වර්ෂ 2012 ක්වූ මැයි 03 වැනිදා බ්‍රහස්පතින්දා




තුවක්කුව අග සුපිපි මල්

තුවක්කුව අග සුපිපි මල්

THE FLOWERS OF WAR

ෂැන්ග් යිමෝව් ( ‘ද ෆ්ලවර්ස් ඔෆ් වෝ’ සිනමාපටයේ අධ්‍යක්ෂ)

හෙතෙම උපන්නේ 1951 නොවැම්බර් 14 වැනිදාය. ප්‍රකට චීන චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකයකු, චිත්‍රපට තිර නාටක රචකයෙකු සහ නළුවෙකි. 1987 දී ඔහු අධ්‍යක්ෂණය කළ ‘රෙඩ් සොර්ගුම්’ වඩාත් ප්‍රකට සිනමාපටයයි. සම්මාන රාශියකින් පුද ලද ඔහු ටු ලිව්, නොට් වන් ලෙස්, රේස් ද රෙඩ් ලැන්ටර්න්, හීරෝ, හවුස් ඔෆ් ෆ්ලයින් ඩ‍්‍රැගර්ස් සිනමාපට පොකුරේම අධ්‍යක්ෂවරයාය. ඔහුගේ නවතම සිනමාපටය ‘ද ෆ්ලවර්ස් ඔෆ් වෝ’ ය.

සියල්ලෝම දුවන්නට වූයේ වෙන් වෙන් දිශාවලටය. එහෙත් කිසිවෙකුට මීදුමෙන් ගැලවී ගත නොහැකි විය. බර අඩි සමඟ සොල්දාදුවන් තුවක්කු ඔසවාගෙන දිවූහ. සැහැල්ලු පාවහන් සමඟ තරුණියෝ බරැති සූට්කේස අතින් ගෙන දිවූහ. සියල්ලන්ටම පෙනි පෙනී සුරූපිණියක් තම ශෝභමාන බව මතකයේ රඳවාගෙනම දුවන්නට වූහ.

නැන්ජිනයට අත් බෝම්බත්, මූණිස්සනුත් සුරූපී මලුත් කඩා හැලුනේ එක විටය. එහෙත් ඉන් ලද බලපෑම විවිධය. ඒ 1937 දෙසැම්බර් 13 වැනිදාය. නැන්ජිනයේ යුද කටයුතු භාරව සිටි මේජර් ලී සතුව එතරම් සොල්දාදුවන් පිරිසක් නොසිටියහ. නැන්ජිනය බේරා ගැනීම සිහිනයක්ව තිබියදීත් අතොලස්සක් දිරිමත් සොල්දාදුවන් නොනැවතීම සටනේය.

පණ බේරා ගනු පිණිස කතෝලික කන්‍යාරාමයක ගැහැනු ළමුන් පිරිසක් දිව යන විදියක ඔවුන්ව පසු කර යන සුදු අශ්වයකු බැඳි රථයකි. ඒ මත නගර ශෝභිනියන් රැසකි. තත් බිඳී යන කුඩා සිතාරයකි.

මේ නම් කදිම ආරම්භයකි.

එහෙත් තවමත් දැඩිව පැතිරුණු මීදුම පණ බේරා ගන්නට දුවන්නන් මං මුලා කර දමයි. මේ අතර අවමංගල්‍ය අධ්‍යක්ෂවරයෙකු වෙඩි උණ්ඩ මඟ හරිමින් හිස හැරුණු අත දුවනු පෙනෙයි. හදිසියේ මතුවන මේ සියලු චරිත ප්‍රේක්ෂකයා මතක තබා ගැනීම නුවණට හුරුය. මන්ද යත් තවත් කෙටි වේලාවකින් ඔවුන් සිනමාපටය තුළ තමන්ට අයිති ඉඩ මත මහත් කැලැඹීමක් ඇති කරන්නට නියමිත බැවිනි. ඒ ‘ද ෆ්ලවර්ස් ඔෆ් වෝ’ සිනමාපටයේ අධ්‍යක්ෂකගේ නියමය මතය.

ෂැන්ග් යිමෝව් අධ්‍යක්ෂණය කළ මේ සිනමාපටය නිෂ්පාදනයට හතර දෙනෙකු දායක වී ඇත. එනම් විලියම් කොන්ග්, ඩේවිඩ් ලින්ඩේ, ෂැන්ග් වේපින්ග් සහ ෂැන්ග් යිමෝව්ය. ගෙලින්ග් යැන්ග් විසින් විරචිත ‘13 ෆ්ලවරස් ඔෆ් නැන්ජින්’ නවකතාව අනුසාරයෙන් නිර්මිත මේ සිනමාපටය 84 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදෙස් සිනමාපටය යටතේ එරටින් නිර්දේශ වුවත් අවසාන වටයට එළැඹීමට අසමත්විය.

