වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




ගෙවුණු දවස් ගැන තවත් කතන්දර

ගෙවුණු දවස් ගැන තවත් කතන්දර

‘වැලිකතරේ ඔබේ ප්‍රතිවාදියා වූ ගෝරිං මුදලාලි ලෙස රඟපාන ජෝ අබේවික්‍රමගේ රඟපෑම ගැන ඔබ දකින්නේ කෙසේද?’මගේ ප්‍රශ්නයට ඔහු අලුත් දුම්වැටියක් දෙතොලේ රඳවා ගත්තේය. හරි බරි ගැසී බොකු ගැසුණු පුටුවට හාන්සි විය.

‘වික්‍රම රන්දෙනිය වැලිකතරේ කැපී පෙනෙන්නේ ගෝරිං මුදලාලි නිසා. ජෝ අබේවික්‍රම අපට සිටින විශිෂ්ඨ නළුවෙක්. ජෝ ගේ හොඳම රඟපෑම මම දුටුවේ වැලිකතරෙන්.’

හිටපු කතුවර ඒ. ඩී. රන්ජිත් කුමාර, ගාමිණී ෆොන්සේකා සහ සංවාදයක් කරද්දී ඉහළ ඡයාරූපයේ.

මගේ යටි සිත සිනාසෙයි. මට මේ ටික හොඳටම සෑහේ. තව ප්‍රශ්න කිහිපයක් අසා මම ඔහුගෙන් සමු ගත්තෙමි. මම කොටුවට යන බස් රියේ නැඟී හනික කාර්යාලයට ගියෙමි. වැලිකතරේ තිර නාටකය මා ළඟ තිබුණි. එහි දෙබස් හා සිද්ධි ද ගාමිණී කී අදහස් ද කැටි කොට සකස් කළ විශේෂාංග ලිපිය ලක්ෂ්මන් සෙමින් කියවා සකස් කොට සරසවිය කර්තෘ විමලසිරි මහතාගේ කාමරයට ගියේය. හෙතෙම මා කැඳ විය.

‘ගාමිණී ජෝ ගැන කිව් කතාව ඇත්තද?’

‘ඔව්’

‘බොරු නං මළ කෙළියයි. ක්‍රිමිනේල් කේස් එකක්.’ ඔහු බොරු තරහක් මවාගෙන උප නෙත් යුවළ යටින් මා දෙස බැලීය.

ලක්ෂ්මන් යළිත් තම අසුනෙහි වාඩි වී මට කතා කළේය.

‘ආටිකල් එක මරු. අපි මැද පිටු දෙක ගම්මු. ඔයාම පින්තූර ටික තෝරලා පිටු දෙක හදල මිස්ට නිමල්ටත් පෙන්වන්න.

‘ජෝ ගේ විශිෂ්ටම රඟපෑම මම දුටුවේ වැලිකතරෙන්’ ගාමිණි කියයි.’ ලක්ෂ්මන් හෙඩිම දැම්මේය.

පත්තරය මුද්‍රණයෙන් නිකුත් වී කර්තෘට මුල් පිටපත ආවේය. ඔහු මට කතා කළේය.

‘වැඩේ නැගල යනවා, හෙට පත්තරේ පිට වුණාමයි මළ ජූලියක් වෙන්නේ. වැඩේ වැරදුණොත් මේකව එල්ලන්න වෙන්නේ. ගාමිණීගේ හැටි දන්නවනේ.’

පසුදා පත්‍රය වෙළඳ පොලට නිකුත් විණ. එකල ලංකාවේ වාර්තාගත කලා පුවත්පතක් වූ සරසවිය පිටපත් එක් ලක්ෂ පහළොස් දාහක් පමණ අලෙවි විය. කර්තෘට එන හැම ටෙලිෆෝන් පණිවුඩයකින්ම මම තිගැස්සුණෙමි.

‘රන්ජිත්ට කෝල් එකක්’ කතුවරයාට ලැබුණු දුරකතන ඇමතුමකින් පසු ඔහු මට සිනාමුසු ස්වරයෙන් කීවේය.

