වර්ෂ 2012 ක්වූ මැයි 03 වැනිදා බ්‍රහස්පතින්දා




නමක් නැති මිනිසාගේ නිමක් නැති පෙම් කතා -4

නමක් නැති මිනිසාගේ නිමක් නැති පෙම් කතා -4

ක්ලින්ට් ලෝකයට පරකාසේ ගෙදරට මරගාතේ

පැට්‍රික් මැක්ගිලන් නමැති ලේඛකයා ලියූ ග්‍රන්ථයකින් පැවසෙන්නේ ඩොලර් චිත්‍රපට ත්‍රිත්වය හා ඩර්ටි හැරී චිත්‍රපට පෙළ හරහා හොලිවුඩයේ වීර ප්‍රතිරූපයක් මවා ගත් ක්ලින්ට් පිළිබඳ මිථයා මත රැසක් ද වැපිරී ඇත කියාය. ඔහු පවසන ආකාරයට ක්ලින්ට් කිසි විටක ගුණ යහපත් සැමියකු වී නැත.

අලුත්ම පෙම්වතිය සොන්ඩ්‍රා ලොක්

තම බිරිය මැගී තමාට එරෙහිව යමක් පැසුවහොත් ඒ වහා ඇයට පහර දෙන්නට ද ක්ලින්ට් පෙලඹී තිබේ.

පැට්‍රික් පවසන ආකාරයට මැගී හා ඇසුරු කරන අතරතුර ද ක්ලින්ට් රහස්‍ය පෙම් සබඳතාවන් පවත්වා ගෙන ගොස් තිබේ. ඒ ජේන් බ්‍රෝලින් නමැත්තියක සමඟිනි. ‘රව්ඩි’ මාලා ටෙලි නාටකයේ රඟපාමින් යම් ප්‍රසිද්ධියක් ලබන විට ඔහු ජේන් වෙතින් ඉවත් වී තිබේ. පැට්‍රික් පවසන ආකාරයට ජේන් බ්‍රෝලින් වතාවක් ක්ලින්ට් නිසා ගැබ් ගෙන තිබේ. තම කීර්තියට එවැනි දරු උපතක් කැළලක් වනු ඇතැයි සිතූ ක්ලින්ට් ජේන්ව පොලඹවා ඇත්තේ ගබ්සාවක් සඳහාය.

පසුගිය කලාපයේ අප සඳහන් කළේ තමා ගැබ්ගෙන ඇති බව දැනගත් වහා රොක්සානේ ටියුනිස් අතුරුදන් වූවා කියාය. රොක්සානේ එසේ ක්ලින්ට් වෙතින් ඈත් වූයේ ඔහු තමාට ගබ්සාවක් කර ගන්නැයි බල කිරීමට ඉඩ තිබූ නිසා වන්නට ද පුළුවන.

මැගී ජොන්සන් හා යුග දිවිය පවත්වා ගෙන ගිය ද ඒ අතරතුර ක්ලින්ට් කැතරින් ඩෙනියුව්, පෙගී ලිප්ටන්, ජීන් සෙබර්ග්, ජේමී රෝස්, ඉන්ගර් ස්ටීවන්ස් වැනි කාන්තාවන් හා සබඳතා පැවැත්වූයේය.

කැතරින් ඩෙනිව් ප්‍රංශ ජාතික නිිළියක වූ අතර 1966 දී පමණ ඇය ක්ලින්ට් හා සබඳතා පැවැත් වූ බව පැවසෙයි. කෙසේ වෙතත් කැතරින් එක් පිරිමියකුගෙන් පමණක් සැනසුණ කාන්තාවක් නොවේ.

1970 දශකයේ ඇය හාද වී සිටියේ ප්‍රංශ නව රැල්ලේ සිනමාකරුවකු වූ ප්‍රාංශුවා ටෲපෝ සමඟිනි. 1968 වන විට දෙවැනි ලෝක යුද්ධය පසුබිම් කරගත් කතා පුවතක් ්සහිත ‘වෙයාර් ඊගල්ස් ඩෙයාර්’ චිත්‍රපටයේ රූගත කිරීම් ඔස්ට්‍රියාවේ හා ලන්ඩනයේ සිදු වෙමින් තිබිණි.

