වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




සුදත් රෝහණ ගිරිකුළ ටෙලියට නඟයි

සුදත් රෝහණ ගිරිකුළ ටෙලියට නඟයි

ශාන්ති දිසානායකගේ හරබර නවකතාවක්

ඉස්සර අපේ ගමේ ඇත්තන් කමතට රැස් වුණේ ජස ලෙන්චිනා වැනි කෝලම් බලන්න. හැබැයි අපේ කට්ටිය පසුගිය අඟහරුවාදා බී. එම්. අයි. සී. එච්. එකේ කමතට රැස් වුණේ සුදත් රෝහණගේ ඇසි දිසි රූප කාව්‍යයේ මුහුරත් උළෙලට සහභාගි වෙන්න.

සුදත් පුංචි තිරයට ගෙනෙන්න සුදානම් වෙන්නේ ශාන්ති දිසානායකගේ ‘ගිරිකුළ’ නවකතාව ඇසුරෙන් සරත් ධර්මසිරි රූපවාහිනියට ලියන ‘ගිරිකුළ’ ටෙලි සිතුවම.

සුසන්තා චන්ද්‍රමාලි, අවන්ති අපොන්සු, ජනක් ප්‍රේමලාල්, නිල්මිණි තෙන්නකෝන්, කාංචනා මෙන්ඩිස්, ගාමිණී හෙට්ටිආරච්චි, නිරෝෂන් විජේසිංහ, සනත් විමලසිරි, උද්ධික ප්‍රේමරත්න, ගංගු රොෂානා, මධුෂාන් හත්ලහවත්ත, ලාල් කුලරත්න, ප්‍රියංකර රත්නායක, හේමසිරි ලියනගේ, රිචඩ් මානමුදලි, සුබුද්ධි ලක්මාලි, කෞෂල්‍යා සමරසිංහ, ප්‍රසන්නජිත් අබේසූරිය, සමන් හේමරත්න, ගීතා කුමාරි, නිරංජලා ජයසිංහ, ශිරන්ත ප්‍රේමවර්ධන සහ උදේනි චන්ද්‍රසිරි රංගනයෙන් සුදත් රෝහණගේ නවතම ඇසි දිසි රූප කාව්‍යය හැඩ වෙනවා.

‘ගිරිකුළ’ සාර්ථක ගමනකින් අවසන් කරන්න කැමරාකරණයෙන් ධම්මික දිසානායක, සහය අධ්‍යක්ෂණයෙන් ප්‍රියන්ත ප්‍රනාන්දු සමඟ චමල් ප්‍රබෝධ රත්නායකත්, කලා අධ්‍යක්ෂණයෙන් ක්‍රිශාන්ත රත්නසිරි, අංග රචනයෙන් ගිඋහාන් ඕවිට, ඇඳුම් හා කොණ්ඩ මෝස්තර නිර්මාණයෙන් සෑම් පෙරේරා, සංස්කරණයෙන් චානක ද සිල්වා, නිෂ්පාදන කළමණාකරනයෙන් රාජා රණසිංහ සහ නිෂ්පාදන සැලසුම් හා මුල්‍ය කළමණාකරනයෙන් අරවින්ද වික්‍රමසිංහ දායක වෙනවා. ‘ගිරිකුළ’ ෆාහිම් මව්ජුඩ් ගේ නිෂ්පාදනයක්.


ඉගිලෙන මාළුවාට රට රට බුහුමන්

සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ඉගිලෙන මාළුවෝ සිනමාපටය සම්මාන පිට සම්මාන ලබමින් ජාත්‍යන්තරයේ සිනමා විචාරකයන්ගේ පැසසුමට පත් වෙයි.

එය මේ වන විට රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග්, දකුණු කොරියා පස්වන සින්ඩි අයිෆ් අකා, නෙදර්ලන්ඩ් හතළිස් වැනි රොටෑඩෑම්, අමෙරිකානු නිව්ජර්සි ඇතුළු ජාත්‍යන්තර සිනමා උළෙලයන් දහයකදී සම්මානයට පාත්‍ර විය.