‘මම ගාමිණී, ඔහේගේ ආටිකල් එක හොඳා. විවේක තියෙන වේලාවක ටෙලිෆෝන් කරල ගෙදර එන්න.’

‘හොඳයි . . .’ මම කීවෙමි. රිසීවරය තැබුවෙමි.

‘පුදුමයි ගාමිණී හොඳක් කිව්වා. ඔයාව හොඳට අල්ලලා’ ලක්ෂ්මන් සිනාසෙමින් කීවේය.

ගාමිණී හා මා අතර සරසවිය නිසා ඇති වූ සම්බන්ධය ඔහු මිය යන තෙක්ම අඛණ්ඩව වසර හතළිහක් පමණ පැවතුණි.

මේ සිද්ධිය වී සතියකට පමණ පසු ජෝ අබේවික්‍රම මට හමු විය.

‘හැබෑවට ම මල්ලියෝ මහ එකා මං ගැන එහෙම කිව්වද?’

‘කිව්වෙ නැත්නම් මම ලියනව යැ’ මම විහිළුවෙන් කීවෙමි.

. විමලසිරි කතුවරයා ඉඳ සිටින අප වටා රවුමක් යයි. කවියක් දෙකක් කියයි. ඉතා ඕනෑකමින් ලිපියක් ලියමින් සිටින උප කතුවරයකුට කඩදාසි ගුලියක් එල්ල කොට අහිංසක සතුටක් ලබයි. දහවල් දහය වන විට මාටින් අයියාගේ තේ කරත්තය සරසවියට එයි.

ඔහුගේ ට්‍රොලියේ කට්ලට්, පැටිස්, මාළු පාන්, මස්කට්, ආනමාලු මෙන්ම ස්පන්චි, තල කැරලි ද වෙති. දිනක් චිත්‍ර ශිල්පී තලන්ගම ජයසිංහ පැටිසයක් කමින් සිටියේය. විමලසිරි පෙරේරා මහතා ඔහු අසළට පැමිණ කවි පදයක් කීවේය.

‘තලංගම ආටිස්

කෑවා පැටිස් කටලිස්’

අප හැම සිනාසුණත්, වඩාත් හඬ නඟා සිනාසෙන්නේ විමලසිරි මහතාය. ඒ ඔහුගේ හැටිය.

විමලසිරි මහතාට කේන්ති ගිය එක් අවස්ථාවක් මට මතකය.

විනෝදය තකා චිත්‍රපට හදන එක් නිෂ්පාදකවරයෙක් තම චිත්‍රපටයට ලැබුණුු ප්‍රචාරය මඳ බව කියා මැසිවිලි නැඟුවේය. ඒ චිත්‍රපටය ගැන සතියකට පෙර විශේෂාංගය ලිව්වේ මා ය. ‘රංජිත් ඔය සරසවියක් අරං මෙහෙ එන්න.’

විමලසිරි මහතාට කේන්ති ගොස් ඇති බව ඒ හඬෙන් ම මට අවබෝධ විය. ‘කෝ . . . මෙයාගේ චිත්‍රපටිය ගැන ලියපු ආටිකල් එක.’ මම පත්‍රය පෙරළා විමලසිරි මහතාට දුනිමි.

‘මීටත් වඩා තව මොනවද? මේකත් වැඩියි.’ විමලසිරි මහතා කීවේය. ‘නෑ මං කිව්වේ මේක තව පින්තූර ටිකක් දාල මැද පිටුවේ ගියා නම් . . .’ නිෂ්පාදකවරයාට කියාගත හැකි වූයේ එපමණකි. ඔහු පුටුවෙන් නැගී සිටියේය.

‘තමුසෙ මගේ පුටුවේ ඉඳගෙන පත්තර කරනවා.’ ඔහු තම පුටුව පෙන්වමින් කීවේය.

‘නෑ . . . මම යන්නම්. මිස්ටර් පෙරේරාට හරියට කේන්ති යනවනේ . . .’ කියමින් නිෂ්පාදකයා කාමරයෙන් පිට විය. ඉන් පසු ඔහු ‘සරසවිය’ට නම් ආවේ නැත.

