වර්ෂ 2012 ක්වූ මැයි 03 වැනිදා බ්‍රහස්පතින්දා




නිළි රැජන මාලිනිය ගැන දේවාගෙන් මියුරු ගීයක්...

නිළි රැජන මාලිනිය ගැන දේවාගෙන් මියුරු ගීයක්...

ඔබේ සිනා බිඳක් – මුවඟට සිනහ ගෙනෙයි
ඔබේ කඳුළු බිඳක් – දෙනෙතට කඳුළු ගෙනෙයි
ඔබ රිදී තිරේ දිදුලන රන්තරුවයි
මගෙ රට ලැබූ පින්බර රන් මැණිකයි
මාලිනියේ . . . රූ රාජිනියේ . . .

දෙව්දුව වූ ඔබ ගංගාවයි
දියමන්තිය වූ නිධානයයි
ආදරයේ බඹරු ඇවිත්
අන්තිම රෑ තනිවුණ පෙම්බර මධූ
මාලිනියේ . . .

සුසිලා විය ඔබ කඳුළු කෙතේ
දඟකාරිය ඔබ සුසී වගේ
ආරාධනා ඉන්දුට මල් මිටක්
සිරි මැදුරේ අහිංසා පුංචි බබා

ලකීදෙවා ගයන මේ ගීතය එළි දැක් වුණේ මීට කාලයකට පෙරයි. අපේ නිළි රැජනගේ උපන් දිනය වෙනුවෙන් එළි දැක්වුණු මේ ගීතය ගැන නැවතත් ළඟදීම ඇගේ රසිකයනට අසන්නට ලැබේවි.

ඒ ළඟදීම එළි දැක්වීමට නියමිත ලකීදේවාගේ ‘සඳයි සිසිලයි’ සංයුක්ත තැටියෙන්. සංගීතය නැවුම් අයුරින් ඉදිරිපත් කරමින් ගයන මේ ගීතයේ අතීතය පිළිබඳ කියන්නට ලකීදේවා ‘සරසවිය’ හා එක් වූයේ මෙලෙසින්.

‘මාලිනී ෆොන්සේකා කියන්නේ මම පුංචි කාලයේ පටන්ම මගේ හද දිනූ ප්‍රියතම රංගන ශිල්පිනියයි. ඒ නිසාම පාසල් කාලයේදී මා ඇයට නිසදැසක් නිර්මාණය කළා. කාලය ගෙවිලා ගියා. මා ‘ගෝල්ඩන් චයිම්ස්’ සංගීත කණ්ඩායමට බැඳුණා. මේ වෙන කොට ‘ස්පිරිට්’ කියන සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා මමයි. මාලිනී අක්කට තිබුණු ආදරය නිසාම මගේ පරණ නිසදැස වෙනස් කරමින් ගීතයකට රැගෙන එන්නට හිතුණා. එයට සංගීතය තනුව යෙදුවාම බොහොම අපූරු ගීතයක් නිර්මාණය වුණා. මේ ගීතය නිර්මාණයේදී ඇය සම්මාන ලැබූ චිත්‍රපට වගේම ඈ රඟපෑ පළමු චිත්‍රපටයත් ඇතුළත් කළා. ගීතය නිර්මාණය වුණේ ඈ රඟපෑ චිත්‍රපටවලින් වීම මෙහි තිබෙන විශේෂත්වයයි.

‘මාලිනියේ’ ගීතය මුලින්ම මා ගායනා කළේ මගේ ‘මාලිනියේ රූ රාජිනියේ’ කියන සංයුක්ත තැටියටයි. එය එළි දක්වන දවසේ පැමිණි නිළි රැජින මාලිනී ෆොන්සේකා අපේ ප්‍ර‍්‍රවීණ රංගන ශිල්පිනිය කිව්ව දේ මට අද වගේ මතකයි.

‘මගේ ජීවිතයට ලැබුණු ලොකුම සතුටක්’

මෙම ගීතයෙහි තිබෙන්නා වූ අනෙක් විශේෂත්වය මෙයයි. ඒ සමහරු ගීතයකින් උපහාර කරන්නේ මියගිය පසුවීමත්, ඉන් වෙනස් වී ජීවත්ව ඉන්නා කාලයේදීම ඇයට උපහාර ගීතයක් නිර්මාණය වීම හා ගැයීමයි.

‘ඈ වෙනුවෙන් ලියැවුණු මේ ගීතය අහන්න මම ඔබට ආරාධනා කරනවා.’

ලකී කියන්නේ ඔහුගේ හද පත්ලෙන් නැඟුණු සුන්දර හැඟීමෙන්.