ජෝ ඈන් හැරිස් සමඟ ක්ලින්ට් රිචඩ් බර්ට්න් හා ක්ලින්ට් ‘වෙයාර් ඊගල්ස් ඩෙයාර්’ චිත්‍රපටයේ

ක්ලින්ට් ඊස්ට්වුඩ් හට මේ රූගත කිරීම්වලදී අපූරු නළු නිළි යුවළක් මුණ ගැසිණි. ඒ බ්‍රිතාන්‍ය ජාතික සම්මානනීය නළු රිචඩ් බර්ට්න් හා නිළි එළිසබෙත් ටේලර්ය.

බර්ට්න් ක්ලින්ට් සමඟ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑ නමුත් ටේලර් එහි රඟපෑවේ නැත. මේ තිදෙනා රූගත කිරීම් අවසන්ව විවේකීව එක් වූ අතර ක්ලින්ට් හා බර්ට්න් අතර මිත්‍ර සබඳතාවක් ගොඩ නැඟිණි.

විශේෂයෙන්ම බර්ට්න් ක්ලින්ට් හා මත්පැන් පානය කරමින් සතුටු සාමීචියේ යෙදෙන්නට කැමති වූයේය. දෙදෙනා බොහෝ විට කතා කළේ ඔවුන්ගේ අනියම් සබඳතා ගැනය. කෙසේ වෙතත් මේ දිනවල ක්ලින්ට් හට දිනපතා ලොස් ඇන්ජලිස් වෙතින් දුරකථන ඇමතුම් ලැබිණි.

වැඩිපුර කතා කළේ ඔහුගේ පියාය. තාත්තා ක්ලින්ට් අමතමින් වාර්තා කළේ මැගී ගේ තත්ත්වය පිළිබඳය. ඒ වන විට මැගී සිය පළමු දරුවා කුස දරාගෙන සිටි අතර ඇගේ උපකාරයට ක්ලින්ට්ගේ මව සහ පියා ලොස් ඇන්ජලිස් වෙත පැමිණ සිටියහ. 1968 මැයි 18 දා පියා ක්ලින්ට් හට දුරකථනයෙන් අමතා කීවේ දරු උපත සිදු වන්නට තවත් වැඩි දවසක් නැත කියාය.

ඉන්ගර් ස්ටීවන්ස්

‘මම මේ වැඩේ තව දින දෙකකින් ඉවර කරනවා. ඊට පස්සේ මම ඔහේ’ ක්ලින්ට් මැගී අමතා කීවේ සමහර විට ඇය දරුවා ප්‍රසූත කරන විට ඇය ආසන්නයෙන් සිටීමේ බලාපොරොත්තුවෙන් වන්නට පුළුවන.

නමුත් ක්ලින්ට්ගේ එම බලාපොරොත්තු බිඳී ගියේය. ඊට පසුදා 1968 මැයි 19 ඉරිදා සාන්ත මොනිකාහි ශාන්ත ජෝන් රෝහලේදී මැගී ජොන්සන් පුතකුට උපත ලබා දුන්නාය. එම පුතුට කයිල් ඊස්ට්වුඩ් යන නම තැබිණි.

පුතුගේ උපත දන්වන දුරකථන ඇමතුම ලැබෙන විට ක්ලින්ට් ලන්ඩනයේ සිටියේ රිචඩ් බර්ට්න් සමඟිනි. එම ආරංචිය ඇසූ වහා බර්ට්න් යෝජනාවක් කළේය.

‘යමු. . . මේ ප්‍රීතිමත් අවස්ථාව සමරන්නට ඕනෙ.’

දෙදෙනා අවන්හලකට වී විස්කි වීදුරු පුරවාගෙන ප්‍රීතියෙන් පසු වෙද්දී ශාන්ත ජෝන්ස් රෝහලේ යහනක් මතට වී තම කුළුඳුල් දරුවා තුරුළු කරගෙන මැගී ජොන්සන් ද ප්‍රමෝදයෙන් පසු වූවාය. ඇගේ සිතේ නව අපේක්ෂාවන් ගොනු වෙමින් තිබිණි.