විමලසිරි මහතා උදව් කළ යුතුªª තැන පස්ස නොබලා උදව් කළේය. 1970 තිරගත වෙමින් තිබූ මහගම සේකරගේ ‘තුං මං හන්දිය’ චිත්‍රපටය බැලීමට මුලදී ප්‍රේක්ෂකයෝ නොපැමිණියේ ඒ ගැන වැඩි ප්‍රචාරයක් නොමැති බැවිනි.

උසස් චිත්‍රපට සඳහා වැඩි අනුග්‍රාහයක් දැක් වූ කතුවරයා දිනක් තමා හමුවීමට පැමිණි එම චිත්‍රපටයේ නිෂ්පාදක චිත්‍රා බාලසූරිය සමඟ කාමරයේ කතා කරමින් සිටියේය. ඔහු කියන දේ අසා සිටින විමලසිරි මහතාගේ මුහුණ වෙනස් වන අයුරු මම දුටුවෙමි.

කතුවරයා මා කාමරයට කැඳ විය.

‘මොනවද මේ පාර මැද පිටු දෙකට යන්නේ. ඒක නතර කරන්න. මේ වෙලාවේ අපි ‘තුං මං හන්දියට’ උදව් කරන්න ඕනෑ.

චිත්‍රපටය ගැන කිහිප දෙනෙකුගෙන් අදහස් අරං මැද පිටු දෙක හොඳ ලිපියක් ලියන්න.’ මම එවලේම බස් එකේ නැග ගුවන් විදුලි කාර්යාලයට ගියෙමි. කැන්ටිමට ගිය මට එහිදී මහාචාර්ය විමල් දිසානායක, ධර්මසේන පතිරාජ හා සයිමන් නවගත්තේගම තේ පානය කරමින් සිටිනු දක්නට ලැබිණ. මේ තිදෙනාගෙන් ‘තුං මං හන්දිය’ ගැන අදහස් විමසා විශේෂාංගයක් ලියා මැද පිටු දෙකට ගතිමි. ‘සරසවිය’ පිට වූ දින චිත්‍රා මට ටෙලිෆෝන් කොට ‘මචං උඹ වෙලාවේ හැටියට ලොකුª උදව්වක් . මේ මට කරපු උදව්වක් නෙවෙයි. උසස් සිංහල සිනමාවටයි, සේකරටයි කරපු අනුග්‍රාහයක්’ කීවේය. වරක් සරසවියේ ප්‍රධාන ඡායාරූප ශිල්පියාට එවකට සිටි ජනප්‍රිය නළුවෙක් මරදානේ රවුෆ් ගොඩනැගිල්ලේ විමලදාස පෙරේරාගේ කාර්යාලයේදී පහර දී ඇත. විමලසිරි මහතාට මේ ආරංචිය කීවේ ඔහුගේ හිතවතෙකි.

ඡායාරූප ශිල්පියා පසුදා පැමිණි විට විමලසිරි මහතා ඔහුට කතා කළේය. අහිංසක ගතිගුණ ඇති කැමරා ශිල්පියා සිනාසුණා මිස කිසිවක් නොකීවේය.

‘මීට පස්සේ එයාගෙයි එයාගේ ගර්ල් ෆෙන්ඩ් නිළියගෙයි පින්තූර විස්තර සරසවියේ දැමීම තහනම්’ කතුවරයා හැමෝටම ඇහෙන්න කියමින් කෝපයෙන් තම කාමරයට ගියේය.

කොතරම් ඉහළ බලපෑම් ලැබුණ ද කතුවරයා සිය මතයේම සිටියේය. වසර දෙකක තහනමකින් පසු මගේත්, එම කැමරා ශිල්පියාගේත් ඉල්ලීම මත නැවත සරසවියේ ඒ යුවළගේ පින්තූර ගියේ ඔවුන් කැමරා ශිල්පියාගෙන් සමාව ගත් පසුය. එදා සරසවිය (1972) පිටපත් එක් ලක්ෂය ඉකුත් කළ දා විමලසිරි මහතා සිටියේ කිසි දිනෙක නැති සතුටකිනි. අපට විශේෂ දීමනාවක් ගෙව් හෙතෙම ඊළඟ ඉරිදා ‘සරසවිය’ කර්තෘ මණ්ඩලය ගෙදරට කැඳවා උසස්ම සංග්‍රහයක් කළේය.