අවමංගල්‍ය අධ්‍යක්ෂවරයා නොහොත් ව්‍යාජ පූජකයාගේ චරිතය රඟන ක්‍රිස්ටියන් බේල් ගේ රංගනය පැසසුම් ලැබිය යුතුමය. නගර ශෝභිනියක ලෙස රඟන ‘නී නී’ ද නවක නිළියකි. එහෙත් ඇගේ රංගනයේ ඇති බුහුටිකම වඩාත් ඉහළ තැනකින් ඇයව ඔසවා තබනු පෙනෙයි. සාමාන්‍ය ජීවිතයේදී ඉතාමත් නරක මිනිසුන් පවා යුද්දය වන් අමානුෂික කාර්යයකට මැදි වූ පසු, ඉන් සමාජයට අත් වන අකටයුතුකම් මැද යහපත් මිනිසුන් බවට හැරවෙන ආකාරය ඇහැට ඇඟිල්ලෙන් අනිමින් පෙන්වන ආකාරය පුදුමාකාරය. නැන්ජිනයේ ප්‍රකට දූෂ්‍ය ලෙස වර නැඟුණු මේ චීන ජපාන යුද්ධය ලෙසින් නැහැවුණු අතීතයක් අපට රඟ දක්වා පෙන්වයි.

කන්‍යාරාමයේ කුඩා දැරිවියන් දුටු කළ ‘කන්‍යාවියන්’ යැයි පවසමින් ජපාන සොල්දාදුවන් මොර දෙන ආකාරයත්, මහා යුද ගැටුමක් මැද ඔවුන්ව දූෂ්‍ය කරන ආකාරයත් හෙළි කරන අමානුෂිකත්වය වෙඩි උණ්ඩලට වඩා වේදනාකාරීය. යුද්ධයක අනිවාර්ය අතුරුඵල මේ යැයි අධ්‍යක්ෂවරයා අපට නොකීවත් යමක් අනුමාන කිරීමට බුද්ධිමත් ප්‍රේක්ෂකයාට හැකිය.

චීන සොල්දාදුවන් සතුව ඇති මිනිස් බලය පිරිහෙන විට උණ්ඩයෙන් සටන් කිරීම අත්හැර මිනිස් බෝම්බ තනා ගෙන කැමැත්තෙන් යුද ටැංකි ඉදිරිපිටට පනින චීන සොල්දාදුවන්ගේ දිරිය හිත තිගැස්වන සුළුය.

ජපන් යුද ටැංකි විනාශ කරනු පිණිස ළය මත ඝනකම පළිහ බැඳගෙන වෙඩි උන්ඩයට ළය දෙන සොල්දාදුවන්ගේ චිත්ත ශක්තිය තම මවුබිම බේරා ගැනීම පිණිසය. සතුරා ඉදිරියට බෝම්බ ඇඟ බැඳගෙන යන සොල්දාදුවන් එක් යුද ටැංකියක් පමණක් පුපුරුවා හැරීමට සමත්ය. හාත්පස විසිරෙන සිරුරු එකදු උණ්ඩයක් වියදම් නොකර මිය ගිය ඒවාය. මේ යුද්ධයේ බිහිසුණුකමයි.

එක් නුවණක්කාර චීන සොල්දාදුවෙකු සිනමාපටය පුරාම පෙන්වන ආත්ම ශක්තිය පැසසුම් ලැබිය යුතුය. ඔහුගේ අරමුණ කන්‍යාරාමයේ කුඩා දැරියන්ව ආරක්ෂා කිරීමයි.

මුදල් බලාපොරොත්තු වන නගර ශෝභිනියකගෙන් ලාලාසාව බලාපොරොත්තු වන අවමංගල්‍යය අධ්‍යක්ෂවරයා මොහොතකින් ව්‍යාජ පූජකයකු වන ආකාරයත් අවසන ඔහු නියම පූජකවරයෙකුටත් වඩා හොඳින් කන්‍යාරාමය රැක ගන්නා ආකාරයත් රුචිය වඩවන සුළුය. සුළු නරකක් ඇති මිනිසුන් වඩාත් අප්‍රියජනකව හැසිරෙන ආකාරයත්, මුළුමනින්ම අප්‍රියකාර මිනිසුන් යහපත් චරිත ලක්ෂණ ඇත්තන් බවට පත් වන ආකාරයත් එතරම් පුදුම උපදවන සුළු නොවේ.

