වර්ෂ 2012 ක්වූ මැයි 03 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවියට පින්තූර අරන් ගෙදරින් දොට්ට

සරසවියට පින්තූර අරන් ගෙදරින් දොට්ට

සරසවිය සිය අභිමන් ගමනේ ස්වර්ණ ජුබිලියට පිවිස සිටින මේ අවස්ථාවේ මගේ සිත ඇදී යන්නේ සදා අනුස්මරණීය මතක සටහන් බොහොමයක් වෙතය. කලා ලොවේ විවිධ වූ කුසලතාවයන්ගෙන් සුපෝෂිත වූ විවිධ පුද්ගලයන්ගේ හැකියාවන් එදා මෙන් අදත් සරසවිය සිහිපත් කරනුයේ මහත් වූ ගෞරවාදරයකින් යැයි මට හැෙඟ්.

අවමගුලදා රුක්මණී රසිකයන්ගේ කර මතින්

1963 අප්‍රේල් දහ වෙනිදා මීමන ප්‍රේමතිලකයන්ගේ කර්තෘත්වයෙන් ඇරැඹි සරසවිය පුවත්පතේ මුල් කවරය එදා හැඩ වූයේ ගෞතමදාසයන්ගේ තෙලි තුඩින් ඇඳි වෛවර්ණ චිත්‍රයකිනි. ඒ මුල් සරසවිය පිටපතක් මා අතට පත් වූයේ මා පාසල් ශිෂ්‍යයකුව සිටින අවධියේදීය. එය මහත් වූ ආශාවෙන් මම කිය වූවෙමි.

පසු කලෙක එය සිනමා පුවත්පතක් ලෙස එළි දුටුව ද සරසවිය මුල් අවදියේ සිනමා පුවත්පතක්ම නොවීය. එය තුළ පුංචි දරුවන්, කාන්තාවන් මේ හැම කෙනෙක්ම ඉලක්ක කොට ගත් ලිපි ඇතුළත් කර තිබුණි. ඒ කාලයේ මා පානදුර ශාන්ත ජෝසප් විද්‍යාලයේ ඉගෙන ගන්නා අවධිය විය. මා දැඩිව ආශා කළේ චිත්‍ර ඇදීමටත්, ඡායාරූප කලාවටත්ය.

මේ ආශාව නිසාම මා දවස පුවත්පත් ආයතනයේ ටිකිරි පුවත්පතට කාටුන් ඇන්දෙමි. රස කතා, ගීතාංජලී පුවත්පත් සඳහා මම චිත්‍ර ඇන්දෙමි. චිත්‍ර කතා කියවීමෙන් සහ ඇඳල තියෙන චිත්‍ර බැලීමෙන් මම ලබපු වින්දනය වචනයට පෙරලන්න බැරි තරම්ය.

ඡායාරූප කලාවටත් මගේ හිත ගියේ එහෙමයි. විල්සන් හෑගොඩ මහත්තයාගේ කොළඹ තිබුණ ඡායාරූප කලා සංගමයට පැමිණ ඡායාරූප කලාව ඉගෙන ගත්තා. ඒ වකවානුවේ චිත්‍ර කතාවලට තිබුණ කැමැත්ත නිසාම තලංගම ජයසිංහ මහත්තයා අදින චිත්‍ර කතා බලන්න මහත් කැමැත්තක් මා තුළ විය.

මා ඇලුම් කළ ඒ චිත්‍ර කතාවලට වගේම තලංගම මහත්තයාටත් මා ආශා කළෙමි. ඒ වනතුරුත් තලංග මහත්තයා සමඟ කතා බහ කරලා නොතිබුණි. එහෙත් ඔහුගේ ඡායාරූපයක් පවා මා පර්ස් එකේ දමාගෙන සිටියේය.

මම දිනක් බස් රියේ යන විට තලංගම මහත්තයා වැන්නෙකු දැක මම ඔහුට කතා කළෙමි. මා ළඟ තිබුණ ඔහුගේ පොටෝ එකත් පෙන්වූයෙමි. මගේ කාටුන් ඇදීම ගැනත් පැවසීමි. ඡායාරූප ගැනීමේ හැකියාව ද පැවසුවෙමි. ඔහු තලංගම ජයසිංහ විය. එවිට ඔහු මට ලේක්හවුස් එන්නට ආරාධනා කළේය.

