වර්ෂ 2012 ක්වූ මැයි 03 වැනිදා බ්‍රහස්පතින්දා




මෙවන් පිනක් කරන්නට ලැබීමත් පිනක්

මෙවන් පිනක් කරන්නට ලැබීමත් පිනක්

අපේ ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු හැම වසරකම ශ්‍රී දළදා මාලිගාවේදී විශේෂ පූජාවක් හා දානමය පින්කමක් සිද්ධ කරනවා. මේ අවස්ථාවට විශාල වශයෙන් කලාකරුවන් එක් රැස් වෙනවා.

මේ ආකාරයට මේ පින්කම නොකඩවා වසර විසි පහක් සිදු කළා. මේ විසි පස් වන වසර ලබන්නේ හරියටම එළෙඹෙන වෙසක් පුන් පොහෝ දිනට. ඔහුගේ වාසනාවට මේ වෙසක් පුන් පොහෝ දිනයේදීම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට පූජාවක් තියන්න ලැබීම සුවිශේෂයි.

මේ පුණ්‍යකර්මය ගැන රොබින් ප්‍රනාන්දු සිතන්නේ මහත් ඵල මහානිසංස ලැබෙන පිනක් ලෙසයි. සරසවිය අපටත් මේ ගැන ලියන්න ලැබීම ගැන හරිම වාසනාවන්තයි. රොබින් ප්‍රනාන්දු කලාකරුවාට දීර්ඝායුෂ පතන්නත් අප අමතක කරන්නේ නැහැ.


දයාන්ගේ නිවස ගිනි අරන්

අපේ ජනප්‍රිය ඡායාරූප ශිල්පී, ගායක දයාන් විතාරණට පසුගිය දිනවල අවුරුදු උත්සවවලට නිමක් නැතිව ආරාධනා ලැබුණා. ඔහුත් එක දිගට කාර්යබහුලත්වය නොතකා ඒවාට සහභාගි වුණා.

ඒ දිනවල ඔහුගේ නිවෙසේ කිසිවකු සිටියෙත් නැහැ. දයාන්ගේ උපන් දිනේ දවසේත් දයාන්ට ගෙදර ඉන්න ලැබිලා නැහැ. එදාත් ඔහු අවුරුදු උත්සවයක ඉඳලා තියෙන්නේ.

බක් මහ අකුණුත් සැර මේ කාලේ දයාන්ගේ ගෙදරටත් අකුණක් වැදිලා ගිනි අරන්. මේ බව දයාන්ට ආරංචි වුණාම ඔහුට සිහි වෙලා තියෙන්නේ ඔහුගේ ඡායාරූප හා වටිනා නෙගෙටිව් ගැනයි. ඔහු සිතින් දෙවියන් බුදුන්ගෙන් ඉල්ලා ඇත්තේ ඒවාට නම් හානියක් වෙන්න එපා කියලා.

කොහොම හරි වට පිටාවේ කට්ටිය එකතු වෙලා දයාන්ගේ නිවෙසේ ගින්න නිව්වලු. වාසනාවට අර නෙගටිව් හා ෆොටෝවලටත් මොනවත් වෙලාත් නැහැ.


මෙන්න කොට්ටම්බා ස්ටාර්

ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා දිගට හරහට කොට්ටම්බා තලනවා කියා ආරංචියි. ඒ ‘අලුත් ගෙදර’ දර්ශන තලයේදීයි. සිද්ධිය මෙහෙමයි.

අලුත් ගෙදර දර්ශන තලයේදී විවේකයක් ලද හැම විටම කොට්ටම්බා ගොඩක් රැගෙන අසල තියෙන ගලක් ළඟට යනවලු.

නැවත රූගත කිරීම ආරම්භ වනතුරුම ඔහුගේ වැඩේ කොට්ටම්බා තලන එකලු. මෙහෙම කොට්ටම්බා කාලා ජී. ආර්. පෙරේරා මත් වුණා කියලත් ආරංචියි.