සරසවිය එදා ඔපවත් කළ ඡායාරූප කර්තෘ නිමල් පෙරේරා අබේවර්ධන (ජීවතුන් අතර නැත). බන්දු එස්. කොඩිකාර, ලක්ෂ්මන් වික්‍රමසිංහ, පර්සි ජයමාන්න යන මහත්වරුන් පිළිවෙලින්.
හිටපු කතුවර ඒ. ඩී. රන්ජිත් කුමාර, ගාමිණී ෆොන්සේකා සහ සංවාදයක් කරද්දී ඉහළ ඡයාරූපයේ.

ඒ යුගය ගැන තවත් තොරතුරු ඇතත් ඒවා ලිවීමෙන් මේ ලිපිය දිග් ගැසේ. එබැවින් 1989 වසරේ මා ‘සරසවිය’ පත්‍රයේ ප්‍රධාන කතුවරයාව පත්වීමෙන් පසු ඒ සුන්දර කාලයට යාමට කැමැතිය. 1989 අප්‍රේල් මස 02 මා එම තනතුරට පත් වූයේ වසර 20 ක් සරසවියේ කටයුතු කිරීමෙන් පසුවය.

අලුත් මුහුණුු එම පත්‍රයට එකතු කිරීමට මට අවස්ථාව ලැබිණි. මා සමඟ පාසලේ එකම පංතියේ ඉගෙනුම ලැබූ උපාලි කොළඹගේ (රාවය නියෝජ්‍ය කර්තෘ) දිනක් හැකියාව ඇති තරුණයකුට අත හිත දෙන්නැයි ඉල්ලා ලිපියක් සහිතව එවා තිබුණා.

අප හිත මිත්‍ර එවකට ‘විචිත්‍ර’ පුවත්පතේ කතුවරයාව සිටි ප්‍රේම් දිසානායක මේ තරුණයා ගැන රෙකමදාරුවක් කළේය. එයම අරුණ ගුණරත්න සරසවියට බඳවා ගැනීමට හේතුවක් විය.

දේශීය හා විදේශීය සිනමාව ගැන බොහෝ ඇසූ පිරූ තැන් ඇති මේ තරුණයා අද ‘සරසවිය’ පත්‍රයේ ප්‍රධාන කතුවරයා වීම ගැන මට ඇත්තේ අසීමිත සතුටකි. ඔසී අබේගුණසේකර දිනක් ටෙලිෆෝන් කොට තවත් තරුණයකු සරසවියට බඳවා ගන්නැයි ඉල්ලා සිටියේය. ඔහු සුසිල් ජිනප්‍රිය විය. ඔහු ප්‍රේම් දිසානායකගේ ගෝලයෙකි. ප්‍රවෘත්ති ලිවීමට දක්ෂයකු වූ ඔහු අකාලයේ මිය යාම ගැන ඇත්තේ ශෝකයකි.

දිනක් චිත්‍රපට නිළි සබීතා පෙරේරා හැකියාවක් ඇති ඡායාරූප ශිල්පි තරුණයකු මට හඳුන්වා දී ඔහුගේ ඡායාරූපයක් හැකි නම් සරසවියේ මුල් පිටුවේ දමා දෙන ලෙස ඉල්ලා සිටියාය. දයාන් විතාරණ නම් මේ තරුණයා අපූරු ප්‍රතිභාවක් ඇති තරුණයෙකි. මුල් වරට ඔහුගේ කවරයක් පළ වූයේය. කිසිදා මුදල් පසුපස හඹා නොගිය තම ප්‍රතිභාව දිනෙන් දින දියුණු කර ගත් දයාන් කළ ගුණ දන්නා දැහැමි ගති ගුණ ඇත්තෙකි.

