වර්ෂ 2012 ක්වූ මැයි 03 වැනිදා බ්‍රහස්පතින්දා




කවදත් සුරූපී හිම කුමරිය මිරර් මිරර්

කවදත් සුරූපී හිම කුමරිය මිරර් මිරර්

ආදරණීය රජතුමා හදිසියේ නැති වු පසු රාජධානියේ බලය සියතට ගන්නා ක්‍රෑර රැජින තම දහඅට හැවිරිදි සුරූපී සුළු දියණිය (ස්නෝ වයිට් නැත්නම් හිම කුමාරි) මාලිගයේ හංගා තබනවා. නමුත් ඇයගේ මාලිගාවට පැමිණෙන තවත් කඩවසම් සහ පොහොසත් රජ කුමරෙකු ආකර්ශණය වූ විට ඉරිසියාකාරී රැජින මේ කුමරිය වනාන්තරයට පලවා හරිනවා

එහිදී ඇයට ආරක්ෂාව සලසන්නට කරුණාවන්ත අඟුටු මිට්ටන් හත් දෙනෙක් ඉදිරිපත් වෙනවා. ඔවුන් ඇයව හොඳින් රැක බලා ගන්නවා. කාලයත් සමඟ හිම කුමරිය (ස්නෝ වයිට්) ඉතා නිර්භීත තරුණියක් බවට පත් වෙන අතර තම රාජධානිය නපුරු කුඩම්මාගෙන් ( රැජින) බේරා ගැනීමට ඇය අදිටන් කර ගන්නවා. රැජින සමඟ සටනට පිවිසෙමින් තම ජන්ම අයිතිය සහ තම හිත දිනූ රජ කුමරා දිනා ගැනීමට ඇය දරන උත්සාහය ගැන අරුම පුදුම වීර කතාව මේ නවතම චිත්‍රපටය මිරර් මිරර් ප්‍රේක්ෂක ඔබට කියා පාන්නේ එයට නව අර්ථකතනයක් දෙමින්.

චිත්‍රපටය මිරර් මිරර් නැතහොත් කැඩපත කැඩපත කියා නම් කර ඇත්තේ මන්දැයි පාඨක ඔබට මතක් කළොත්, නපුරු රැජින සෑම දිනකම තම කැඩපත ඉදිරියට ගොස් මිරර් මිරර් මේ ලෝකේ ලස්සනම කාන්තාව කවුදැයි විමසනවා. එවිට කැඩපත එසේ ලොව රූපසම්පත්තියෙන් අග තැන්පත්ම කාන්තාව ලෙස පෙන්වන්නේ ඇයවයි. එවිට ඇය සතුටට පත් වනවා.

නමුත් ඇයගේ සුළු දියණිය ස්නෝ වයිට්ට අවුරුදු දහ අට සපිරීමත් සමඟම කැඩපත ලොව සුන්දරම ලලනාව ලෙස පෙන් වන්නේ ස්නෝ වයිට් නැතිනම් හිම කුමරියයි. එයට කිපෙන රැජින ඇයට දුෂ්ඨකම් කිරීමට පටන් ගන්නවා.

1812 දී ග්‍රීම් සහෝදරයන් විසින් එකතු කළ කතා ගොන්න තුළට ඇතුළත් වූ ස්නෝ වයිට් සහ අඟුටු මිට්ටන් හත් දෙනාගේ කතාව ගැන නොදන්නා කෙනෙක් පාඨක ඔබ අතර නැති තරම්. එය ආශ්‍රයෙන් වෝල්ට් ඩිස්නි සමාගම 1937 දී අමරණීය කාටුන් චිත්‍රපටක්ද නිර්මාණය කළා. එසේ නම් මේ හැමෝම දන්න කතාව නැවතත් සිනමා පටයකින් නරඹන්නට තරම් ප්‍රේක්ෂක ඔබට උනන්දුවක් ඇති කිරීමට විශේෂ හේතුවක් මේ නිර්මාණයේ තිබෙනවාද? ඇත්තෙන්ම ඔව්.

එයට ප්‍රධාන හේතුව ලොව පුරා සිනමා රසිකයින්ගේ ආදරය දිනාගත් සුපිරි නිළි ජූලියා රොබට්ස් දුෂ්ඨ චරිතයක් රඟපෑම

පමණක්නොවේ. ප්‍රධාන හේතුව ලෙස මා නම් දකින්නේ මෙහි අධ්‍යක්ෂවරයා වන ඉන්දීය ජාතික තාර්සේම් සිං. ගුවන් යානා ඉංජිනේරුවෙකුට දාව ඉන්දියාවේ උපන් තාර්සේම් සිං ශිමිලා හී මූලික අධ්‍යාපනය ලබා තරුණයකු ලෙස ඇමරිකා එක්සත් ජනපදයට පැමිණෙන්නේ ලොව ප්‍රධානම විශ්ව විද්‍යාලයක් වන හාවඩ් හි ව්‍යාපාර අධ්‍යයනය හැදෑරීමටයි.