මීට අමතරව බෙල්ජියම, කැනඩාව, බ්‍රසීලය, අමෙරිකාව, ජපානය, එංගලන්තය ආදී රටවල් කිහිපයක සිනමා උළෙලයන් නියෝජනය කොට තිබීම විශේෂත්වයකි. ඉගිලෙන මාළුවෝ ඒෂියා ඩිජිටල් ආයතනය වෙනුවෙන් මනෝහන් නානායක්කාර නිෂ්පාදනය කර තිබේ.


අබිනික්මන දිල්ලි යයි

හෙක්ටර් කුමාරසිරිගේ අබිනික්මන සිනමාපටය ඉන්දියාවේ ‘ද ඉනර් පාත්’ බුඩිස් ෆිල්ම් ෆෙස්ටිවල්’ සඳහා තේරී පත්ව තිබේ.

නෙට්පැක් ඉන්දියා දේවිකි පදනම මඟින් පළමුවරට පවත්වනු ලබන මෙය බෞද්ධ චිත්‍රපට වෙනුවෙන් පවත්වන ලද්දකි. අභිනික්මනට අමතරව උත්පලවන්නා සහ සංකාරා යන චිත්‍රපට ද මෙවර මෙය නියෝජනය කිරීමට නියමිතය.

උලෙල හෙට සිට මැයි පළමු වැනිදා දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවර අසාද් භවන් තියෙටර් හි පැවැත්වේ.


සැමීගේ කතාව වැන්කුවර් උළෙලට

ප්‍රියංකර විතානාච්චිගේ සැමීගේ කතාව සිනමාපටය දකුණු ආසියානු චිත්‍රපට පිළිබඳ වැන්කුවර් සිනමා උළෙලට නිර්දේශ වී තිබේ. ඒ තරගකාරී අංශය යටතේය.

ජගත් චමිල, මැණික් කුරුකුලසූරිය, නිල්මිණි බුවනෙක, වික්ටර් රාමනායක, කුසුම් පෙරේරා, වතික් රවිනාත්, තෙසාරා ජයවර්ධන, විල්මන් සිරිමාන්න, විනී වෙත්තසිංහ රඟන සැමීගේ කතාව ප්‍රියංකරගේ පළමු සිනමා නිර්මාණයයි.


චිත්‍රපට සංස්ථාවට හෙට අවුරුදු

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ අවුරුදු උත්සවය එහි සභාපති ඇතුළු සමස්ත කාර්යය මණ්ඩලයේ සහභාගිත්වයෙන් මෙම මස 27 වැනිදා එනම් හෙට දවස පුරා සංස්ථාවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ. මෙය ජාතික චිත්‍රපට සංස්ථා ක්‍රීඩා සංගමයේ සංවිධානයකි.


මාධ්‍ය පදනමේ චිත්‍රපට දැක්ම ඉනෝකාගේ ප්‍රධානත්වයෙන්

රාජ්‍ය සේවකයන්ගේ කලා රසාස්වාදය දියුණු කිරීමේ අරමුණින් සිනමා මාධ්‍ය පදනම සංවිධානය කළ විශ්ව සම්මානනීය සිනමා දැක්ම ජාතික විද්‍යා ආයතනයේදී පැවැත්විණ. එහිදී ආරාධිත දේශනය පැවැත් වූ සිනමාවේදිනී ඉනෝකා සත්‍යාංගනී චාරිත්‍රානුකූල පොල් තෙල් පහන දැල් වූ අයුරුයි මේ. මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් උදය සෙනෙවිරත්න, සිනමා මාධ්‍ය පදනමේ සභාපති හර්ෂ බී. අබේකෝන්, ලේකම් රත්නසිරි පතිරණ, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් මාෂාඩ් බැරී ඇතුළු පිරිස සහභාගි වූහ. මෙහිදී ප්‍රදර්ශනය වූයේ රොබගේ බෙනින්නෝ ගේ ලයිෆ් ඉස් බියුටිෆුල් ඉතාලි චිත්‍රපටයයි.