වර්ෂ 2012 ක්වූ මැයි 03 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

 අර්ජුන්ගෙන් අහන්න

පැරැණි චිත්‍රපට සමාගම් වූ සීමාසහිත සිනමාස්, සීමාසහිත සිලෝන් තියටර්ස් හා සිලෝන් එන්ටර්ටෙයින්මන්ට් යන සමාගම් තවමත් චිත්‍රපට ප්‍රදර්ශනය කරනවාද?

ජයන්ත විජේසූරිය

වටපුළුව, මහනුවර

ප්‍රදර්ශනය කරනවා විතරක්නොවේ, තවමත් සිනමාවේ. සිලෝන් තියටර්ස්, සිනමාස් සහ සිලෝන් එන්ටර්ටෙයින්මන්ට් යන ආයතන ඒකාබද්ධ වී සී. ඊ. එල්. මණ්ඩලය නිර්මාණය කර තියෙනවා. රීගල් ප්‍රමුඛව අද මේ මණ්ඩලයේ බොහෝ චිත්‍රපට ප්‍රදර්ශනය වෙනවා.

විශාරද නන්දා මාලිනී සහ ආචාර්ය වික්ටර් රත්නායකයන් යුග ගීතයක් ගායනා කර ඇත්තේ ‘මී මැස්සෝ’ චිත්‍රපටයට පමණක්ද?

කේ. ජී. සෝමදාස

තම්මිට, මාකේවිට

නැහැ, තවත් චිත්‍රපට කිහිපයක් තියෙනවා. මුවන් පැලැස්ස දෙක, ‘නිල් වන ලන්දේ මල් මකරන්දේ’ ඊට හොඳම උදාහරණයයි.

හැට දශකයේ ප්‍රේක්ෂක හදවත් දිනූ සංදේශය චිත්‍රපටයේ ගී තනු නිර්මාණය කළේ කවුද?

හිලරි සිරිලාල් ද අල්මේදා

මොරටුවැල්ල, මොරටුව

අපේ විශිෂ්ඨ සංගීතවේදියකු වන සුනිල් ශාන්තයන් විසින්.

එදා මෙදාතුර සිංහල චිත්‍රපට නිෂ්පාදනයට උර දුන් මැති ඇමැතිවරුන් කවරහුද?

කමලා සෙනෙවිරත්න

හෝකන්දර දකුණ

කෙහෙලිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන, ඒ. එච්. එම්. ෆවුසි, එම්. එච්. මොහොමඩ්, ෆීලික්ස් පෙරේරා, නීල් රූපසිංහ ඇතුළු මැති ඇමැතිවරු රැසක් සිටිනවා.

එම්. මස්තාන් අධ්‍යක්ෂණය කළ ගාමිණී ෆොන්සේකා ද්විත්ව චරිත රඟපෑ සිංහල චිත්‍රපටයේ නම සඳහන් කරන්න.

ඩී. එම්. සුනිල් ශාන්ත

රත්මල්ගාර

ආත්ම පූජා චිත්‍රපටයනේ සුනිල්.

එච්. ආර්. ජෝතිපාලයන් පසුබිම් ගීතය ගායනා කරන ලද පළමු චිත්‍රපටය ගීතය කුමක්ද?

ආර්. ඒ. අමරසිංහ

කොටහේන

සුරතලී චිත්‍රපටයට ගැයූ ‘සිරියමේ සාරා නැගෙවී හද මෝරා.’

සිකුරුලියා චිත්‍රපටයේ සුවිනීතා වීරසිංහ සමඟ සුවිශේෂී චරිතයක් රඟපෑ නළුවා කවුද? ඔහු ගැන තොරතුරු ටිකක් කියන්න.

විමල් රණසිංහ

ග්‍රෑන්ඩ්පාස්

බන්දුල ගලගෙදර රංගන ශිල්පියායි. ඔහු දැන් සක්‍රීයව කලා කටයුතුවල නියැලුණේ නැතත් සිනමා උත්සව සඳහා සහභාගි වෙනවා.

බොනියම් සහ ඇබා යන බටහිර සංගීත කණ්ඩායම්වල වර්තමාන තත්ත්වය කෙසේද?

අයිලින් සෝවිස්

රාගම

මේ දෙකම වර්තමානයේ අලුත් නිර්මාණයන්හි යෙදුණේ නැහැ. බොනියම් කණ්ඩායමේ සාමාජිකයකු වූ බොබි ෆැරල් පසුගිය වසරේ මිය ගියා. කෙසේ වෙතත් 1984 වනතුරු නිර්මාණ කාර්යේ යෙදී සිටියත් එම වසරෙන් පසුව කිසිදු නිර්මාණයක් කළේ නැහැ.

ස්වීඩන් සංගීත කණ්ඩායමක් වූ ඇබා 1982 දී විසිර ගියා. කෙසේ වෙතත් ‘මම්මා මියා’ චිත්‍රපටය වෙනුවෙන් ඔවුන්ගේ පැරැණි ගීත 2008 වසරේ දී ගැයුවා මෙන්ම එම චිත්‍රපටය ඉහළ ආදායම් වාර්තා තැබුවා. ඔවුන් එක්ව 2000 වසරේ ප්‍රසංගයක් පැවැත්වුවත් එහි අලුත් ගීත අඩංගු වූයේ නැහැ.

හින්දි තිරයේ අවිහිංසක ලෙස චරිත නිරූපණය කළ නූටාන් අපේ පුණ්‍යා හීන්දෙනියට සමානයි නේද?

සරත් රණසිංහ කපුගොඩ

මට නම් කොයි විදිහකවත් සමානකමක් පේන්නේ නැහැ.

සිංහල සිනමාවේ ප්‍රථම ‘සිනමාස්කෝප්’ චිත්‍රපටය කුමක්ද?

මැණිකේ විල්වල කෑගල්ල

වැලිකතර – ඩී. බී. නිහාල්සිංහයන්ගේ.

ජනකාන්ත නළු විජය කුමාරතුංග අවසන් වරට චරිත නිරූපණය කළ චිත්‍රපටය වන්නේ මධු සිහින ද? සමාවද? තන්හා ආශාද?

මිල්ටන් ප්‍රනාන්දු උතුරු මූදුකටුව

අවසන් වරට රූපගත කළේ මධු සිහින.

වොලී නානායක්කාර තාම ජීවතුන් අතර සිටිනවාද?

සුදත් නිශාන්ත මීගමුව

වසර කිහිපයකට පෙර මිය ගියා.

සමහර උත්සවවලදී වේදිකාවේ පාවෙන සමහර ඇත්තියන් දැක්කම බොලිවුඩ්, හොලිවුඩ් ඉක්මවා යයි කියා සිතෙනවා නේද?

සුජාතා ගුණවර්ධන කඩවත

එහෙම ඉක්මවා යන්න පුළුවන් නම් ඉතා හොඳයි.

(අර්ජුන්)