මගේ මතකය හරි නම් අරුණ ගුණරත්න විසින් සුනිල් මිහිඳුකුල සරසවියට ගෙන විත් ‘අපි සුනිල්වත් සරසවියට සම්බන්ධ කර ගනිමු’ යයි කීවේය. සිනමා ලේඛකයකු ලෙස බොහෝ කලක් දැන සිිටි සුනිල් සිනමාව ගැන විශේෂාංග රැසක් ලියා අත්දැකිම් රැසක් ඇති තරුණයෙකි. සුනිල් ස්වභාවයෙන්ම විවාදසම්පන්නව ලිවීමේ දක්ෂයකි. එම ලිපි තුළින් සරසවිය ඔපවත් විය. (පසුව සුනිල් සරසවියේ ප්‍රධාන කතුවරයා වීම ගැන සතුටු වෙමි). කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ලබා සිටි සමන්ත හේරත් මම සරසවියට සම්බන්ධ කර ගැනීම මෙසමයේ සිදු විය. ඔහු ලියූ ‘අදියුරු ඇසින්’ විශේෂාංගය එදා ප්‍රබුද්ධ පාඨකයාගේ අගයට හේතු විය. අද ඔහු මහාචාර්යවරයෙකි.

සරසවියේ පිටකවරය නව නැම්මකින් නිම කිරීමට ප්‍රතිභාපූර්ණ පිට කවර ශිල්පීන් තිදෙනකු අපට සහාය විය. අතුල උපසිරි කල්දෙමුල්ල, සුරේෂ් ප්‍රියංජන් ද සිල්වා හා දී. ග. සෝමපාල මොවුන්ය. ජාඇල පැත්තේ හැකියාව ඇති ඡායාරූප ශිල්පියෙක් මට කිසිම හැඳිනීමක් නැතිව ඡායාරූප හා හින්දි ලිපි ලිවීය. ඔහු කල්‍යාන චන්ද්‍රසේකරය. ඔහුගේ හැකියාවන් සරසවියට ආලෝකයක් විය. පැරැණි ලේඛකයකු වූ විමල් තිලකරත්න ද අපට එක් විය.

එඩ්වින් ආරියදාස, ගාමිණී වේරගම, බෙනඩික්ට් දොඩම්පේගම, ධර්මසිරි ගමගේ, ඈෂ්ලි රත්නවිභූෂණ, තිස්ස අබේසේකර, ඊ. ඇම්. ජී. එදිරිසිංහ, ශ්‍රියන්ත වල්පොල ආදීන්ගේ ලිපිවලින් එදා සරසවිය පෝෂණය විය.

අනුර බණ්ඩාර රාජගුරු, සුසිල් ගුණරත්න, ලතා බොතේජු, නෙළුම් විමලරත්න, දීප්ති ෆොන්සේකා, අරුණ ගුණරත්න, විවේකා සමරසිංහ, කැමිලස් පෙරේරා, ගීෂා මුණසිංහ, උපාලි ෆොන්සේකා, ජගත් හේවාපන්න ආදී කර්තෘ මාණ්ඩලිකයන් මෙන්ම අපේ සහායකයාව සිටි ආරියරත්න පෙරේරා ද අප හා කටයුතුª කළේ එක පවුලක දරුවන් මෙනි. අප අතර අඬ දබර, මත ගැටුම් ඇති නොවුනා නොවේ. එය බලපෑවේ බත් හැලිය ඉදෙන තෙක් පමණි. කුහකකම්, කුඩුකේඩුකම්, කැපිලි, එකිනෙකා අභිබවා යාම් වලින් තොරව සරසවිය කැල වාර්ෂිකව විනෝද ගමන් ගියේ වෙනදාටත් වඩා සහෝදරත්වයෙන් බැඳෙමිනි. අපගේ දුක්, දොම්නස් වලදී ඔවුන් මට පිහිට වූ අයුරු, මා ආරක්ෂා කළ අයුරු කෘතවේදීව මතක් කරමි.

චිරං ජයතු සරසවිය!