වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




වේගය වැඩි වෙලා බැලුම් පුම්බලා

වේගය වැඩි වෙලා බැලුම් පුම්බලා

සුරේෂ් ගමගේ රංගනයට මෙන්ම ගායනයටත් දක්ෂ බව අපි කවුරුත් දන්නා කරුණක්. මේ දිනවල සුරේෂ්ට සංගීත ප්‍රසංගවල නම් අඩුවක් නැහැ. දිනකට සංගීත ප්‍රසංග හතර පහ භාර ගන්න අවස්ථාත් තියෙනවාලු.

පසුගිය දවසක එසේ එක් සංගීත ප්‍රසංගයක් අවසන් කර තවත් ප්‍රසංගයකට යන අතරතුරදී අධික වේගයෙන් රථය ධාවනය කරන නිසා රථවාහන පොලිසියෙන් සුරේෂ්ගේ රථය නවත්වන්න සංඥා කළාලු. ප්‍රථමයෙන්ම රියදුරු අසුනේ සිටි සුරේෂ්ට බීමත්ව රිය පැද වූවා ද යන්න බැලීමට බැලුමක් පුම්බන්න දුන්නා. ඔහු මත්ද්‍රව්‍ය නොගන්න නිසා එයින් බේරුනාලු. නමුත් පොලිස් නිලධාරියා තවම සුරේෂ්ව හඳුනා නොගත් නිසා වේගය වැඩි වීම පිළිබඳ දඩ කොළයක් ලියන්න සූදානම් වනවිට, ළඟ හිටපු අනෙක් නිලධාරියා සුරේෂ්ව හඳුනා ගත්තාලු.

කොහොම හරි පොලිස් නිලධාරීන් සමඟ කතාවට වැටුණ සුරේෂ්ට වේලාව ගැන කල්පනා වුණේ නැති නිසා සංගීත සංදර්ශනයට වෙලාවට යා ගන්න බැරි වුණ බවයි ආරංචි.


ප්‍රියනාත් ආපසු ඇවිත්

කලක් ජනප්‍රියත්වයේ හිණිපෙත්තේම සිටි ප්‍රියනාත් රත්නායක විදේශ ගත වුණේ ඉංජිනේරුවෙක් විදියට සේවය කරන්න. එසේ විදේශ ගත වී වසර හතකට පසු ඔහු දැන් මව්බිමට ඇවිත්.

රංගනය, ගායනය පමණක් නොවේ ප්‍රසංග සංගීතවත් කිරීමේ ද උපන් හපන්කමක් දක්වන ප්‍රියනාත් යළිත් සංගීත වැඩ කටයුතු ආරම්භ කර ඇති බව ආරංචියි.

මේ සියල්ල අතර ඔහු අලුත් පරපුරකට තම සංගීත ඥානය බෙදා දීමට, අලුත් සංගීත පන්තියක් ආරම්භ කර තියෙනවා.


ප්‍රවීන් - සඳනි යුග දිවියට

නව පරපුරේ ජනප්‍රිය නිළි සඳනි සුලක්නා පසුගියදා විවාහ වුණා. ඒ ප්‍රවීන් ජයරත්නත් සමඟයි. දක්ෂ සංස්කරණ ශිල්පියකු වන ප්‍රවීන් නිෂ්පාදකවරයකු ලෙස ප්‍රකටයි.

සුප්‍රකට සංස්කරණ මැදිරියක් වන තලාහේන ඩිල් ආයතනයේ අධිපති ඩිල්මන් ජයරත්නගේ පුත්‍රයකු වන ප්‍රවීණ් සිංහාවලෝකනය, චැලෙන්ජස් ඇතුළු මෑත කාලයේ නිර්මාණය වූ චිත්‍රපට බොහොමයක් සංස්කරණය කළ අයෙක්.

මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන මලී ටෙලි සිතුවමේ මනුරංගි ගේ චරිතය රඟන සඳනි වාසනා වේවා, උපාධ්‍යා, ගැහැනු ළමයි (නව) ආදී ටෙලි නාට්‍යවලත් වස්සානේ සෙනෙහස සහ ඉදිරියේදී තිරගතවීමට නියමිත කලර්, සුරංගනා ලොවින් ඇවිල්ලා සිනමා පටයන්හී චරිත මැවූ අයෙක්.

වසරක පමණ ප්‍රේම සම්බන්ධයකින් පසුව විවාහ වූ ප්‍රවීන් - සඳනි යුවළට සරසවියේ සුබපැතුම් ගෙන එමු.


