වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල මෙවරත්

රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල මෙවරත්

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල මෙවරත් පැවැත්වේ.

ඒ සඳහා නිර්මාණ භාර ගැනීම මේ දිනවල සිදුවන අතර විස්තර පත්‍රිකාව හා අයදුම්පත ‘අධ්‍යක්ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල’ යන ලිපිනයට පැමිණ හෝ මුද්දර කවරයක් එවීමෙන් තැපෑලෙන් හෝ ලබා ගත හැක.

රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල 2011 හා 2012 සඳහා ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා මඟින් 2010 / 2011 වසරවල දෙසැම්බර් 31 වන දින වන විට විකාශය වී අවසන් වූ රූපවාහිනී නිර්මාණ පමණක් මෙම සම්මාන ප්‍රදානයේදී සලකා බැලෙයි.

සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය සඳහා වෙන වෙනම සම්මාන පිරිනැමෙන අතර රූපවාහිනී මාලා නාට්‍ය, ඒකාංගික නාට්‍ය, වාර්තා වැඩසටහන්, වාර්තා චිත්‍රපට, සඟරාමය වැඩසටහන්, ළමා වැඩසටහන්, සංගීත වැඩසටහන්, රුපවාහිනී සම්ප්‍රවේශක, රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාකරණය, ප්‍රවෘත්ති නිවේදක, අධ්‍යාපනික / සංස්කෘතික වටිනාකමකින් යුත් රූපවාහිනී වැඩසටහන්, රූපවාහිනී පූරණ පට, පූර්ව ප්‍රචාරක පට (දේ්ශීය නිර්මාණ) රූපවාහිනී නවෝත්පාදක වැඩසටහන්, රූපවාහිනී හඬකැවීම් වැඩසටහන්, රූපවාහිනී සාකච්ඡාමය වැඩසටහන්, රූපවාහිනී දෘශ්‍ය ගීත නිර්මාණ, රූපවාහිනී පසුතල නිිර්මාණ (ටෙලි නාට්‍ය නොවන) රූපවාහිනී ග්‍රාෆිික / සජීවිකරණ නිර්මාණ, ආලෝකරණ අධ්‍යක්ෂණය (බහු කැමරා නිෂ්පාදන) හා ප්‍රචාරක දැන්වීම් හා රූපවාහිනී කෙටි චිත්‍රපට (විකාශය නොවූ ආධුනික නිර්මාණ) යන අංශ ඔස්සේ සම්මාන ප්‍රදානය කිරීමට නියමිතය.

ඔබේ නිර්මාණ ඩී. වී. ඩී තැටිගත කොට 2012 මැයි 15 වන දින ප. ව. 4.00 ට පෙර භාර දිය යුතුයි. වැඩි විස්තර පහත දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැකිය.

0112872031

0112872035


තණ්හා රතී රඟා රූ ගැන්වීම් එන මස

දිගු කලකට පසු ස්වර්ණා සිනමාවට

නිලේන්ද්‍ර දේශප්‍රියගේ කුළුඳුල් චිත්‍රපටය ‘තණ්හා රතී රඟා’ලෙස නම් කොට ඇත. මැයි මාසයේ රූගත කිරීම් අරඹන මේ චිත්‍රපටය සමඟ ස්වර්ණා මල්ලවආරච්චි දිගු කලකට පසු යළි තිරයට එක් වෙයි.

ඇය සමඟ සනත් ගුණතිලක, සොමී රත්නායක, අනෝජා වීරසිංහ, දයාදේව එදිරිසිංහ, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, නාමල් ජයසිංහ ඇතුළු පිිරිස රැඟීමට නියමිතය.

කුමාර තිරිමාදුර, සරත් කොතලාවල සහ නිලේන්ද්‍ර මෙහි තිර රචකයන්ය. දිනේෂ් ගුණතිලකගේ කැමරාකරණයෙන් ද, රොබ් නේවිස් කලා අධ්‍යක්ෂණයෙන් ද, රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන් ද මෙයට දායක වෙති.

නාරද ධනංජි තොටගමුවගේ අංග රචනයක් වන මෙහි විධායක නිෂ්පාදකවරිය වනුයේ රේණුකා බාලසූරියයි.

තණ්හා රතී රඟා සුනිල් ටී. ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි.

සහය අධ්‍යක්ෂණය දමින්ද මඩවලගෙනි.


පරාස්ස රාස්ස සමඟ රෝහණ දන්දෙණිය නැවත වේදිකාවේ

ඔහු තිර පිටපත් රචකයෙක්, ගී පද රචකයෙක්. රෝහණ දන්දෙණිය නම් වන ඔහු එක්තරා

කාලයකදී ආදරය කළ වේදිකාවට නැවතත් පය ගහන්නයි මේ සූදානම් වෙන්නේ.

ඒ ඔහු ලියූ නවතම පිටපතක් වුණු ‘පරාස්ස හා රාස්ස’ වේදිකා නාට්‍යයෙන්. ඒ නාට්‍යයේ මුහුරත් උළෙල අද දින පෙරවරු 9.30 ට පැපිලියාන සුනේත්‍රා දේවී විහාර පරිශ්‍රයේදී පැවැත් වෙන්නේ කලාකරුවන් රැසකගේ ප්‍රධානත්වයෙන්.

ජයලත් මනෝරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, නිශ්ශංක දිද්දෙණිය, රෝහණ බැද්දගේ, මාධනී මල්වත්තගේ, සෝමපාල පතිරගේ, ජයන්ත ප්‍රේමදාස, දිමුතු චින්තක, සහන් චන්ද්‍රසේකර ඇතුළු ශිල්පීන් රැසක් ‘පරාස්ස සහ රාස්ස’ට දායක වෙයි.