වර්ෂ 2012 ක්වූ මැයි 03 වැනිදා බ්‍රහස්පතින්දා




මෙගා මින් පසු සියයයි

මෙගා මින් පසු සියයයි

හදන පිටපතට අනුමැතිය අනිවාර්යයි

මාෆියාවට එරෙහිව නීති තදින් සිටී

අමාත්‍යංශ ලේකම් ඩබ්. බී. ගනේගල මහතා අවධාරණය කරයි

මින් ඉදිරියට මෙගා ටෙලි නාට්‍යයක් නිර්මාණය කිරීමේදී කොටස් 100 කට සීමා විය යුතු බවත් දැනට ටෙලි නාට්‍ය නිෂ්පාදනය සඳහා සූදානම් වෙමින් පවතින තිර පිටපත් රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය බවත් තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල මහතා පසුගියදා සරසවියට පැවසීය.

මෙගා ටෙලි නාට්‍යවලට පසුගිය කාලයේ කොටස් 250 යැයි සීමා කරන්නට අණ කළ ද එහි පවතින්නේ යැයි කියනු ලබන මාෆියාව බිඳ දැමීමේ අරමුණින් මෙම තීරණය ගත් බවත් රූපවාහිනියේදී පමණක් ටෙලි නාට්‍ය 86 ක් පමණ, විකාශය වීමට නියමිතව ඇතත් ඒවා විකාශය කිරීමට කාලයක් නොමැතිව බලා සිටින බව ගනේගල මහතා පැවසීය. එමෙන්ම මෙගා නොවනා ටෙලි නාට්‍යය ද කොටස් 50 කට හෝ අඩු ගණනකට නිර්මාණය කළ යුතු බව ද ඒ මහතා අනාවරණය කළේය.

මෙරට වර්තමානයේ විකාශය වන ටෙලි නාට්‍ය කිසිම ප්‍රමිතියකින් තොරව විකාශය වනවා පමණක් නොව ඉන් අනාගත පරපුරට සිදුවන හානි සලකා බලා මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ටෙලි නාට්‍ය ප්‍රමිති ගත කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය ගනු ලැබූ මෙම තීරණය වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් මේ වන විටත් සියලු රූපවාහිනී ආයතන වෙත චක්‍ර ලේඛයක් මඟින් දැනුම් දී ඇතැයි වාර්තාවෙයි..

නව ප්‍රමිතිය යටතේ කිසියම් රූපවාහිනී නාලිකාවක කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂවරයකු විසින් නිෂ්පාදනය හෝ අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍ය විකාශය කරන්නේ නම් ඒවා සතියකට විකාශන වාර දෙකකට සීමා කළ යුතු බව පැවසූ ඩබ්. බී. ගනේගල මහතා එවැනි එක් ටෙලි නාට්‍යයක් විකාශය හමාර වූ පසුව එම නිෂ්පාදකවරයාට හෝ අධ්‍යක්ෂවරයාට මාස හයක් ගත වනතුරු නැවත ටෙලි නාට්‍යයක් විකාශයට අවසර නොලැබෙන බව ද කීය.

ටෙලි නාට්‍ය පිළිබඳ නව නීතිය නීතිගත වනතුරු සිය නිර්මාණයෙහි තිර පිටපත රැඟුම් පාලක මණ්ඩලයට ඉදිරිපත් කර අවසර ගත යුතු යැයි හෙතෙම අවධාරණය කළේය.

රන්මිහිතැන්න ටෙලි - සිනමා ගම්මානයේ රූප ගතවන නිර්මාණ සඳහා ප්‍රමුඛත්වය ලැබෙන බවත්, මේ සියලු කටයුතු කරනු ලබන්නේ ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය යටතේ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


මෙරිල් ස්ට්‍රිප් හොඳම නිළිය වූ ‘යකඩ ගැහැනිය’ කොළඹ එයි

සුප්‍රකට නිළි මෙරිල් ස්ට්‍රිප් තුන් වන වරටත් හොඳම නිළිය ලෙස සම්මාන දිනූ දි අයන් ලේඩි චිත්‍රපටය හෙට (04) දා සිට කොළඹ මැජස්ටික් සිනමා සංකීර්ණයේ ගෝල්ඩ් සිනමාහලේ තිරගත වෙයි.

80 දශකයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරය දැරූ යකඩ ගැහැනිය ලෙස අන්වර්ථ නාමයකින් හඳුන්වන ලද මාග්‍රට් තැචර්ගේ ජීවිතය පාදක කොට ගෙන තැනුණ මෙම චිත්‍රපටයේ මෙරිල් ස්ටි‍්‍රප් තැචර් මහත්මියගේ චරිතය නිරූපණය කළාය. මෙම රංගනය ලොව මුල් පෙළේ සිනමා උත්සව රැසකින් සම්මානයට පාත්‍ර විය.

පිලිච් ලොයිඩ් අධ්‍යක්ෂණය කළ ‘දි අයන් ලේඩි’ චිත්‍රපටයේ තිර නාටකය අබි මෝගන්ගෙනි. ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් හා ද වෙයිනිස්ටයින් කම්පැණි සමඟ ප්‍රංශයේ පැතේ සමාගම මෙම චිත්‍රපටය නිපදවා ඇත.