීමට කැමැත්තෙන් සිටින දේවින්දගේ ආදරය දිනා ගත්නා මලී තවත් පසෙක.

මේ යුවතියන් දෙදෙනා අතරින් දේවින්දගේ ආදරය දිනා ගන්නා නාමලී ගේ ආදර අන්දරයට අනපේක්ෂිතව පැමිණෙන වැඩිහිටියන්ගේ විරෝධතා සුළි සුළඟක්. මේ සුළි සුළඟින් දේවින්දටත් නාමලීටත් කුමක් වේද? ඒ ගැන දැනගන්න නම් සඳුදා සිට සිකුරාදා දක්වා ස්වර්ණවාහිනියේ රාත්‍රී 9.00 ට විකාශය වෙන ‘සිටු මැදුර’ ටෙලි නාට්‍යය නරඹන්න ඔබට සිදුවේවි.

ආදරයට ආදරය කරන ස්වර්ණවාහිනිය ඔබ වෙනුවෙන් තිළිණ කරන ‘සිටු මැදුර’ ටෙලි සිත්තම ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ අධ්‍යක්ෂණයක්. කැමරාකරණයෙන් රූප රාමු හැඩ කරන්නේ ජනක යහම්පත්.

මේනක රාජපක්ෂ, නෙහාරා පීරිස්, මේනකා මධුවන්ති, ක්ලීටස් මෙන්ඩිස්, මහේන්ද්‍ර වීරරත්න, සම්පත් තෙන්නකෝන්, සුනීතා විමලවීර, රෙබෙකා නිර්මලී, ගාමිණී අම්බලන්ගොඩ, ඉන්දික ගිනිගේ, නිමල් ඇන්තනී, සංගීතා බස්නායක, අනුලා වනිගසූරිය, නුවන්ගි බණ්ඩාර, කුමුදිනී අධිකාරි ගේ රංගනයෙන් අපූරුවට කල එළි දකින සිටු මැදුර අරුණ ප්‍රේමරත්නගේ තිර රචනයක්. සහාය අධ්‍යක්ෂණයෙන් රංග මුණසිංහ, අංග රචනයෙන් ධනුෂ්ක හුලංගමුව, කලා අධ්‍යක්ෂණයෙන් පි‍්‍රයන්ත රණසිංහ, සංගීතයෙන් ඩෙනිස්ටර් පෙරේරා සහාය වන සිටු මැදුරේ ගායනය නවරත්න ගමගේගෙයි.

සේමිණිගේ ප්‍රබල රංගනය සමඟ ‘නෙතු පියෙන තුරා’ සෙනසුරාදා

මිෂෙල් ෆොන්සේකා අපිට අලුත් ආරංචියක් අරගෙන සරසවියට ගොඩ වැදුණා.

‘නෙතු පියෙන තුරා’

මොකක්ද මේ ?

අපි ඔහුගෙන් විමසුවා.

‘නෙතු පියෙන තුරා’ කියන්නේ මගේ අලුත්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය. මේ මාසයේ 05 වැනිදා ඉඳලා රාත්‍රී 7.30 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වෙන මේ ටෙලි නාට්‍යය ඉරිදා හා සෙනසුරාදා දින දෙකේම විකාශය වෙනවා.

මේ ටෙලි නාට්‍යයේ තිබෙන විශේෂත්වය වෙන්නේ සේමිණී ඉද්දමල්ගොඩ කියන රංගන ශිල්පිනිය මුලින්ම තමන්ගේ කොණ්ඩේ බූ ගාන්නේ මේ ටෙලි නාට්‍යයට වීමයි. ඒ වගේම ඈ රඟපාන අරුණි කියන මවගේ චරිතයට උවමනා ආකාරයේ ස්ව කැමැත්තෙන් තම කොණ්ඩය සම්පූර්ණයෙන්ම බූ ගාන්න ඉදිරිපත් වීම අගය කළ යුත්තක්.

සේමිණී ඉද්දමල්ගොඩ, රොෂාන් පිලපිටිය, ඩග්ලස් රණසිංහ, ශි‍්‍රයාණි අමරසේන, මාලනී වීරමුණි, ගීතා කාන්ති ජයකොඩි, රිචාඩ් වීරක්කොඩි, තුසිත ධනුෂ්ක, සචින් රදලියගොඩ, ඉසුරි නවෝද්‍යා, සිතුමිණි මැද්දගොඩ, ගයත්‍රී රාජපක්ෂ තමයි ‘නෙතු පියෙන තුරා’ සඳහා රංගනයෙන් එක්වන්නේ. ‘නෙතු පියෙන තුරා’ හදන්න සහය අධ්‍යක්ෂණයෙන් කල්‍යාණ චන්ද්‍රසේකර, කැමරා අධ්‍යක්ෂණයෙන් ශාන්ත රූපස්සර, කලා අධ්‍යක්ෂණයෙන් රංජිත් දේවනාරායන, වේෂ නිරූපණයෙන් ගාමිණී කොස්තා, නිෂ්පාදන කළමනාකරණයෙන් ගයාන් ලක්මාලී, සංස්කරණයෙන් දුමින්ද ප්‍රේමතිලකත් දායක වුණා. පි‍්‍රන්ස් වික්‍රමනායකගේ නිෂ්පාදනයක්. රූපවාහිනීයට රචනා කළේ නිහාල් බණ්ඩාර ජයතිලකයි.