කන්‍යාරමයේ සන්සුන් බවත්, හික්මීමත් කුඩු පට්ටම් කර දමමින් නගර ශෝභිනියන් පොකුරක් කන්‍යාරාමයට බලෙන් ඇතුළු වී සිනමාපටයට අමුතු පාරක් තනා දෙයි. තම රයිෆලයේ දුරදක්නය තුළින් කන්‍යාරාමයේ සිදුවීම් නරඹන චීන සොල්දාදුවාගේ මැදිහත්වීමෙන් මේ ඔවුන් සිටින්නේ යුද්ධයක් මැද බව යළිත් ප්‍රේක්ෂකයාට මතක් කර දෙයි.

මිය යාමට ආසන්න කුඩා සොල්දාදුවෙකු කන්‍යාරාමයට ගෙන එන චීන සොල්දාදුවා යළිත් සිනමාපටයේ හැඩය වෙනස් කරයි. එවක් පටන් එක් නගර ශෝභිනියක් ඔහුටම කැප වී උපස්ථාන කරයි. ඔහු වෙනුවෙන් තම සිතාරය වැයීමට ඉදිරිපත් වෙයි. එහෙත් ඇගේ සිතාරයේ ඇත්තේ එක තතකි. ඕ මහා යුද ගැටුම් මැද සිතාරයේ අනෙක් තත් ගෙන ඒමට තම සේවා ස්ථානයට තවත් එකියක සමඟ හොරෙන් පැන යයි. ඔවුන්ව සොයා යාමට ජෝන් මිලර් එකඟ වන්නේ ඉනික්බිතිවය.

සිතාරය වැයීමට පෙර ආමනුෂිකව දූෂණයට ලක්ව නගර ශෝභිනියන් දෙදෙනා මිය යන අතර ඇගේ සිතාර් වාදනය නොඅසාම කුඩා සොල්දාදුවා මිය යයි.

යුද්ධයක් පැවැත්වෙන අවස්ථාවක වුව මනුෂ්‍යත්වය නොනැසෙන අතර, තවත් අන්තයක ද නොනැසී තිබිය යුතුª මනුෂ්‍යත්වය කුඩු පට්ටම් වී යයි. මිනිස්කම තුළම පවතින රුදුරු ගති ලක්ෂණ යටපත්ව පවතින ආකාරය මනාව චිත්‍රණය වී ඇති රූප රාමු ප්‍රේක්ෂකයාව තාවකාලික කම්පනයකට පත් කරවයි.

සුරූපී නගර ශෝභිනිය ‘මෝ’ සිනමාපටය පුරාම නොමැකෙන සළකුණු තබමින් ලලිතවත්ව ඇවිද යයි.

ජපාන හමුදාවේ කර්නල්වරයෙකු වූ හසගාවා කන්‍යාරාමයට පැමිණ ගැහැනු ළමයින්ගේ ගායනා හැකියාව පිරික්සමින් ඔවුන්ව තාවකාලිකව සිර අඩස්සියක තබයි. ඒ යුද ජයග්‍රහණය සැමරීමටය. කුඩා ගැහැනු ළමයින් කෙළසීම පිණිස මොහොතකට පෙර සතුරන්ව සිටි නගර ශෝභිනියන් සහ කුඩා කෙල්ලන් එක පෙළට සිට ගන්නේ ඉන් පසුවය.

 කුඩා කෙල්ලන් වෙනුවට ජපන් හමුදාවේ නරුම ආශාවන් ඉටු කිරීමට සැරැසී මරු කටට යන සුරීපිනියන් සිනමාපටය පුරා සිනාමුසු මුහුණින් සිටිනවා මට පෙනෙයි.

නැන්ජිනය ලේ ගංගාවක් හෙලා ජපානයට යටත් වූ පසුත් කතාව කියන කන්‍යාරාමයේ දැරිවිය ප්‍රකට කරන පසුතැවීම හුදෙක් නගර ශෝභිනියන් උදෙසා හට ගත්තක් නොව තම මවු රට උදුරා ගත්තවුන් කෙරෙහි ඇති වූවකි.

චීන සිනමා ඉතිහාසයේ වැඩිම වියදමක් දරා නිපැයූ මේ සිනමාපටය එරට වැඩිම ආදායමක් ඉපයූ සිනමාපටය ද වේ. නිකුත් කර පළමු දින හතර ඇතුළත පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 24 ක් ඉපැයූ සිනමාපටය සති දෙකකට පසුව අමෙරිකානු ඩොලර් මිලියන 70 ක් උපයා ගෙන ඇත.

‘මට තියෙන්නේ එක තතයි. ඒකෙන් ලස්සට වයන්න බෑ’

නගර ශෝභිනියකට එසේ කිව හැකිව තිබියදී සොල්දාදුවෙකු එක් උණ්ඩයකින් තම ජීවිතය රැක ගත හැකිද?