මේ අවදියේ මා පාසල් ගියේ මරදානේ ස්ථානයක සිටයි. මම තලංගම මහත්තයා පැවසූ දවසේම ලේක්හවුස් එකට ගියෙමි. ඔහු පින්තූර ටිකත් රැගෙන ඡායාරූප කර්තෘ නිමල් පෙරේරා ළඟට ගියේය. මා ගත් පින්තූර නිමල් පෙරේරා අතට තැබූ තලංගම මහතා මා පිළිබඳ පුංචි පහේ පුරාජේරුවකුත් කියන්න පටන් ගත්තේය. ‘මෙයාගේ පොඩි පොඩි අඩුපාඩු පින්තූරවල තියනවා. ඒත් මෙයාව අපි අරගෙන අඩුපාඩු හදා ගමු’ නිමල් පෙරේරා පැවසුවේය.

මුලින් සාහිත්‍යයට බර පුවත්පතක්ව ඇරැඹි සරසවිය ඒ අවදිය වන විට සිනමාවට නැඹුරු වූ යුගයයි. ඡායාරූප ශිල්පී රෙජී බුලත්සිංහල සරසවියට පින්තූර ගනිමින් සිටියේය. තවත් ඡායාරූප ශිල්පියෙකුගේ අඩුවක් තිබුණ හෙයින් මාව නිමල් පෙරේරා සරසවියේ පින්තූර ගැනීමට යොමු කළේය. මේ වාසනාව මා හට ලැබුණේ පාසල් යන කාලයේදීයි.

ගෙදරින් ඉස්කෝලේ යන විදියට ඇවිත් කොළඹ මහජන පුස්තකාලයට ගිහින් එහි පොත් ටික තබා ලේක්හවුස් පැමිණියෙමි. මේ හොර වැඩේ ටික දවසක් යන කොට ගෙදරට ආරංචි විය. මා නිවසින් ද පන්නා දැමිණි. මේ සිද්ධිය වෙන කොට මා සරසවිය පත්තරයට පින්තූර අරගෙනම චිත්‍රපට ක්ෂේත්‍රයේ කීප දෙනෙක්ව හඳුනා ගෙන තිබුණි.
විජිත මල්ලිකා සන්ධ්‍යා කුමාරි

ඒ අතරින් කෙනෙක් වූයේ චිත්‍රපට අධ්‍යක්ෂ හා නිෂ්පාදක විමලදාස පෙරේරාය. මට වූ අකරතැබ්බය දැනගත් විමලදාස පෙරේරා ඔහු ජීවත් වූ මරදානේ තිබූ රවුෆ් ගොඩනැගිල්ලේ උඩ තට්ටුවේ කාමරයක් මට නවතින්න සලසා දුන්නේය. ඒ කාලයේ මෙතනට නොයන කලාකාරයෙක් නැත. ඒ හැම කෙනෙක්ම රවුෆ් බිල්ඩිමට ආවා ගියා.

විමලසිරි පෙරේරාගේ කර්තෘත්වයෙන් සිනමාවට වැඩි නැඹුරුවක් ඇතුව නිර්මාණය වූ සරසවිය පුවත්පත කැමරාවයි මුහුණයි විශේෂාංගයක් පටන් ගත්තේය. මගේ සරසවියේ මුල්ම ඡායාරූප ගැනීම එය විය.

සබීතා පෙරේරා, කාන්ති ලංකා, මැණික් කුරුකුලසූරිය, ගෝතමී පතිරාජ, ශිරානි නුගේරා, අසංකා මොනරවිල, මාජි මන්ත්‍රිනායක, නදීකා ගුණසේකර, ජෙනිටා සමරවීර, වසන්ති චතුරානි, චාන්දනී සෙනෙවිරත්න, බියුලා ඩයස්, ෆරීනා ලායි ආදී බොහෝ දෙනෙක්ගේ රුව මා මේ විශේෂාංගය සඳහා කැමරාවේ සටහන් කර ගත්තේය.