තුන් මං තැන්නට සෙනසුරාදාට ගොඩවෙමු

ෂර්ලි පී. දෙලංකාවල තුන් මං තැන්නකට ගියා කියලා අපට ආරංචියක් ලැබුණා. මේ අපටත් නොකියා ගිය ‘තුන් මං තැන්න’ ගැන දැන ගන්න අපි ඔහුට දුරකතන ඇමතුමක් දුන්නා.

“තුන් මං තැන්න කියන්නේ මගේ නව වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය. ආදර කතාවක් සමඟ දිවෙන ගුප්ත අභිරහසක් වටා ගෙතුණු ලස්සන කතාවක් තමයි මේ තුන් මං තැන්න කියන්නේ. සෑම සෙනසුාදාවකම රාත්‍රී 9.00 ට ස්වර්ණවාහිනියෙන් විකාශය වෙන මේ ටෙලි නාට්‍යය තරමක් අලුත් තාලේ වැඩක්. රොෂාන් රවීන්ද්‍ර, චමූපා ගොඩගේ, නිරෝෂන් විජේසිංහ, රිචාඩ් වීරක්කොඩි, ලූෂන් බුලත්සිංහල, පි‍්‍රයන්තසිරි කුමාර, චලනි කොස්තා, රනිල් ජයකොඩි, සමන්ත කුමාර ගමගේ, නයනා හෙට්ටිආරච්චි කියන්නේ තුන් මං තැන්නේ රංගනයෙන් දායක වන සාමාජිකයෝ.

තුන් මං තැන්නේ සහාය අධ්‍ය්‍යක්ෂණයෙන් චමින්ද උඩුවිල, කැමරා අධ්‍යක්ෂණයෙන් චන්දන ජයසිංහ, වේෂ නිරූපණයෙන් පි‍්‍රයන්ත එස්. වන්නිනායක, කලා අධ්‍යක්ෂණයෙන් මනෝජ් වික්‍රමසිංහ, නිෂ්පාදන කළමනාකරණයෙන් ලාල් දිසානායක, සංස්කරණයෙන් පි‍්‍රයන්ත ගුරුගේත් උදව් වෙනවා. පිටපත් රචනය සමන්ත කුමාර ගමගේ, සංගීතයෙන් ‘තුන් මං තැන්න’ සුන්දර කළේ අමිත් ගුරුලවෙල (අයිකෝන් රේන්)

ප්‍රසංග කලා ආයතනයේ අවුරුදු උළෙල දා

නාලක ස්වර්ණතිලක කියන අපේ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයාගේ ප්‍රසංග කලා ආයතනයේ පසුගිය දවසක අවුරුදු උත්සවයක් පවත්වලා.

ඒ පුංචි දඟයන්ගේ අවුරුදු උත්සවය තිබුණේ පසුගියදා බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදීයි.

මෙම අවුරුදු උත්සවයට එම ප්‍රසංග කලා පුහුණු ආයතනයේ දරු දැරියන් සමඟ නාලක ස්වර්ණතිලකගේ ‘දඟමල්ල’, ‘මම වෙනම මලක්’ යන වේදිකා නාට්‍ය නිර්මාණයන්හි ළමා ශිල්පීන්, එල්. පී. එෆ්. පාසලේ දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ගැහැනු ළමුන්දෙදෙනකු අවුරුදු උළෙලෙහි තිබූ තරග අංගයක් වූ කොට්ටා පොරයෙහි යෙදී සිටින අයුරුයි.

 

දඹදිව උපන් කතා දොරට වඩී

ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙක් වන චන්ද්‍රසිරි දොඩංගාඩ අලුත්ම බෞද්ධ ග්‍රන්ථයක් ලියලා.

‘දඹදිව උපන් කතා’ නමින් ලියැවුණු මේ ග්‍රන්ථය මේ මාසයේ 08 වැනිදා අඟහරුවාදා පෙරවරු 10.00 ට මරදානේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේදී දොරට වඩිනවා.