දැන් දරුවකුත් සමඟ සිය පවුල සම්පූර්ණ වී ඇති හෙයින් ක්ලින්ට් තමා හා දරුවා සමඟම රැඳෙනු ඇතැයි මැගී සිතුවාය. එහෙත් ක්ලින්ට් නිවෙසේ රැඳුණේ නැත. ඒ වන විට ඔහු කාර්යබහුල නළුවකු වූ අතර චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වීමේ අපේක්ෂාව ද ඔහුගේ හද ඇතුළත පෙරළි කරමින් තිබිණි.

කැතරින් ඩෙනිව්

ක්ලින්ට් අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය ‘ප්ලේ මිස්ටි ෆෝ මී’ 1971 දී තිරගත වූ අතර ඊළඟ වසරේ 1972 මැයි 22 දා මැගී ජොන්සන් ක්ලින්ට් හට දියණියක තිළිණ කළාය. ඇයට ඇලිසන් ඊස්ට්වුඩ් යන නම තැබිණි. මැගී ඒ වන විට ක්ලින්ට් තමා වෙතම රඳවා ගැනීමේ බලාපොරොත්තු අත්හැර ගෙන සිටියාය.

තම සැමියාට යන යන තැන කාන්තාවන් සිටින බව ද ඔහුගේ ලිංගික ආශාවන් සන්තර්පනය කිරීමට තමා අසමත් බව ද මැගී දැන සිටියාය. 1971 දී ‘ඩර්ටි හැරී’ චිත්‍රපටය තිරගතවීමත් සමඟ ක්ලින්ට්ගේ ජනප්‍රියත්වය තවත් ඉහළ ගියේය. සිනමා සඟරා ආදිය ක්ලින්ට් ඉතා හොඳ පවුල් ජීවිතයක් ගත කරන නළුවකු, දයාබර සැමියකු හා සෙනෙහෙබර පියකු ලෙස දැක් වූව ද ඔහු බොහෝ විට සිටියේ නිවෙසින් ඈත්වය.

1968 තිරගත වූ ‘හැන්ග් දෙම් හයි’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ඉන්ගර් ස්ටීවන්ස් වසරක් දෙකක් ක්ලින්ට්ගේ අනියම් පෙම්වතිය වී සිටියාය. ඊළඟ වසරේ තිරගත වූ ‘පේන්ට් යුවර් වැගන්’ හි ප්‍රධාන නිළිය ජීන් පෙබර්ග් ඔහුගේ ඊළඟ පෙම්වතිය වූවාය. රඟපාන සෑම චිත්‍රපටයකම ප්‍රධාන නිළිය සමඟ යහන්ගත වීම ක්ලින්ට්ගේ පුරුද්දක්, ඇබ්බැහියක් ලෙස පෙනෙන්නට වූයේය. 1971 දී තිරගත වූ ‘ද බිගයිල්ඩ්’ චිත්‍රපටයේ එක් නිළියක වූයේ 17 හැවිරිදි ජෝ ඈන් හැරිස්ය.

ක්ලින්ට හා ඇය අතර සෑහෙන වයස පරතරයක් තිබුණ ද ඇයට පෙම් කරන්නට ක්ලින්ට් එම වයස් පරතරය ගැටලුවක් කර ගත්තේ නැත. මේ නිළියන් ඇසුරු කරන අතරතුර ක්ලින්ට් සම්පූර්ණයෙන්ම රොක්සානේ ටියුනිස් අමතක කර දැමුවේ ද නැත. තමා මුලින්ම පියකු වූයේ ඇය නිසා බව ඔහුට මතක තිබිණි. ඔහු වරින් වර රෙක්සානේ සහ තම දියණිය කිම්බර් බලන්නට ගියේය. එහෙත් ඒ සමකාලීනව මැගී ජොන්සන්ගේ ඉවසීම සීමාව ඉක්මවා යමින් තිබිණි. දරු දෙදෙනා ද සමඟ ක්ලින්ට්ගෙන් ඈත් වන්නට මැගී ජොන්සන් තීරණය කරමින් සිටියාය.

ලබන සතියේ