වර්ෂ 2012 ක්වූ මැයි 03 වැනිදා බ්‍රහස්පතින්දා




නායකත්වය සොයා ගිය නිවේදකයා

නායකත්වය සොයා ගිය නිවේදකයා

විශ්ව ලංකා

නායකත්වය සොයා ගිය ගමනක ඔහුත් සගයෙකි. මේ සගයා මඟ නතර වූයේ ජයග්‍රහණය පෙනෙන මානයේදීය. එහෙත් ඔහු තුරුණු ජවය සමඟ මේ දෙරණේ නොමැකෙන පිය සටහන් තබන්නට දැනටමත් සමත් බව නම් නොරහසකි. තවත් අගය නොකොට ඔහුව නමින් හඳුන්වා දෙමි. ඔහු විශ්ව ලංකා පණ්ඩිතරත්න. මේ ළෙන්ගතු කතාබහ ඔහු සමඟයි.

මේ රියල් ලිඩර් විශ්ව ද? නිවේදක විශ්ව ද?

මෙහෙමයි, විශ්ව ලංකාට ජීවිතය හොයලා දුන්නේ ’රියල් ලීඩර්’ කියන දෙරණෙ විකාශය වුණු රියැලිටි වැඩසටහන. උසස් පෙළ විභාගයෙන් පසුව හිටියේ හරියට කරකවලා අත ඇරලා දාලා වගේ. ඒ කාලේ මට කිසිම අරමුණත් තිබුණේ නෑ. දෙරණෙ ‘රියල් ලීඩර්’ කියලා අලුත් රියැලිටි වැඩසටහනක් පටන් ගන්න බව දැකලා නංගි තමයි මගේ ඇප්ලිකේෂන් එක දැම්මේ. ඒ තරගෙදි මම අවසන් පස් දෙනා අතරට ආවා.

නිවේදක විශ්ව කොහොමද ආවේ?

රියල් ලීඩර් තරගයෙන් ඉවත් වුණාට ‘දෙරණ’ නාලිකාවෙන්ම ඇරැයුමක් ලැබුණා වැඩසටහන් ඉදිරිපත් කරන්න. මාස හයක පුහුණුවෙන් පසු විශ්ව ලංකා පණ්ඩිතරත්න නිවේදකයකු ලෙස ප්‍රේක්ෂකයන්ට සමීප වුණා.

කවදා හෝ අදහසක් තිබුණා ද නිවේදකයකු වෙන්න?

නෑ. හැබැයි පුංචි කාලේ ඉඳන්ම මට ඕන වුණේ අපේ රටේ ජනප්‍රිය කෙනෙක් වෙන්න. දැන් ඒ බලාපොරොත්තුව සැබෑ වීමේ සතුටින් මගේ හිත පිරිලා.

යෞවනය හරි දඩබ්බරයිලු. ඒ දඩබ්බර යෞවනයේ හිණිපෙත්තෙම ඉන්න විශ්වත් දඩබ්බර රැල්ලට හසු වූ සන්නිවේදකයෙක්ද?

කාට හරි මාව දඩබ්බරයෙක් වගේ පේනවද දන්නේ නෑ. හැබැයි මම එහෙම නෑ. ඒ වගේම මම රැල්ලට හසු වෙලත් නෑ. නිවේදකයෙක් කතා බහෙන්, රූපයෙන් සහ ඇඳුමෙන් පැළඳුමෙන් තමන්ගේ ප්‍රේක්ෂකයින්ව ආකර්ෂණය කර ගන්න ඕන. එහෙම වෙනවා කියන්නේ පෙර වාසනාවක්. මම ඒ කරුණු තුන ගැනම සැලකිලිමත්. හැබැයි මම ප්‍රමුඛත්වය දෙන්නේ මගේ කතාවට. විශ්ව ලංකා කවදාවත් එක තැනකට කොටු වෙලා නෑ. හරියට අතු ගංගා තියෙන ප්‍රධාන ගඟක් වගේ තමයි මම. පෝ දා වැඩසටහන්, වාහන ගැන, චිත්‍රපට ගැන කරන බයිස්කෝප් සහ සිංදු රික්වෙස්ට් ෂෝත් මම ඉදිරිපත් කරනවා.

විශ්ව නිවේදන වෘත්තියේදී කවුරුව හෝ අනුකරණය කරනවාද?

මම කාවවත්ම අනුකරණය කරන්නේ නෑ. නමුත් මම අසේල බණ්ඩාරනායක අයියාගේ කතාවට සහ නාරද බක්මීවැව අයියා සැහැල්ලුවෙන් වැඩසටහන් ඉදිරිපත් කරන විදිහට ගොඩාක් කැමැතියි.

දැන් දැන් විශ්ව තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේ?

ඔව්. ඔව්. අපි එහෙමයි. මේ දවස්වල මම නිවේදකයෙක් වගේම රංගන ශිල්පියෙක්. මිත්‍ර සමාගම, නිල් දිය රළ, දූවරු වගේ ටෙලි නාට්‍ය ගණනාවකට මම දායක වුණා. ළඟදීම දවසක රිදී තිරයත් මට ආගන්තුක නොවේවි. එකක් තවම කිව්වේ නෑ.

ඒ මොකක්ද?

මම රොමේෂ් අයියායි TV දෙරණ සභාපති ලක්සිරි වික්‍රමගේ මහත්මයා සමඟ ගීතයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

එච්චරද විශ්වගේ භූමිකාවන්?

දැනට එච්චරයි. හැබැයි අනාගාතයේදී මම වැඩසටහන් නිෂ්පාදකවරයෙක් වගේම ව්‍යාපාරිකයෙකුත් වෙන්න බලාපොරොත්තු වෙනවා.

දැන් ඔය තනිකඩ ජීවිතයට ආයුබෝවන් කියන්න කාලය හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?

හිතෙනවා, හිතෙනවා. කොච්චර නම් එහෙම හිතෙනවාද කියලා කිව්වොත් ඒ නිසාම මම . . . නෑ නෑ . . . අපි තීරණය කළා විවාහ වෙන්න. අවුරුදු හයක ප්‍රේමණීය කතාවක් ජූලි මාසයේදී අනිවාර්යයෙන්ම විවාහයෙන් අවසන් කරලා අපි අරඹනවා ආදරණීය යුග දිවියක්.