තුෂාරා චිත්‍රපටයට විජය, මාලිනී විවාහ වූදා

සරසවිය සඳහා මම කළ මුල්ම වර්ණ ඡායාරූපය වුණේ මාලිනී ෆොන්සේකා මුරගලක් අසල සිට ගත් පින්තූරයකි. මේ පින්තූරය ගත්තේ සරසවියේ කැලැන්ඩරයක් සඳහාය.

පානදුරේ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ පාසල් වාර්තාකාරයෙක් ලෙසත් මම කටයුතු කළෙමි. විල්සන් හෑගොඩ මහතා ළඟ ඡායාරූප කලාව ඉගෙන ගන්න කාලයේ එතුමා මට රොලි කෝඩ් වර්ගයේ කැමරාවක් දී තිබිණි. මේ කැමරාවෙන් මම කොළඹ ඉඳලා පානදුරේට ඇතුළු වෙන තැන පාර අයිනේ තියෙන බුදු පිළිමය ඡායාරූප ගත කළෙමි. අනුල ද සිල්වා කර්තෘවරිය ලෙස මිහිර පත්තරේ කටයුතු කරන කාලයේ මගේ මේ ඡායාරූපය මුලින්ම පුවත්පත් ඡායාරූපය විදියට පළ විණ.

ඒ අවදියේ රෙජී බුලත්සිංහලත්, මමත් හරි හරියට මාරුවෙන් මාරුවට පින්තූර ගත්තෙමි. ඔය කාලයේ සරසවිය පටන් ගත්ත පින්තූර කතා රාශියකට පින්තූර ගත්තේ මම. සූකිරි කන්ද නමින් රාජා ටී. බස්නායක ලිව්ව කතාවකට ස්වර්ණා මල්ලවාරච්චි, නලින් විජේසේකර, ආදරණීය අයිරා නමින් ටෝනි රණසිංහ ලියූ කතාවකට විජය, මාලිනී, අයියලා නංගිලා නමින් දෙල්තොට චන්ද්‍රපාල ලියූ කතාවකට මාලිනී, විජය, රවීන්ද්‍ර රන්දෙනිය, ස්වර්ණා කහවිට, වැල්ලේ තනි වූ ගැහැනිය නමින් කරුණාරත්න සපුතන්ත්‍රි ලියූ කතාවකට අමරසිරි කලංසූරිය, ශ්‍රියානි පෙරේරා, ආනන්ද ජයරත්න, ගාමිණී ෆොන්සේකා, නිලන්ති විජේසිංහ, බිහිරි ලොවක් නමින් ජයකොඩි සෙනෙවිරත්න ලියූ කතාවකට විජය - ස්වර්ණා කහවිට මේ අතරින් සමහරෙක්.

මගේ මුල් නම වුණේ බන්දු කේ. සමරරත්න. සරසවිය පුවත්පතට මම සම්බන්ධ වෙන වකවානුවේ පර්සි ජයමාන්න මහත්තයා මගේ නම වෙනස් කළේය. ඒකට හේතුවක් විය. එවකට ලේක්හවුස් එකේ මට වඩා ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පියෙක් වූවේ එල්. ඊ. සමරරත්නය. පර්සි ජයමාන්න මහත්තයා මට මේ පටලැවිල්ල පහදලා දුන්නා. ඒ අනුව බන්දු කේ. සමරරත්න නමෙන් සමරරත්න නමින් එස් අකුරත් කේ අකුරෙන් කොඩිකාරත් කියල හදලා බන්දු එස්. කොඩිකාර පර්සි මහත්තයා නිර්මාණය කළේය.

විමලදාස පෙරේරා මහත්තයා මට රොලි ෆැක්ස් වර්ගයේ වටිනා කැමරාවක් අරන් දුන්නේය. මේ කැමරාව අදටත් මා සතුව ක්‍රියාකාරී තත්ත්වයේ පවතී. මෙරට බොහෝ නළු නිළියන්ගේ ඡායාරූපවලින් සරසවිය කවරය සැරසුණේ එයින්. පින්තූර ගැනීම නිසා මාව ගෙදරින් එලෙව්වත් මට ජීවත්වීමට ඡායාරූප සඳහා ලේක්හවුස් එකෙන් ලැබුණ ගෙවීම ප්‍රමාණවත් විය.

ඉතිරි කොටස ලබන සතියේ