නමුත් කලාවට හිතැති ඔහු එය අතරමඟදී නවතා දමා කැලිෆෝනියාවට ගොස් එහිදී සිනමා කලාව පිළිබඳව හදාරනවා. එහිදී උපාධිය ලබන ඔහු ඉන් පසුව මියුසික් වීඩියෝ අධ්‍යක්ෂණය කිරීමට පෙළඹෙනවා. එයිනුත් නොනැවතී රූපවාහිනී වෙළෙඳ දැන්වීම් නිර්මාණයටත් අත පොවන ඔහු එතෙක් මෙතෙක් දෘශ්‍ය මාධ්‍යවල නොමැකෙන මතකයන් තැබූ දෘශ්‍යමය වශයෙන් විශිෂ්ඨ වෙළඳ දැන්වීම් කිහිපයක නිර්මාපකයා වූවා.

ඔහුගේ ප්‍රථම චිත්‍රපටය වසර 2000 දී විචාරක සම්මානයට ලක් වූ ජෙනිෆර් ලෝපේස් රඟපෑ ද සෙල්. මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කරන ඉමෝටල්ස් ඔහුගේ තෙවෙනි චිත්‍රපටයයි. ඔහුගේ හතරවැනි සිනමා නිර්මාණය ලෙස මිරර් මිරර් නැවතත් රිදී තිරයට නගන්නට ඔහු ඉදිරිපත් වී තිබෙනවා.

තාර්සේම් සිං ගේ චිත්‍රපටවල විශේෂත්වය ඔහුගේ දෘශ්‍ය ශෛලියයි. ඉතාමත් කලාත්මක වර්ණවත්(ඉන්දීය ආභාෂය මැනැවින් දිස්වන) දර්ශන ගොන්නකින් ඔහුගේ සිනමාව පිරී පවතිනවා. ඒවායේ දර්ශන තල චරිත වාගේම ඇඳුම් නිර්මාණය පවා ඉතාමත් කලාත්මකයි. ඔබව සිහින ලෝකයකට කැඳවා ගෙන යන බඳු රූප පෙලකින් සමන්විත ඔහුගේ මෙම නවතම උත්සාහය සුන්දරත්වයත්, මායාවත් ක්‍රියාදාමයන් ද සමඟ එකට මුසු කර ප්‍රේක්ෂක ඔබට ඉතාමත් මනරම් රසාස්වාදයක් ලබා දෙන බව නම් නිසැකයි.

නපුරු කුඩම්මා ලෙස ජුලියා රොබට්ස් රැජිනගේ චරිතයට මැනවින් ගැළපෙනවා. ලොව සුපතල ගායක ෆිල් කොලින්ස් ගේ දියණිය ලිලී කොලින්ස් මෙහි ස්නෝ වයිට්ට පණ දෙනවා. ඇය හැටේ දශකයේ ඔබ දුටු සුරූපී ඔඩ්‍රි හෙප්බන් ගේ යොවුන් රුවට ඉතාමත්ම සමානකමක් දක්වනවා.

හිනා යන මායාකාර දසුන් පෙලකින් සමන්විත මෙම චිත්‍රපටයේ ලිලී කොලින්ස් කොතරම් අහිංසක ආදරණීය වුවත් හොඳම දසුන් පෙලට හිමිකාරිය වන්නේ ජුලියා රොබට්ස්මයි. බියුටි කල්චර් ගැන ඇය කෙතරම් උනන්දුවක් දක්වනවාද, තම රූපය රැක ගැනිමට ඇය නොකරන්නේ කුමක් ද දුටු විට නම් සිනහා නොවී සිටීමට අපහසුයි.

නමුත් දෙබස්වල නම් ජීවය අඩුයි. මෙහි අන්තර්ගතය ද දෘශ්‍ය ශෛලිය තරමටම පරිපූර්ණ වූවා නම් ඉතාමත්ම විශිෂ්ට චිත්‍රපටයක් නැරැඹීමේ හැකියාව ප්‍රේක්ෂක ඔබට ලැබෙන්නට තිබුණා.

මෙම ස්නෝ වයිට් කතාවට නැවත නිර්මාණය කරමින් දැවැන්ත හොලිවුඩ් චිත්‍රාගාර දෙකක් මේ ගිම්හානයේ ද්වන්ධ සටනකට පැටලී තිබෙනවා. අනෙක් චිත්‍රපටයත් ඔබට ළඟදීම නරඹන්නට ලැබෙන ස්නෝ වයිට් ඇන්ඩ් ද හන්ටිස්මන් නැමැති වඩාත් පරිණත ප්‍රේක්ෂක සමූහයක් ඉලක්ක කරගෙන රූපට් සැන්ඩස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ක්‍රියාදාම චිත්‍රපටයයි.