නිරිඇල්ල මැටි කරත්තයක

පරාක්‍රම නිරිඇල්ල කියන අපේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයා අලුත් වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරලා. ඒ මෘච්චකටීහම්. මේ වේදිකා නාට්‍යයේ විශේෂත්වය වෙන්නේ දෙමළ භාෂාවෙන් නිර්මාණය වීමයි.

‘දෙමළ භාෂාවත් අපට සිංහල භාෂාව තරමටම වැදගත්. ඒ නිසා නාට්‍ය දෙමළ භාෂාවෙන් නිර්මාණය කරන්නට අප උත්සාහ ගත්තේ. ශුද්‍රකගේ මෘච්චකටීකාව කියන නිර්මාණය සිංහලට පරිවර්තනය කළ පියදාස නිශ්ශංකගේ ‘මැටි කරත්තය’ආශ්‍රයෙන් මැටි කරත්තය නාට්‍යය අපේ ජන කරළිය කණ්ඩායම මුලින්ම නිෂ්පාදනය කළේ සිංහල භාෂාවෙන්. බහුවාර්ගික නාට්‍යකරුවන් සිටින නාට්‍ය කණ්ඩායමක් විදියට එවැනි නාට්‍ය නිර්මාණය කිරීම අපේ මූලික ප්‍රතිපත්තියක්. ඒ ප්‍රතිපත්තියේ අදහසක් ලෙස ‘මැටි කරත්තය’ මඩකලපුව විශ්ව විද්‍යාලයේදී දෙමළ භාෂාවෙන් වේදිකා නාට්‍යයකට නැ¼ගුණා.’

පරාක්‍රම නිරිඇල්ල කියන ප්‍රවීණ අධ්‍යක්ෂවරයා කිව්වේ කාලීන අවශ්‍යතාවයක් සපුරන ගමන් මේ මාසයේ 29 වැනිදා ඉරිදා පස්වරු 7.00 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ රඟ දැක්වෙන ‘මෘච්චකටීහම්’ නාට්‍යය දමිළ බසට පරිවර්තනය කළේ ජන කරළියේම නාට්‍ය ශිල්පියෙක්. රාසයියා ලෝගානන්දන්. විධායක අධ්‍යක්ෂණයෙන් මහාචාර්ය එස්. මෞනගුරු සහාය වෙනවා. රංග වින්‍යාසය රොනිකා චාමලී. අධ්‍යක්ෂණ සහායකයින් ලෙස කටයුතු කරන්නේ සෙල්වරාජ්, ලීලාවතී, ත්‍යාගරාජා ශිවනේසන් සහ රාසයියා ලෝහානන්දන්. වේදිකාවට ආලෝකය ගෙනෙන්නේ අජන්තන් ශාන්ත කුමාර්. කර්ණ රසායන සංගීතය නිර්මාණය සුමුදු මල්ලවාරච්චි. නාට්‍යයේ සියලු චරිත රඟපාන්නේ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය - ශිෂ්‍යාවන්. සාමයේ අරුණලු උදාවත් සමඟ ජන කරළිය සහ මඩකලපුව විශ්ව විද්‍යාලය ඒකාබද්ධව කරනා මේ අපූරු රංග කටයුත්තට මූල්‍ය සහාය ලබා දෙන්නේ ඉන්දීය - ශ්‍රී ලංකා පදනමයි.


ලහිරු යළි රුසියාවේ

ශ්‍රී ලංකන් ලයිෆ් හරහා රටම හඳුනා ගත් ලහිරු වර්ණකුලසූරිය වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා රුසියාවට ගියා. පසුගිය සිංහල අවුරුදු සමයේදී මෙරටට පැමිනුණ ලහිරුට නැවත විදේශ ගත නොවන ලෙස ඔහුගේ රසිකාවක් නිතරම දුරකථනයෙන් කතා කරලා කියනවාලු. නමුත් ලහිරුගේ අධ්‍යාපනය ගැන අබෝධයක් නැති මෙවැනි රසිකාවන් නිසා ලහිරු බොහෝම කරදරවලට ලක් වුණාලු. මේ සියල්ල අහවර වී නැවතත් ගීතයක් නිර්මාණය කළ ලහිරු එය නාලිකාවලට බාර දුන් බවත් ආරංචියි.

කොහොම වුණත් පසුගිය අප්‍රේල් 20 වැනිදා නැවතත් ලහිරු රුසියාව බලා ගියා.